විද්‍යාව

ශ්‍රී ලංකාවේ වැසි වනාන්තර වලින් නව සර්ප විශේෂයක් සොයා ගනී

ශ්‍රී ලංකාවේ නිරිත දිග තෙත් කළාපයෙන් නව ආවේණික නිර්විෂ සර්ප විශේෂයක් විදු ලොවට එක කිරීමට ජේෂ්ඨ උරග හා උභයජීවී විද්‍යාඥ මෙන්ඩිස් වික්‍රමසිංහ ඇතුළු පර්යේෂක පිරිසට හැකිව ඇත. ගැට රදනක විශේෂයක් වන මෙම සර්පයා Dryocalamus chithrasekarai යන විද්‍යා නාමයෙන් හඳුන්වන අතර චිත්‍රසේකරගේ ගැට රදනකයා ලෙස සිංහල බසිනුත් Chithrasekara’s Bridal Snake ලෙස ඉංග්‍රීසි බසිනුත් හඳුන්වනු ලැබේ. ශ්‍රී පාද අඩවියෙන් මෙම විශේෂයේ දර්ශක නිදර්ශකය හමුවී ඇති අතර දෙණියාය, කන්නෙලිය වැනි ප්‍රදේශ වලින්ද නිදර්ශක හමු වී ඇත. මේ පර්යේෂණ පත්‍රිකාවත් සමග ශ්‍රී ලංකාවේ උතුරු ප්‍රදේශයෙන් 1888දී විලියම් හේලි විසින් එකතුකරන ලද නිදර්ශක මගින් ශ්‍රී ලංකාවට හඳුන්වාදුන් මී ගැට රදනකයා (Dryocalamus gracilis) නම් සර්ප විශේෂය ශ්‍රී ලංකාවේ හමු නොවන විශේෂයක් බව තහවුරු කිරීමටද පර්යේෂකයන්ට හැකිව තිබේ.

මේ අනුව ශ්‍රී ලංකාවේ වියළි කළාපයේ හා අන්තර් කළාපයේ ගැට රදනකයාද (Dryocalamus nympha) නිරිත දිග තෙත් කළාපයේ චිත්‍රසේකරගේ ගැට රදනකයාද ව්‍යාප්තව ඇති බව ඔවුන් පේනවා දේ. චිත්‍රසේකරගේ ගැට රදනකයා, ගැට රදනකයාගෙන් වෙන් කොට හඳුනාගත හැකි ප්‍රමුඛ ලක්ෂණ ලෙස මධ්‍ය දේහයේ හරස් කොරළ පේළි 15ක් තිබීම, පූර්ව අක්ෂි කොරළයක් නොපිහිටීම, ලෝරියල් කොරළය උපරි-අක්ෂි කොරළය සමග ස්පර්ශ වීම හා බෙදුණු ගුද කොරළයක් තිබීම වැනි කොරළ වින්‍යාස ලක්ෂනත්, සුදු පැහැති පැහැදිලි හරස්පටි අපර දෙසට වන්නට පෘෂ්ඨීයව රව්ම් ස්වභාවයක්ද පාර්ශවිකව තිරස්ව විහිදීමක් ලෙස තිබීම, කළු සහ සුදු උදරීය වර්ණ රටාවත් හිසේ අපර කොටසට වන්නට ඇති සුදු කර පටියේ පිටිපසු දාරය කෙලින්ම තිබීමත් (ගැට රදනකයාගේ මෙය හිසේ හොඹුව දෙසට වන්නට නෙරා ඇත) වැනි රූප විද්‍යාත්මක ලක්ෂනත් ගත හැක.

කන්නෙලිය රක්ෂිතය ආරක්ෂාකිරීමට හා රැක බලාගැනීමට අපමණ වෙහෙස මහන්සියක් දැරූ චිත්‍රසේකර මහතාට ගෞරවයක් ලෙස මෙම සර්ප විශේෂය නම් කොට ඇත. මෙම එළිදැක්වීම ඇතුලත් පර්යේෂණ පත්‍රිකාව 2020/03/06 වන සිකුරාදා දින zootaxa විද්‍යාසඟරාවේ පළ වී ඇත.

මෙම සර්ප විශේෂය සොයා ගැනීම සඳහා පර්යේෂණ කළ කණ්ඩායම වන්නේ, මෙන්ඩිස් වික්‍රමසිංහ, දුලාන් රංග විදානපතිරණ, නෙතූ වික්‍රමසිංහ හා විශාන් පුෂ්පමාල් ය.


ඡායාරූපය – zootaxa විද්‍යා සඟරාව
සටහන – Snakes of Sri Lanka

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button