දේශීය

“ලිංගික අධ්‍යාපනයට විරුද්ධ භික්ෂුන්ගේ කල්පනා ශක්තිය ගැන සෙවිය යුතුයි”

- උප කුලපති හිමියෝ අවධාරණය කරයි

පාසල් සිසුන්ට ලිංගික අධ්‍යාපනය ලබානොදිය යුතුය යන්න යම්කිසි භික්ෂුන් වහන්සේ නමක් පවසනවා නම් එම භික්ෂුන් වහන්සේගේ කල්පනා ශක්තිය පිළිබඳව දෙවරක් සිතීමට සිදු වන බව බස්නාහිර පළාතේ ප්‍රධාන සංඝනායක, රුහුණු විශ්වවිද්‍යාලයේ උප කුලපති ආචාර්ය අකුරැටියේ නන්ද හිමියන් පවසයි.

උන්වහන්සේ මේ බව පැවසුවේ ආන්දෝලනයට ලක්වී තිබෙන ‘හතේ අපේ පොත’ පිළිබඳව ගාල්ලේ පැවැති මාධ්‍ය හමුවකදීයි.

එහිදී උන්වහන්සේ තවදුරටත් මෙසේ පවසා සිටියා.

“විවිධ රටවල් ලිංගික අධ්‍යාපනය පාසල් විෂය මාලාවට ඇතුළත් කර තිබෙනවා. බුදුදහම, පෙරදිග සංස්කෘතිය නැති රටවල්වල පවා මේ අධ්‍යාපනය ලබාදෙනවා. අපේ රටවල තියෙන කාම අපරාධ, බාල අපරාධ වැඩියි කියල අපිට අනුමාන කරන්න සිද්ධ වෙනවා.

ගිය සතියේ වැඩ බලන මහෙස්ත්‍රාත්වරයෙක් පෞද්ගලිකව මා හමුවෙන්නට ආවා කාරණා දෙකකට. ඒ අවස්ථාවේ එතුමා කීවා එදින සවස එතුමා ඉදිරියට වයස තිස්හයක පියෙක් ගෙනාවා, වරද සිය පහළොස් හැවිරිදි දියණිය දූෂණය කිරීම. ඒ පියා රිමාන්ඩ් භාරයට පත්වුණා.

අපේ පාසල් දරුවන්ට මූලික ලිංගික අධ්‍යාපනය ලබාදිය යුතුයි. හේතුව වැඩිපුරම ලිංගික අපරාධ සිදුවන්නේ පවුලේ සාමාජිකයන් සහ කිට්ටුම පුද්ගලයන්ගෙන් බව ශ්‍රී ලංකාවේ පමණක් නොව ලෝකයේම සංඛ්‍යා ලේඛන සාක්ෂි දරනවා. ඒ නිසා මේවා පිළිබඳ අසභ්‍ය දෙයක් තිබෙනවා නම් ඒ අසභ්‍ය දේ සකස් කර ගැනීම වරදක් නැහැ. ලිංගික අධ්‍යාපනය ලබානොදිය යුතුයි කියල යම්කිසි භික්ෂුන් වහන්සේ නමක් පවසනවා නම් මම හිතන්නේ ඒ හාමුදුරුවන්ගේ කල්පනා ශක්තිය පිළිබඳව දෙවරක් හිතන්න සිද්ධ වෙනවා”.

පාසල් සිසුන්ට ලිංගික අධ්‍යාපනය නොදියයුතු බවට මැදගොඩ අභයතිස්ස හිමි පසුගිය දිනෙක ප්‍රකාශ කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button