මහනුවරට නුපුරුදු ගං වතුරේ කතාව
ගං වතුර යනු මහනුවර ප්‍රදේශයේ ජනතාවට එතරම් හුරුපුරුදු අත්දැකීමක් නොවේ. නායයෑම්, සුළිසුළං සහ අනෙකුත් ආපදා වල යම් යම් අත්දැකීම් තිබුණද ගං වතුරෙන් මහනුවර ප්‍රදේශයට එතරම් තර්ජනයක් නොවූයේ එහි තිබෙන භූගෝලීය සාධකයන් හේතුවෙනි. නමුත් අකුරණ ප්‍රදේශය වසර කිහිපයක සිට ගං වතුර තත්වයන් සදහා මුහුණ දෙමින් සිටියි. ඊයේ දිනයේදී එම තත්වය වෙන කවරදාකටත් වඩා වර්ධනය වෙමින් පෙන්වා දෙනු ලැබූයේ අවිධිමත් මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් ඇති වන ප්‍රථිඵලයන් එතරම් සුන්දර නොවන බවයි.
පිඟා ඔය යනු අකුරණ පසුකරගෙන ගලාගෙන විත් කටුගස්තොට නගරයේදී මහවැලි ගඟට එක් වන ඔයකි. මෙම ඔය මහවැලි ගඟට එකතු වන ස්ථානයේදී එය සාමාන්‍ය ලෙස පැවතුණ ද ඔබ එම පිඟා ඔය අසලින් දිවෙන A9 හෙවත් මහනුවර-යාපනය මාර්ගයේ මඳ දුරක් ගමන් කිරීමේදී ඔබට දැකගත හැකි වනු ඇත්තේ කෙමෙන් කෙමෙන් එය කුඩාවට පත් වන ආකාරයයි. එමෙන්ම අකුරණ ප්‍රදේශයට ආසන්න වූ විට ඔබට දැකගැනීමට ලැබෙන්නේ ඔයක් වෙනුවට කුඩා දිය පහරකි. එමෙන්ම නිවාස, ව්‍යාපාරික ස්ථාන සහ වෙනත් ගොඩනැගිලි මෙම ඔය මැද්දට පවා වන්නට ඉදිකර ඇති ආකාරය අපට දැකගත හැකිය. ඔයේ ඉවුර ගොඩකර ඇත්තාක් මෙන්ම ඔය මැදට වන්නට කොන්ක්‍රීට් කණු දමා ඉදිකිරීම් කර ඇති ආකාරයද දැක ගත හැකිය. මෙවැනි ඉදිකිරීම් සිදු කිරීම සදහා අවසර ගත්තේ කෙසේද?, මෙවැනි ඉදිකිරීම් ඉදිකරන තෙක් අදාල අංශයන්හි නිහඬතාවය ද, එමෙන්ම මෙම ඉදිකිරීම් මෙතරම් කාලයක් කිසිදු කාලයක් පවත්වාගෙන යනු ලැබුයේ කෙසේද? යන්න පිළිබදව ඇත්තේද ගැටලු සහගත තත්වයකි.
එමෙන්ම මෙම ගංවතුර තත්වය සදහා අනෙකුත් ප්‍රධාන හේතුව ලෙස මාර්ග දෙපස මෙන්ම මෙම අකුරණ ප්‍රදේශය තුළ තිබූ රජය විසින් ඉදිකර ඇති කාණු පද්ධතීන් ගොඩකර අවහිර කරමින් ව්‍යාපාරික ස්ථාන වැනි ඉදිකිරීම් සිදු කර ඇති ආකාරය දැක ගත හැකිය. මෙම චායාරූපයන් හි ද එම තත්වය පැහැදිලිව දැකගත හැකිය. මෙම ආත්මාර්ථකාමී අවිධිමත් ක්‍රියාවලිය තුළින් අපහසුතාවයට පත්වන්නේ එම ඉදිකිරීම් කළ පුද්ගලයන් පමණක් නොව ප්‍රදේශයේ ජනතාව සහ මෙම A9 මාර්ගය භාවිතා කරන දහස් සංඛ්‍යාත ජනතාවයි.
මෙහි තිබෙන ප්‍රධාන ගැටලුකාරී තත්වය වන්නේ මෙවැනි ආපදාවක් ගොඩනැගෙන තෙක් අවිධිමත් ක්‍රියාවලීන් සිදුවීමට ඉඩ දී බලා සිටි රාජ්‍ය යාන්ත්‍රණයේ හැසිරීමයි. ප්‍රදේශයේ ප්‍රධාන ඔයක් හිඳෙන තෙක් එහි ඉවුරු ගොඩ කර ඉදිකිරීම් ඉදිකිරීමටත්, රටෙහි ප්‍රධානතම මාර්ගයක රජයේ වියදමින් ඉදිකළ කාණු පද්ධතිය ගොඩ කර එම භූමිය ආක්‍රමණය කිරීම මඟින් ගං වතුර තත්වයක් නිර්මාණය කිරීමටත් ඉඩ හැර තම වගකීම පැහැර ඇර බලා සිටින රාජ්‍ය නිලධාරීන් ද සිදුවී ඇති මෙම ගැටලුවේ කොටස්කරුවන් ය.
තම ලාභ ප්‍රයෝජනය තකා ආත්මාර්ථකාමී ලෙස ඉවුරු ගොඩ කිරීම සහ කාණු පද්ධතීන් වසා ඉදිකිරීම් සිදු කිරීම ශ්‍රී ලංකාවේ කලක පටන් සිදු වන ඉතා දූෂිත ක්‍රියාවලියකි. මෙම ක්‍රියාවලියත් සමඟ ගොඩනැගෙන පාරිසරික මෙන්ම සමාජීය ප්‍රශ්න වල අඩුවක් ද නොමැත. පෞද්ගලික වුවමනාවන් වෙනුවෙන් කාණු පද්ධතීන් ගොඩ කිරීම නිසා ජනතාවගේ මුදලින් සෑදූ මාර්ගයක් විනාශ වීම ඉතා කනගාටු දායක තත්වයකි. එමෙන්ම ඔයක්, දියපාරක් ගොඩ කරමින් කලක් ගිය විට එය කෙමෙන් සිඳීයන අතර කාලයක් තිස්සේ එය ආශ්‍රිතව ගොඩනැගී පවතින පරිසර පද්ධතිය සහ එය පරිභෝජනයට ගෙන ජීවත් වන ජනතාව ඉතා අපහසුතාවයට පත් වේ. එවැනි තත්වයකට පත් වූ පසුව ගත හැකි ක්‍රියාමාර්ග සහ එම තත්වයට මුහුණ දිය හැකි ආකාරයන් ඉතා අපහසුකාරී වේ. එම නිසා එවැනි තත්වයක් නිර්මාණය වීමට ප්‍රථම වළක්වා ගැනීම වඩාත් යහපත් වනු ඇත. ඒ සදහා පාලන තන්ත්‍රයෙන් ඉල්ලීමට ද නිද්‍රාශීලීව පවතින රාජ්‍ය අංශයන් සහ නිලධාරීන් පිටු දැකීමට ද ජනතාවට අයිතිය ඇත.
Voice for Climate Change (Facebook පිටුව ඇසුරින්)
ඡායාරූප – ගිහාන් මායාදුන්න