විද්‍යාව

නග්න මූසිකයා

ඉංග්‍රීසී භාෂාවෙන් ව්‍යවහාරිකව මේ සත්වයාව හඳුන්වන්නෙ Naked mole rat ලෙස. ආසන්නතම අර්ථය එන විදිහට සිංහලට භාෂාවට පරිවර්තනය කරොත් ඉන් හැඟවෙන අර්ථය ‘නග්න මූසිකයා’.මෙහෙම කියන්න හේතුව මේ සත්වයන්ගෙ ශරීරයේ ලොම්, රෝම ආවරණයක් නොපිහිටීම. මේ සත්වයාට කියන තවත් නමක් තමයි ‘සෑන්ඩ් පපී’. මේ අපූරු ක්ශිරපායි සත්වයා අයත් වන්නෙ මීයන්, ලේනුන් අයත් වන රොඩෙන්ශියා ගෝත්‍රයට. රොඩෙන්ශියාවන් සිංහලෙන් හඳුන්වන්නෙ ‘කෘන්තකයන්’ ලෙස. කෘන්තකයන්ගෙ කැපී පෙනෙන ප්‍රධානම ලක්ෂණය තමයි දිගු පිහි තල මෙන් වැඩෙන කෘන්තක දන්ත සැකැස්ම.

අපි මේ කතා කරන සත්ව විශේෂය ජීවත් වන්නෙ නැගෙනහිර අප්‍රිකානු කලාපයේ. මේ සත්වයා ක්ශිරපායි සත්වයෙක්, ඒ කියන්නෙ අප මෙන් කිරි බී වැඩෙන සත්වයෙක්. නමුත් මේ ක්ශිරපායි සත්වයා දරන අනෙක් බොහෝ ලක්ෂණ ක්ශිරපායි සත්ව කාණ්ඩයන් දරන ලක්ෂණ වලට වඩා හාත්පසින්ම වෙනස් ලක්ෂණ.

උදාහරණයකට ඔබ දන්නවා ක්ශිරපායින් කියන්නෙ අචලතාපීතා සත්වයන්. ඒ කියන්නෙ පරිසරයේ උශ්ණත්වය අනුව අපේ ශරීර උශ්ණත්වයන් වෙනස් වෙන්නෙ නෑ. එය නියත අගයක පවත්වා ගැනීම සඳහා යාන්ත්‍රණයක් අප සතුව තිබෙනවා. ඒ හේතුවෙන් පරිසර උශ්ණත්වය සමඟ අපගෙ ශරීර උශ්ණත්වය සමපාත වෙන්න යන්නෙ නෑ නමුත් මේ සෑන්ඩ් පපීස්ලා වෙනස්. මේ සත්වන් චලතාපීන්. මොවුන්ගෙ ශරීර උශ්ණත්වය පරිසර උශ්ණත්වය සමඟ විචලනය වෙනවා.

එච්චර විශේෂත්වයක් නෑ වගේ නේද ? එහෙනම් මේ ටිකත් කියවන්න.

සෑන්ඩ් පපීස්ලගෙ සමට වේදනාව දැනෙන්නෙ නැති තරම්. මේකට හේතුව ඔවුන්ගෙ සම තුල ස්නායු සන්වේදක නොපිහිටීම. සාමාන්‍යයෙන් මීයෙකුගෙ ආයු කාලය වසර පහක් පමණ, ඔබ දන්නවා සුනඛයෙකුගෙ ආයු කාලය වසර 14 පමණ බව. බොහෝ ක්ශිරපායි සතුන් ජීවත් වන්නෙ වසර 20 කට අඩු කාලයක්. හැබැයි සෑන්ඩ් පපීස්ලාගෙ ආයු කාලය වසර 30 ක්. මේ සත්වන් ජීවත් වන්නෙ අඩු ඔක්සිජන් ප්‍රමාණයක් ලැබෙන පොළව තුල ගුල් හාරා ගනිමින්. මොවුන් ජීවත්වන පරිසරයේ තිබෙන්නෙ ඔක්සිජන් 5% යි. මේ හේතුවෙන් මොවුන්ගෙ හිමොග්ලොබින් ඉතාමත් කාර්යක්ෂම ලෙස සකස්ව තිබෙනවා ඔක්සිජන් ගෙන යෑමට. ඔක්සිජන් 0% ඇති පරිසර තුල විනාඩි 18 පමණ දිවි රැක ගැනීමට මොවුන් සමත්.

සෑන්ඩ් පපීස්ලා පිළිකා වලට ප්‍රතිරෝධි. මේ අපුරු සත්ව විශේෂය සතුව පිලිකා ප්‍රතිරෝධි ජාන පිහිටනවා.

මේ කාරණා අතිශයින්ම සුවිසේශි හැකියාවන්. නමුත් මේ සියල්ලටම වඩා සිත්ගන්නාසුළු කාරණය තමයි සෑන්ඩ් පපීස්ලා කියන්නෙ ජනපද සකස් කරන්නන්. ඔබ දන්නවා මීමැසි ජනපදයක සමාජ ක්‍රමය. රැජින සහ කම්කරුවන් ගැන. මේ ක්‍රමයම තමයි සෑන්ඩ් පපීස්ලට තිබෙන්නෙත්. සෑන්ඩ් පපී කොලනියක රැජිනක් සිටිනවා. මේ තනි රැජිණ අනෙක් සතුනට වඩා ප්‍රමාණයෙන් විශාලයි. රැජින සමඟ ලිංගිකව එක් වීම සඳහා පිරිමි සතුන් කිහිප දෙනෙකු සිටිනවා. ඒ හැරෙන්නට අනෙක් සියළු කොලනි වාසීන් කම්කරුවන්. ඔවුන් ප්‍රජනනයෙ යෙදෙන්නෙ නෑ. ප්‍රජනන කාර්යයේ නිරත වීම සඳහා ඔවුනට හැකියාවක් නෑ. යම් හෙයකින් රැජිනට අභියෝගයක් වන ගැහැණු සත්වයෙක් සිටියොත් හෝ ලිංගිකව ක්‍රියාශිලි වීම සඳහා අවශ්‍ය හෝර්මෝන ශ්‍රාවය කරන ගැහැණු සත්වයෙක් සිටියොත් රැජිණ විසින් ඔවුන්ව මරා දමනවා.

කම්කරුවන්ගේත් ආකාර කිහිපයක් සිටිනවා. කුඩා ප්‍රමාණයේ කම්කරුවන් පොළව හෑරීම, ගුල් ජාලය නිසියාකාරව පවත්වා ගැනීම ආදියේ නිරත වන විට විශාල ප්‍රමාණයේ කම්කරුවන් ආරක්ෂාව තර කිරීම සඳහා කටයුතු කරනවා.

දැන් ගැටලුවත් එනවා තනි රැජිනක් ප්‍රජනනයේ නිරත වෙනවානන් කාලයත් එක්ක කොලනි එක ඉන්බ්‍රීඩ් වීම නිසා ජානමය ගැටලු පැන නැගීම ගැන. (මේ කියන්නෙ ලඟම ඤාාතීන් අතර විවාහයෙන් ලැබෙන පරම්පරාවල දුර්වල ස්වාභාවය ගැන). ඒක එහෙම නොවෙන්න පරිණාමය වග බලන් තියෙනවා. මේ කොලනි වලින් ඇතැම් විට අවස්ථාව ලැබුනු සැනින් ඇතැම් ලිංගිකව පරිණත සතුන් පැන යනවා. මේ පැන යන සතුන් වෙනත් කොලනිවල ලිංගිකව පරිණත ගැහැණු සතුන් සමඟ එක්වී නව කොලනි බිහි කිරීම සිදු කරනවා. මේ ආකාරයට අඛණ්ඩව ජාන මුහුම් වීම සිදුවන නිසා පෙරකී ගැටලුව ඇති වන්නෙ නෑ.

බැලූ බැල්මට විපරීත සත්වයෙක් ලෙස දිස් වූවත් මේ නේකිඩ් මෝල් රැට්ස්/සෑන්ඩ් පපීස් එහෙම නැත්තන් නග්න මූසිකයන් පරිණාමිකව ඉතාමත් සුහුරු සත්ව විශේෂයක්. ක්ශිරපායි ලෝකය තුල සාමාන්‍යයෙන් තිබෙන හැකියාවනට එහා ගිය සුපිරි හැකියාවන් පවතින සත්වයෙක්. තමන් ජීවත්වන කටුක පරිසර පද්ධති තුල නොනැසී ජීවත් වීම සඳහා උපරිම ලෙස සකස්වු සත්ව විශේෂයක්. සෑම ජීවයකටම යම් ගරුත්වයක් හිමිවිය යුත්තෙ මේ හේතුවෙන්. ඔවුන් සියල්ලම වර්තමානය දක්වා පැමිණ අැති ගමන් මඟ තුල විවිධවු අනේක බාධක ජය ගැනීමට ක්‍රම ක්‍රමයෙන් පැමිණ ඇති ගමන සැබැවින්ම අපූරු නිසා.


පරිණාමික දිනපොත / Diary Of Evolution (facebook පිටුව ඇසුරින්)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button