දේශපාලන

“ගෝඨාගේ ගොදුර ඔබ නොවන තාක් කල් ඔබට සතුටින් සිටිය හැකිය”

ගොදුර තමන් නොවන තාක් කල් ඔබට සතුටින් සිටිය හැකිය. උන්ව මැරුවාට කමක් නැතැයි හිත හදා ගත හැකිය. ගෝඨාභය රාජපක්ෂලා වැලිකඩ බන්ධනාගාරයේදී ලැයිස්තුවකට අනුව තෝරා ගත් විසි හත් දෙනෙක් මැරුවේ ඒ ටික දන්නා නිසා ය.

මේ සිද්ධිය සම්බන්ධයෙන් සකස් කළ වාර්තාව අගමැති රනිල් වික්‍රමසිංහ යට ගැසුවේය. ඒ වාර්තාව භාර ගත් අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂ දැන් ගෝඨාභයගේ ඡන්ද වැඩවල ය. ඔහු කියන්නේ ගෝඨාභය බේරුණේ තමන්ගේ මැදිහත්වීම නිසා බවයි.

බැරිම තැන ඔවුන් ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයේ නඩු පවරා ඇඟ බේරා ගත්තේය. සිද්ධියට නඩු පැවරුවේ බන්ධනාගාර අධිකාරී එමිල් රන්ජන් ළමාහේවාට සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ පොලිස් පරීක්ෂක නියෝමාල් රන්ගජිවට පමණි. නඩුවේදී සාක්ෂි දෙමින් එවකට ප්‍රධාන ජේලර්වරයා වූ පල්ලෙකුඹුර වලව්වේ කුඩා බණ්ඩාර කිව්වේ ගෝඨාගේ ලැයිස්තුවකට මේ ඝාතන සිදු කළ බවයි. බන්ධනාගාරය තුළට නීතිවිරෝධී ලෙස ඇතුළු වූ හමුදා අනු ඛණ්ඩයේ උසස් නිලධාරියෙකු තමන්ට එය තහවුරු කළ බව ඔහු අධිකරණයට කීවේය.

කුඩා බණ්ඩාර විමර්ශන නිලධාරීන් ඉදිරියේදී මේ අනාවරණය නොකළේ ඇයි ? ඊට පිළිතුරු දෙමින් ඔහු කිව්වේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් තමන්ට අවවාද කළ බවයි. “අපි කරන්නේ රජයේ පව් හෝදන එක, පරෙස්සමෙන් සාක්ෂි දෙන්න, අමාරුවේ වැටෙන්න එපා” ඔවුන් එසේ කියූ බව අධිකරණ වාර්තා වල දැන් සඳහන් වී තිබේ.

ඒහෙත් ගෝඨාභය රාජපක්ෂට අනුව මෙය සාමාන්‍ය ක්‍රියාන්විතයකි.
“වැලිකඩ සිරකරුවන්ට වෙඩි තියපු සිද්ධිය ගැන ඔබට දැන් මොනවද හිතෙන්නේ ?”
“මට කිසිම දෙයක් හිතෙන්නේ නෑ. ඒවා සාමාන්‍ය ක්‍රියාන්විත.”
“එහෙම කියලා ඔබට මේ අපරාධයෙන් ගැලවෙන්න බෑ ?”
“මම මොකද වුණේ කියලා ඇහුවා විතරයි. ක්‍රියාන්විතය කරපු අයයි ඒවට වගකියන්න ඕනෙ.”

මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය හමුදාවෙන් කළ බව ඇමරිකානු අධිකරණයකට කිව්වේත් මේ ගෝඨාභය රාජපක්ෂ ම ය. ඔහු ඒ පාරේම ගොස් වැලිකඩ ඝාතනයෙන්ද ගැලවෙන්නට උත්සාහ දරයි. ආණ්ඩුවේ නියෝජිතයා වන නීතිපති දෙපාර්තමේන්තුව ඔහුට නීතිමය රැකවරණය ලබා දෙයි. යළිත් කිව යුතුය. ගොදුර තමන් නොවන තාක් කල් ඔබට සතුටින් සිටිය හැකිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button