විශේෂාංග

කශෝගීගේ පෙම්වතියගේ ජීවිතය අනතුරේ…!

ඝාතනය කෙරුණු මාධ්‍යවේදී ජමාල් කශෝගිගේ පෙම්වතිය වූ හේටීස් සෙන්ගිස් පිටුපස සෞදි අරාබියේ ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරුගේ ඔත්තුකරුවන් යොදවා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. හේටීස් සෙන්ගිස් බ්‍රිතාන්‍යයට ගොස් සිටි පසුගිය කාලය පුරා මේ ඔත්තුකරුවන් ඇය පිළිබඳ තොරතුරු රැස් කර ඇති බව බටහිර ඔත්තු සේවා උපුටා දක්වමින් එම මාධ්‍ය අනාවරණය කර සිටී.

මැසචුසෙට්ස් තාක්ෂණ ආයතනයේ නීති අංශයේ සේවය කරන සමාජ ක්‍රියාකාරිනී හාලා අල්ඩෝසාරි පවසන්නේ කශෝගී ඝාතනය පිළිබඳ සියලු තොරතුරු වළ දමන්නට සල්මාන් කුමරුට අවශ්‍ය වී ඇති බවයි. එම නිසා ඇයගේ ජීවිතය අවදානමක තිබෙන බව ද අල්ඩෝසාරි පෙන්වා දෙයි.

හේටීස් සෙන්ගිස්

අති දුෂ්ඨ ක්‍රියාවක්

තුර්කියේ ඉස්තාන්බුල් නුවර පිහිටි සවුදි කොන්සල් කාර්යාලය තුළදී 2018 ඔක්තෝබර් 02 දා ඝාතනය කෙරුණු මාධ්‍යවේදී ජමාල් කශෝගිගේ ඝාතනය සම්බන්ධයෙන් තමන්ගේ කිසිදු මැදිහත්වීමක් නොවූවද, රටේ නායකයා ලෙස තම පුරවැසියන් පිරිසක් කළ අදාළ ඝාතනය සම්බන්ධයෙන් වන වගකීම තමන් භාරගන්නා බව සවුදියේ ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරු පවසයි. ඇමරිකානු මාධ්‍ය ජාලයක් වන CBS හි මිනිත්තු 60 වැඩසටහනේ සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින් සල්මාන් කුමරු කශෝගී ඝාතනය සම්බන්ධයෙන් අදහස් පළ කර තිබිණි. සවුදි රජයේ විවිධ ආයතන වල සේවය කරන පිරිසක් මෙම ඝාතනය සිදු කර ඇති බව තහවුරු වී ඇතැයිද ඔහු මෙහිදී පිළිගෙන ඇත.

‘කශෝගී ඝාතනය කිසිසේත්ම අනුමත කළ නොහැකි අති දුෂ්ඨ ක්‍රියාවක්. ඊට වගකිවයුත්තන්ට එරෙහිව උපරිමයෙන් කටයුතු කරනවා.’

නියම දේශපාලන සූත්තරකාරයෙක්

සල්මාන් කුමරුගේ මෙම වැඩසටහන පිළිබඳ ප්‍රචාරක පටයක් විකාශය කිරීමෙන් පසු, ඊට කශෝගිගේ පෙම්වතිය වූ හේටිස් සෙන්ගීස් මෙසේ ප්‍රතිචාර දක්වා තිබිණි. ‘ඔහු නියම දේශපාලන සුත්තරකාරයෙක්. ඔහුගේ නියෝග මත සියල්ල සිදු වී තිබියදී සවුදියේ නායකයා ලෙස තමන්ට ඇති බලය ප්‍රයෝජනයට ගනිමින් ඔහු ලෝකය රවටනවා. ඔහු නොදැනුවත්ව ඔතරම් බිහිසුණු ක්‍රියාවක් කරන්න කිසිවෙකුට බැහැ.’

සල්මාන් කුමරුගේ තර්ජනය

මේ අතර ජමාල් කෂෝගී ඝාතනය දේශපාලන වාසි සඳහා යොදා නොගන්නා ලෙස මීට පෙර මොහොමඩ් බින් සල්මාන් කුමරු විදෙස් රටවල් වලට තර්ජනය කර තිබිණි. එංගලන්තයේ ලන්ඩන් නුවර මුලික කරගනිමින් පවත්වාගෙන යන, අරාබි භාෂාවෙන් මුද්‍රණය කෙරෙන asharq al-awsat පුවත්පතට සම්මුඛ සාකච්ඡාවක් ලබා දෙමින් සෞදි කුමාරයා වැඩිදුරටත් අවධාරණය කර තිබුණේ ජමාල් කෂෝගී ඝාතනයට අදාළව යුක්තිය ඉටු කිරීම තම රටේ කාර්යයක් බවයි. මීට අදාළ සියලු සාක්ෂි අධිකරණයට ඉදිරිපත් කර ඇති බවත්, මෙම සිද්ධියෙන් දේශපාලන වාසි ලබා ගැනීමට ඇතැම් රටවල් දරන උත්සාහය තරයේ හෙළා දකින බවත් ඔහු පවසා තිබිණි.

එක්සත් ජාතීන්ගේ පිටු 100 වාර්තාව

කෂෝගී ඝාතනයට සවුදියේ ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරු සෘජුව සම්බන්ධ වී ඇති බව සදහන් වාර්තාවක් එක්සත් ජාතීන්ගේ සංවිධානය මගින් ද නිකුත් කළේය. ඊට අදාළව අතිශය විශ්වසනීය සාක්ෂි ඇති බවද එහි සදහන් ය. මෙම වාර්තාවේ පිටු 100 ක් ඇත. කෂෝගී ඝාතනය අන්තර්ජාතික අපරාධයක් බවත්, ඊට වගකිවයුතු පාර්ශ්ව අනාවරණය විය යුතු බවත් එම වාර්තාවේ වැඩිදුරටත් සදහන් වේ.

තුර්කියේ විශ්වාසය

තුර්කියේ ඉස්තාන්බුල් නුවර පිහිටි සෞදි කොන්සල් කාර්යාලය තුළදී 2018 ඔක්තෝබර් 02 දා ජමාල් කශෝගී ඝාතනය කෙරිණි. මේ පිළිබඳව මුලින්ම අනාවරණය කරන ලද්දේ තුර්කි ආරක්ෂක අංශ යි. තුර්කි ජනාධිපති රිසෙප් එර්ඩෝගන් ඒ මොහොතේම පැවසුවේ සෞදි රජු අවංකව කටයුතු කරනු ඇතැයි තමන් විශ්වාස කරන බවයි.

සල්මාන්ගේ විශේෂ ඒකකය

ජමාල්ගේ ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබෙන්නේ සෞදියේ ඔටුන්න හිමි සල්මාන් කුමරුගේ සමීපතමයන් පිරිසකටයි. ඔවුන් සල්මාන් කුමරු යටතේ පවතින විශේෂ ඒකකයක් නියෝජනය කළ පිරිසකි. රොයිටර් පුවත් සේවය වාර්තා කර තිබුණේ සල්මාන් කුමරුගේ ජ්‍යෙෂ්ඨ උපදේශකයෙක් වන සවුද් අල් කටානි ස්කයිප් තාක්ෂණය ඔස්සේ ජමාල්ගේ ඝාතනයට මොහොතකට පෙර, ඝාතකයන් සමග සම්බන්ධ වී ඇති බවයි. ඔහු ඝාතකයන්ට පවසා ඇත්තේ ‘ඔය බල්ලාගේ හිස මට ගෙනැත් දෙන්න’ යනුවෙනි.

තුර්කියේ වැඩ

සෞදියට විශාල ණය මුදලක් ගෙවීමට තිබියදී වුවද, මෙම සිද්ධියේදී තුර්කිය වඩාත් කාර්යක්ෂමව කටයුතු කිරීම කැපී පෙනිණි. සිද්ධියෙන් දින කිහිපයක් තුළ ඊට සෘජුව සම්බන්ධ වූ සැකකරුවන් 18 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට එරට ආරක්ෂක අංශ කටයුතු කළේය. එසේම ඝාතනයෙන් පසු විශේෂ ගුවන් යානයකින් කිසියම් පිරිසක් සෞදියට පිටත්ව ගොස් ඇතැයිද ඔවුන් අනාවරණය කළේය.

ට්‍රම්ප්ගේ වෙනස

මෙම ඝාතනය සිදු වූ විගස සෞදිය විවේචනය කළ පිරිස් සති කිහිපයක් තුළ එය වෙනස් කළහ. ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසුවේ තම රටේ පුරවැසියෙකු වන ජමාල් කශෝගී ඝාතනය සම්බන්ධයෙන් විධිමත් විමර්ශනයක් සිදු නොකරන්නේ නම්, සෞදිය සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට සිදු වන බවයි. ඊට පිළිතුරු ලෙස සෞදිය පැවසුවේ ඇමරිකාව සමග අත්සන් කිරීමට නියමිත ඉතිහාසයේ දැවැන්තම අවි ගනුදෙනුවකට අදාළ ගිවිසුමක් ඇතැම් විට අත්හිටුවීමට සිදු වනු ඇති බවයි. ඩොනල්ඩ් ට්‍රම්ප් ඉන් පසු ඒ ගැන කතා කරන්න ගියේ නැත.

ඩාවෝස් ඉන් ද ඩෙසර්ට්

සෞදි අරාබි ආයෝජන සමුළුව හෙවත් ඩාවෝස් ඉන් ද ඩෙසර්ට් සඳහා සහභාගී නොවන බවත්, කිසිවෙකුට කශෝගිගේ ඝාතනය අනුමත කළ නොහැකි බවත් ලෝකයේ බිලියනපති ව්‍යාපාරිකයෝ රැසක් පෙර පැවසුහ.එහෙත් 2018 ඔක්තෝබර් 23 දා ආරම්භ වූ සමුළුවට එසේ පැවසු ව්‍යාපාරිකයන්ගෙන් අති බහුතරයක් සහභාගී වීම විශේෂත්වයකි.

පුරවැසියා දෙවැනි තැනට

ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ සහ සෞදී අරාබියේ ඔටුන්න හිමි කුමරු වන මොහොමඩ් බින් සල්න්මාන් අතර පැවති සාකච්ඡාවකදී ඝාතනය කෙරුණු මාධ්‍යවේදී ජමාල් කශෝගී සම්බන්ධයෙන් කිසිදු අවධානයක් යොමු කර තිබුණේ නැත. රාජ්‍ය ලේකම්වරයා විසින් නිකුත් කළ ට්විටර් පණිවිඩයක සඳහන් වුයේ එය මැද පෙරදිග කලාපයේ ආරක්ෂාව සම්බන්ධයෙන් වූ සාකච්වඡාවක් පමණක් බවයි. එහිදී ඇමරිකානු පුරවැසියෙකු සහ වොෂින්ටන් පොස්ට් පුවත්පතේ දේශපාලන තීරු ලිපි රචකයෙකු වූ ජමාල් කශෝගී සම්බන්ධයෙන් කිසිවක් සාකච්ඡා කිරීමට අවස්ථාවක් නොලද බවද ඔහු පවසා ඇත.

ට්‍රම්ප්ගේ අරමුණ

මීට පෙර ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ද සල්මාන් කුමරු සමග දුරකථන සාකච්ඡාවක් පවත්වා තිබිණි. එහිදීද කශෝගී සම්බන්ධයෙන් කිසිදු අවධානයක් යොමු නොකළ බව විදෙස් මාධ්‍ය සඳහන් කර තිබිණි. ඉරානය සමග ඇති ගැටුමේදී සෞදියේ සහය ලබාගැනීම මේ සාකච්ඡා දෙකේම අරමුණ වූ බව පෙනෙන්නට ඇත.

කශෝගිගේ ඉතිහාසය

මාධ්‍යවේදී ජමාල් කශෝගී මුලදී සෞදි රජ පවුලට ඉතා සමීපව කටයුතු කළ අයෙකි. ඉන්පසු ඇති වූ ගැටුමක් නිසා ඔහු ඇමරිකාවට පළා ගොස් තිබේ. ඇමරිකාවේ පදිංචිව සිටිමින් වොෂින්ටන් පෝස්ට් පුවත්පතේ ස්ථිර තීරු ලිපි රචකයෙකු ලෙස කටයුතු කර ඇති ඔහු, මෙම තීරු ලිපි මගින් සෞදි පාලනය බරපතළ ලෙස විවේචනය කර ඇත.


ශාලික විමලසේන
ලංකා වෙබ් ඇසුරින්

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button