දේශීය

මුතුරාජවෙල රක්ෂිතයේ සිදුවන නීති විරෝධි කටයුත්තක්

මුතුරාජවෙල සංරක්ෂිත වනාන්තර කලාපය තුළ කැලිකසල බැහැර කිරීමට අමතරව නීති විරෝධී ලෙස වැලි ගොඩ දැමීම සහ අනවසර ලෙස ඉඩම් ගොඩ කිරීම සිදුවන බව ප්‍රදේශවාසීන් අද(23) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ චෝදනා ගොණු කර තිබේ.

මුතුරාජවෙල සංරක්ෂිත වනාන්තර කලාපය තුළට කැලි කසල බැහැර කිරීම වැලැක්වීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා එම ප්‍රදේශවාසීන් පිරිසක් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් අද සිසිර ද ආබෲ, ප්‍රීති පද්මන් සූරසේන සහ ගාමිණි අමරසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබීය.

මෙහිදී පෙත්සම්කාර ප්‍රදේශවාසීන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයට දන්වා සිටියේ අදාළ ප්‍රදේශයට කැලිකසල බැහැර කිරීමට අමතරව විවිධ පුද්ගලයින් විසින් ඒ තුළ නීති විරෝධී ලෙස වැලි ගොඩ දැමීම හා අනවසර ලෙස ඉඩම් ගොඩ කිරීම සිදුකරන බවට පැවසීය.

මෙහිදී වගඋත්තරකාර කොළඹ මහ නගර සභාව වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයට දන්වා සිටියේ තම සේවාදායකයා විසින් මුතුරාජවෙල ප්‍රදේශයට කැළිකසළ බැහැර කිරීම සිදු නොකරන බවත් කෙරවලපිටිය ප්‍රදේශයට ඒවා රැගෙන යාම සිදු කරන බව දන්වා සිටියේය.

ඉදිරිපත් වී තිබෙන කරුණුවලට අනුව මෙම පෙත්සම සමථයට පත් කිරීමට හැකියාවක් නොමැති බව තීරණය කළ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල පෙත්සම මැයි මස 28 වන දා විභාග කිරීම සඳහා දින නියම කරන බව ද නිවේදනය කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button