උත්සව සමය නොවහා වහන ලකුණු – නිල තීන්දුවක් ගැනීම නිවාඩුව කට උඩ දී
ලොව පුරා පැතිර යන කොවිඞ් වසංගතය හේතුවෙන් පෙර වසරවලදී මෙන් මෙම වසරේදී උත්සව සමය සැමරීමට නොහැකි බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසනවා.
කණ්ඩායමක් ලෙස සමූහයක් ලෙස කටයුතු කිරීම, රෝගය ව්‍යාප්තියට හේතුවක් වන බවත්, ඉන් වැළකී කටයුතු කරන ලෙසත් ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
ඒ අනුව මෙවර උත්සව සමය සැමරීමේදී එය පවුලේ සාමාජිකයින්ට පමණක් සීමා කර, සියයට සියයක් නිරෝධායන නීතිවලට අනුගතව සිදුකරන ලෙසද අජිත් රෝහණ වැඩිදුරටත් ඉල්ලා සිටියා.
එසේම, සති අන්තයේ බස්නාහිර පළාතෙන් සෙසු පළාත් වෙත සිදු කරන සංචරණ හැකි තරම් සීමා කරන්නැයි පොලීසිය ජනතාවගෙන් ඉල්ලා සිටී. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ, අත්‍යවශ්‍යම කරුණකට හැර නිවෙස්වලින් බැහැර ව යාම ද සීමා කරන ලෙසයි. එමගින් කොරෝනා ව්‍යාප්තිය පාලනය වේගවත් කරගත හැකි බව ද ඔහු පැවසීය.
මේ අතර, එළඹෙන උත්සව සමයේ දී රට පුරා හුදෙකලා කිරීමක් හෝ නිරෝධායන ඇඳිරි නීතිය පැනවීමක් සිදුකිරීමට මේ වන තෙක් තීරණයක් ගෙන නොමැති බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කර සිටිනවා.
වත්මන් කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් උත්සව සමය ඉලක්ක කර ගනිමින් එවැනි තීරණයක් ගැනීමට නියමිත ද යන්න සම්බන්ධයෙන් පාර්ශව රැසක් විමසීම් සිදුකර ඇති බවයි හමුදාපතිවරයා මෙහි දී ප්‍රකාශ කර සිටියේ.
” දැනට පවතින තත්ත්වය මත එවැනි හුදෙකලා කිරීමක් සිදුකිරීමට අවශ්‍යතාවයක් පෙනී යන්නේ නැහැ. නමුත් නව කොවිඩ් පොකුරක් ඇතිවුවහොත්, එසේත් නොමැති නම් කොළඹ හෝ කිසියම් ප්‍රදේශයක කොවිඩ් ආසාදිතයින්ගේ ඉහළ යෑමක් පෙන්නුම් කළහොත් අපිට ඒ සම්බන්ධයෙන් තීන්දු තීරණ ගන්න සිදුවෙනවා.
දෙසැම්බර් 22 වෙනිදා වන විට රටේ පවතින තත්ත්වය ගැන අප සමාලෝචනය කොට ඒ ගැන තීරණය කරන්න බලාපොරොත්තු වෙනවා. නමුත් අද වන විට පවතින තත්ත්වය මත එවැනි හුදෙකලා කිරීමක්, සංචරණ සිමා පැනවීමක් හෝ නිරෝධායන ඇඳිරි නීතිය පැනවීමක් සිදුකිරීමේ අවශ්‍යතාවයක් පෙන්නුම් කරන්නේ නැහැ” යැයි හමුදාපතිවරයා සඳහන් කළා.
කෙසේ නමුත්, මින් පෙර අවස්ථා ගණනාවක දී ම මෙම පාර්ශව මෙවැනි අවස්ථාවල අවස්ථාවෙන් අවස්ථාව එකිනෙකට පරස්පර ප්‍රකාශ සිදු කිරීම නිසා ජනතාව අපහසුතාවට පත් වූ අවස්ථා ද ඇත.