දේශීය

අරුවක්කාලු කසල බහාලුමෙන් විනාශ වන්නේ පුරා ජෛව විද්‍යාත්මක භූමියක්

- පූජ්‍ය වෑකඳවල රාහුල හිමි

අරුවක්කාලු කසල බහාලුම් පර්යන්තය මඟින් විනාශයට ලක්වන්නේ දකුණු ආසියාවේ හොඳම පුරා ජෛව විද්‍යාත්මක වටිනාකමින් යුතු භූමියක් බව ලංකා නිවුස් වෙබ් වෙත අදහස් දක්වමින් පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානයේ පරිසරවේදී පූජ්‍ය වෑකඳවල රාහුල හිමියෝ අවධාරණය කරති.

මයෝසීන යුගයට අයත් පොසිල සාධක වැඩිවශයෙන් හමු වූ භූමියක් ලෙස අරුවක්කාලු භූමිය ප්‍රචලිත බවයි උන්වහන්සේ පෙන්වාදෙන්නේ.

ඉතිහාසයේ මෙම ප්‍රදේශය මුහුදින් යටවී තිබී ඇති අතර පසුව එම භූමියේ කැණීම් වලදී ජලජ ජීවින්, බෙල්ලන් විශේෂ සහ කොරල්පර ඇතුළු ජලජ ජීවී පොසිල රැසක් හමු වී ඇති බව රාහුල හිමියෝ පෙන්වාදුන්හ.

නමුත් දැන් එම භූමිය කසල තැන්පත් කිරීම සඳහා යොදා ගැනීමට යෑමෙන් පරිසරය මෙන්ම ඉතිහාසයක් විනාශ වන බවයි රාහුල ස්වාමීන් වහන්සේ කියාසිටින්නේ.

“ලංකාවට අවශ්‍ය කසල තැන්පත් කිරීමේ ක්‍රමවේදයක් නොවෙයි. ඒවා ප්‍රතිචක්‍රීකරණය කරලා ආදායම් උපයන තත්ත්වයට පත්කරන්න ඕනේ. කසල තැන්පත් කිරීමෙන් එක පැත්තකින් කසල ජාවාරම්කාරයෝ බිහිවෙනවා වගේම අනිත් පැත්තෙන් පරිසරය දීර්ඝ කාලීනව විනාශයට ලක්කරනවා.

අරුවක්කාලු ප්‍රදේශය ගත්තොත් හුණු ගල් මිශ්‍ර පසක් තිබෙන්නේ. එම පසට අපද්‍රව්‍ය සහ රසායනික ඉතා ඉක්මණින් උරා ගන්නවා. දීර්ඝ කාලීනව කුණු තැන්පත් කිරීම මඟින් ජල මූලාශ්‍ර විනාශයට ලක්වෙනවා. මෙවැනි තත්ත්වයක් නිර්මාණය කරගැනීමේ අවශ්‍යතාව කුමක්ද යන්නයි තියෙන ප්‍රශ්නය.”

කසල ප්‍රශ්නයට විසඳුම කසල තැන්පත් කිරීමෙන් නොලැබෙන අතර එය අනිවාර්යයෙන් ප්‍රතිචක්‍රීකරණය කළ යුතු බව රාහුල හිමියෝ පවසති.

“අරුවක්කාලුවෙන් වැඩක් ගන්නවා නම් ඇත්තටම පුරා ජෛව විද්‍යාව හදාරන මධ්‍යස්ථානයක් බවට පත්කරන්න පුළුවන්. එය ජාත්‍යන්තර මට්ටමේ කාර්යයක්. දකුණු ආසියාවේ මයෝසීන පොසිල හමුවී තිබෙන හොඳම භූමිය එයයි. එක පැත්තකින් එය සංචාරක කර්මාන්තයට පවා හොඳ අවස්ථාවක්”

අරුවක්කාලු ප්‍රදේශය කසල බහාලුම් පර්යන්තයක් බවට පත්කිරීමට විරෝධය දක්වන්නේ මෙවැනි පසුබිමක හිඳිමින් බව රාහුල හිමියෝ වැඩිදුරටත් අවධාරණය කළහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button