විද්‍යාව

කොවිඩ්–19 වයිර‍සයේ වර්ග තුනක් සොයා ගැනේ….

මාරාන්තික කොවිඩ්–19 වෛර‍සයේ ප්‍රභේද තුනක් ලෝකයේ පැතිරෙමින් තිබෙන බව බ්‍රිතාන්‍යයේ කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලය කරන ලද පර්යේෂණයකින් තහවුරු වී ඇත.

එම විශ්වවිද්‍යාල‍යේ පර්යේෂකයන් පිරිසක් දෙසැම්බර් සිට මාර්තු මාසය දක්වා සිදුකරන ලද වෛරසයේ ජාන ඉතිහාසය අධ්‍යයනයෙන් මෙම නිගමනයට එළැඹ ඇත. ඔවුන් පවසන්නේ කොවිඩ්–19 වෛරසයේ එකිනෙකට සුළු වෙනස්කම් සහිත ප්‍රභේද තුනක් හඳුනාගත් බවයි.

පැන්ගෝලියන් සත්ත්වයකු හරහා වවුලන්ගෙන් මිනිසාට සම්ප්‍රේෂණය වන්නට ඇතැයි දැනට විශ්වාස කරන මුල් ප්‍රභේදය කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාල පර්යේෂකයන් විසින් හඳුන්වා ඇත්තේ (ඒ) ප්‍රභේදය ලෙසිනි. එසේ වුව ද එය චීනයේ සුලභ ප්‍රභේදයක් වී නැත. චීනයේ වසංගතය පැතිරයාමට ප්‍රධාන වශයෙන් හේතු වී ඇත්තේ (බී) ප්‍රභේදයයි. එය දෙසැම්බර් මාසයේ අවසානය දක්වා චීනයේ සංසරණය වී තිබේ.

එසේ වුව ද පර්යේෂණයේ ප්‍රතිඵල අනුව පැහැදිලිවන්නේ මේ වනවිට ඕස්ට්‍රේලියාවේ සහ ඇමෙරිකා එක්සත් ජනපදයේ පැතිරෙමින් පවතින්නේ (ඒ) නමැති ප්‍රභේදය බවයි. එම ප්‍රභේදය ආසාදනය වීමෙන් රෝගී වූ 400,000කට වඩා වැඩි පිරිසක් සිටින බවත් ඔවුන් පවසයි. ඇමෙරිකාවේ ආසාදිතයන් අතරින් තුනෙන් දෙකක කොටසක් ආසාදනය වී ඇත්තේ කොවිඩ්–19 වෛරසයේ A ප්‍රභේදය හේතුවෙනි. එම රෝගීන් වැඩි පිරිසක් වාර්තා වී ඇත්තේ බටහිර වෙරළ තීරයෙනි. නිව්යෝර්ක්වලින් එම ප්‍රභේදයෙන් ආසාදනය වූ රෝගීන් වාර්තා වී ඇත්තේ සුළු වශයෙනි.

කේම්බ්‍රිජ් විද්‍යාඥයන් පවසන්නේ ඇමරිකාවෙන් ලබාගත් සාම්පල 310 ක් අතරින් රෝගීන් තුනෙන් දෙකක් ආසාදනය වී ඇත්තේ (ඒ) ප්‍රභේදයෙන් බවයි.

එසේ වුව ද නැව්වල දී රෝගී වූ ඇමෙරිකානුවන් ගේ බහුලව දක්නට ඇත්තේ (බී) ප්‍රභේදයයි.

පර්යේෂණ කණ්ඩායමේ ප්‍රධානි ආචාර්ය පීටර් ෆෝස්ටර් පවසන්නේ බ්‍රිතාන්‍යයේ වැඩිපුර දක්නට ලැබෙන්නේ (බී) ප්‍රභේද හේතුවෙන් ආසාදනය වූවන් බවයි. ස්විට්සර්ලන්තය, ජර්මනිය, ප්‍රංශය, බෙල්ජියම සහ නෙදර්ලන්තය යන රටවල ද වැඩිපුර දක්නට ලැබෙන්නේ (බී) ප්‍රභේදයෙන් ආසාදනය වූවන් බවයි.

බ්‍රිතාන්‍යයෙන් වාර්තා වූ පළමු රෝගියා සහ ඔහුගේ මව ආසාදනය වී ඇත්තේ (ඒ) ප්‍රභේදයේ වෛරසයෙනි. මොවුන්ට ආසාදනය චීනයෙන් පැමිණි බව ද දැනට තහවුරු වූ කරුණකි.

එංගලන්තයේ, ස්කොට්ලන්තයේ හෝ වේල්සයේ සාම්පලවල (ඒ) ප්‍රභේදය බහුලව නොමැති අතර වෛරස ආසාදිතයන් 40ක් අතරින් 30කට ආසන්න ප්‍රමාණයක් B ප්‍රභේදයෙන් ආසාදනය වී තිබිණි.

බ්‍රිතාන්‍යයෙන් වාර්තා වී ඇති අනෙකුත් සිද්ධීන් (සී) ප්‍රභේදයේ වන අතර එම ප්‍රභේදය නැගෙනහිර ආසියාව දක්වා පැතිර පවතින බව තහවුරු වී තිබේ. බ්‍රිතාන්‍යයේ පළමු රෝගියා සිංගප්පූරුවේ ව්‍යාපාරික සමුළුවකට ගොස් පැමිණ සසෙකස් හි විශාල සංඛ්‍යාවක් ආසාදනය කර ඇති බව වාර්තා වෙයි.

පර්යේෂකයන් පවසන්නේ කොවිඩ්–19 වෛරසයේ (බී) ප්‍රභේදය වෙනස් වී (සී) ප්‍රභේදය නිර්මාණය වී තිබෙන බවයි. (සී) ප්‍රභේදය සිංගප්පූරුව හරහා යුරෝපය දක්වා පැතිර පවතී.

ජාත්‍යන්තර PNAS සඟාරාවේ ප්‍රකාශයට පත්කර ඇති දත්තවලින් පැහැදිලි වන්නේ (සී) ප්‍රභේදය යුරෝපයේ වඩාත් සුලභ බවයි. නමුත් දත්ත අනුව (සී) ප්‍රභේදයට වඩා වේගයෙන් (බී) ප්‍රභේදය ව්‍යාප්තවන බව පෙනීයයි. මේ බව තහවුරු කරගෙන ඇත්තේ නිව්යොර්ක් හි වැඩි දෙනකු යුරෝපයෙන් පැමිණි බව සොයාගත් පසු සිදුකෙරුණු අධ්‍යයනයකිනි.

පර්යේෂකන්ගේ අදහස වී ඇත්තේ සාර්ස් රෝගයට හේතු වූ SARS-CoV-2 වෛරසය විවිධ රටවල දී වෙනස් වූ ආකාරයටම කොවිඩ්–19 වෛරසය ද වෙනස් නිරන්තරවම වෙනස් වෙමින් පවතින බවයි. විවිධ රටවල ඒ ඒ ජන කොටස්වල ප්‍රතිශක්තීකරණ පද්ධතියේ ඇති ප්‍රතිරෝධයන් මඟහරවා වෛරසය එලෙස වෙනස්වන බව ඔවුහු කියති.

එසේ වුවත් ඇතැම් පර්යේෂකයන් මෙම තොරතුරු අභියෝගයට ලක්කරමින් පවසන්නේ අධ්‍යයනය සඳහා යොදාගෙන ඇත්තේ ඉතා සීමිත දත්ත ප්‍රමාණයක් බැවින් ඉන් ස්ථිර නිගමනයට එළැඹිය නොහැකි බවයි. මෙම පර්යේෂණය සඳහා යොදාගෙන ඇත්තේ ලොව පුරා රෝගීන් 160 දෙනකුගේ සාම්පල පමණි.

ඒ සම්බන්ධ පැහැදිලි අවබෝධයක් ලබාගැනීමට නම් කො‍රෝනා ආසාදිතයන් 1,000කට වැඩි පිරිසකගේ දත්ත ලබාගෙන ඒවා විශ්ලේෂණය කිරීමට සිදුවන බව මෙම පර්යේෂණයේ සමාලෝචනයේ ම දැක්වේ.

කෙසේ වෙතත් වූහානවලට පිටතින් විවිධ ප්‍රදේශවලට සිටි මිනිසුන්ගේ සිරුරු තුළ මේ වෛරසය වේගයෙන් විකෘති වී තිබේ. මෙයින් තහවුරු වන්නේ බටහිර රවටල ජනතාව තුළ ඇති ප්‍රතිශක්තීකරණය ජයගැනීම සඳහා වෛරසය විකෘති වෙමින් වෙනස් වී ඇති බවයි.

චීනය විසින් කොවිඩ්–19 ආසාදිතයන් වාර්තා කිරීමටත් පෙර වෛරසය විකෘති වී ඇති බව දැනට සොයාගෙන තිබේ. චීනය හඳුනානොගත් වෛරසයක් පැතිරෙමින් තිබෙන බව මුලින්ම නිවේදනය කළේ 2019 වර්ෂයේ දෙසැම්බර් 31 වැනි දා ය.

ආචාර්ය ෆෝස්ටර් මෙසේ පවසයි,

“වූහාන් හි බහුතරයක් (බී) ප්‍රභේදයේ ආසාදිතයන්. පසුව (සී) ප්‍රභේදය බිහිවී එය සිංගප්පූරුව හරහා ව්‍යාප්ත වී තිබෙනවා. මේ (සී) වර්ගය විකෘතියක් නොවෙයි. නමුත් නියැදිය ඉතා කුඩායි. මේ ගැන අපි ප්‍රවේශම් විය යුතුයි. අපි මේ පර්යේෂණය සඳහා යොදාගත් දත්ත ඉතා කුඩායි. සෑම රටකම වාර්තා වී සිටින රෝගීන් දස දහස් ගණන් සැළකූ විට එය ඉතා කුඩා අගයක් වනවා. රෝගීන් සියලු දෙනාගේ දත්ත නැහැ. විශේෂයෙන්ම චීනයේ විශ්ලේෂණය කළ දත්තවලින් අපිට පැහැදිලි වුණේ (බී) ප්‍රභේදය බහුලයි කියා. නමුත් සියලු දෙනා විශ්ලේෂණය කළා නම් අපිට කියන්න වෙන්න ඉඩ තිබුණා (ඒ) ප්‍රභේදයේ රෝගීන් වැඩියි කියලා. අපිට පර්යේෂණ සඳහා සියලුදෙනා යොදාගන්න බැහැ අපි ගන්නේ නියැදියක් විතරයි. මේ ප්‍රතිඵලය අපි විශ්ලේෂණය කරන්නේ එලෙස ලබාගත් නියැදියට අනුව.”


Asian Mirror ඇසුරින්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button