ශ්‍රී ලංකාවේ ‘පුරුෂාධිපත්‍යයෙන්’ පීඩා විඳින බෞද්ධ භික්ෂුණීන් වහන්සේ
"ඇයි අපි කල්ලතෝනි කරන්නේ?" - BBC සිංහල වෙබ් අඩවිය ඇසුරින්
අපොස සාමාන්‍ය පෙළ විභාගය ඉහළින්ම සමත්ව සිටින අමුණුවත්තේ සමන්තභද්‍රිකා මෙහෙණින් වහන්සේ සිය කුටියේ ඉතා උනන්දුවෙන් අධ්‍යාපන කටයුතුවල නිරතව සිටියේ උසස් පෙළ විභාගයට පෙනී සිටීම සඳහාය.
එහෙත් 17 හැවිරිදි සමන්තභද්‍රිකා භික්ෂුණීන් වහන්සේට විභාගයට මුහුණදීමට අවස්ථාව ලැබෙනු ඇතිදැයි මුල සිටම අවිනිශ්චිත තත්ත්වයක් පැවතිණි.
උන් වහන්සේට ජාතික හැඳුනුම්පතක් නොමැතිවීම එයට හේතුවය.
“පාන්දරම කොළඹ බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවට ගියා. ඒත් හැඳුනුම්පත දුන්නේ නෑ. ඒ වෙලාවේ ලොකු දුකක් ඇතිවුණා. විභාගේ ලියන්න බැරි වෙයිද කියලත් හිතුණා. කොමසාරිස්තුමා කිවුවේ මහානායක හිමිවරුන්ගේ අනුමැතිය නැතුව අපිට මේ දේ කරන්න බෑ කියල,” තරුණ මෙහෙණින් වහන්සේ අදහස් දැක්වූයේ වේදනාවෙනි.
ඒ, උන් වහන්සේ මුණගැසීම පිණිස මා පොතුහැර, ඉහළ හඳුගල සම්බෝධි මන්දිර භික්ෂුණී විහාරස්ථානය වෙත පැමිණි අවස්ථාවේදීය.
සාමාන්‍ය පෙළ විභාගය සඳහා තැපැල් හැඳුනුම්පත ප්‍රමාණවත් වුවද ජාතික හැඳුනුම්පතක් නොමැතිව උසස් පෙළ විභාගයට පෙනී සිටිය නොහැකිය.
“ඊට පස්සේ පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවට ගියා. එතනිනුත් බෑ කීව. ඒ වෙලාවේ මගේ ලොකු භික්ෂුණීන් වහන්සේටත් ඇඬුන පොඩි භික්ෂුණීන් වහන්සේටත් ඇඬුන. මටත් දුක හිතුණා.”
ශිෂ්‍ය මෙහෙණින් වහන්සේ හැඬුම්බර වෙති. කඳුළු වලකාගැනීමට උන් වහන්සේ ප්‍රයත්නයක යෙදෙති.
සම්බෝධි විහාරස්ථානයේ විහාරාධිපතිනිය වන හත්නාගොඩ භද්‍රා කපිලානි භික්ෂුණීන් වහන්සේ ශිෂ්‍ය මෙහෙණියගේ ‘ලොකු භික්ෂුණීන් වහන්සේ’ය.
අප එහි එනතුරු භික්ෂුණීන් වහන්සේ තුන් නම මඟ බලා සිටියහ. විහාරස්ථානය පිහිටියේ මහාමාර්ගයට මඳක් දුරින් කුඩා කඳු ගැටයක් මත බැවින් “දැන් කොයි හරියේද මහත්තයා,” භද්‍රා කපිලානි භික්ෂුණීන් වහන්සේ වරින්වර දුරකතනයෙන් මා අමතමින් මඟ විස්තර කරති. “මම මේ පාර වැරදුනාද කියල බැලුව,” අප මඳක් පමාවන විට මෙහෙණියෝ විමසති.
සමන්තභද්‍රිකා භික්ෂුණීන් වහන්සේ මුහුණ දී සිටි දුෂ්කර තත්ත්වය පිළිබඳව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් දැනුවත් කිරීමෙන් අනතුරුව, විශේෂ අවසරයක් යටතේ ඇයට විභාගයට පෙනී සිටීමට අවස්ථාව දෙන මෙන් ඇමතිවරයා විභාග කටයුතු කොමසාරිස්වරයාට උපදෙස් දුන් බව ලොකු භික්ෂුණීන් වහන්සේ මා සමඟ පැවසූහ.
එහෙත් තවමත් මේ ශිෂ්‍ය භික්ෂුණියට ශ්‍රී ලංකාවේ සෑම පුරවැසියෙකුටම හිමි මූලික හිමිකමක් වන ජාතික හැඳුනුම්පතක් අහිමිය.
ත්‍රෛනිකායික බෞද්ධ මහනාහිමිවරුන්ගේ විරෝධය හේතුවෙන් ශ්‍රී ලංකාවේ භික්ෂුණීන් වහන්සේ වෙත ජාතික හැඳුනුම්පත් නිකුත්කිරීම නවතා දැමීම භික්ෂුණීන් වහන්සේ මුහුණ දී සිටින මේ ඉරණමට ප්‍රධානම හේතුවය.
භික්ෂුණී ශාසනයේ මූලස්ථානය පිහිටි දඹුල්ල ඇතුළු ශ්‍රී ලංකාව පුරා පිහිටි භික්ෂුණී විහාරස්‌ථාන ගණනාවක සංචාරය කරමින් අපි මේ ගැටලුව ගැන විමර්ශනයක යෙදුනෙමු.
හොරණ දීත්, පොල්හවෙලදීත්, කුරුණෑගලදීත් මට හමු වූ භික්ෂුණීන් වහන්සේ ඔවුන්ගේ වේදනාව නොසඟවා හෙළි කළහ. වරෙක වේදනාව ද අපේක්ෂා භංගත්වය ද මුසු ස්වරයකින් ඔවුන් අදහස් දැක්වූ නමුදු ඒ මුහුණුවල උපේක්ෂා සහගත බව මඳකුදු නොවෙනස් විය.
මේ වනවිට ලොව කිසිම රටක ථේරවාදී භික්ෂුණීන් වහන්සේ නොමැති බැවින් බුදු හිමියන් යළි පහළ වනතුරු අනුරාධපුර යුගයේදී අභාවයට ගිය ශ්‍රී ලංකාවේ භික්ෂුණී ශාසනය යළි පිහිටුවිය නොහැකි බව මහනාහිමිවරුන්ගේ ස්ථාවරය වී තිබේ.
හත්නාගොඩ භද්‍රා කපිලානි භික්ෂුණීන් වහන්සේ මහනාහිමිවරුන්ගේ ස්ථාවරය හඳුන්වන්නේ ‘ලිංග භේදය’ මත පදනම් වී කාන්තාවන්ට එරෙහිව කෙරෙන නොසලකා හැරීමක් වශයෙනි.
“බුදු රජාණන් වහන්සේ කොතනකවත් දේශනා කරලා නෑ පුරුෂයාට පමණයි නිවන් දකින්න මාර්ග පල ලබාගන්න පුළුවන් වෙන්නේ, ස්ත්‍රියට නොහැකියි කියල,” උන් වහන්සේගේ හඬ දැඩිය. වේදනාව, අපේක්ෂා භංගත්වය මෙන්ම කිසියම් උපේක්ෂා සහගත ස්වරයක් ද ඒ හඬේ ගැබ්ව ඇතැයි මට සිතේ.
ඒ උන් වහන්සේ උපසම්පදාව ලැබූ 1998 සිට ගතව ගිය දශක කිහිපය තුළ තමන් ඇතුළු බොහෝ භික්ෂුණීන් වහන්සේට විඳින්නට සිදු වූ අනේකවිධ දුක් ගැහැට හේතුවෙනි.
හොරණ, දෙකඳුවෙල භික්ෂුණී පුහුණු පිරිවෙනේ දී මට හමු වූ පිළියන්දල සුදීපා ශිෂ්‍ය භික්ෂුණීන් වහන්සේටද බොහෝ ගැහැට විඳින්නට සිදු වී තිබේ.
“හැඳුනුම්පත නැති නිසා අපිට විභාග මධ්‍යස්ථානවලදී ප්‍රශ්න මතුවුනා. ඒක ලොකු ගැටලුවක්. මමත් ධර්මාචාර්ය එහෙම කරන කොට ගොඩක් අපහසුතාවන්ට ලක්වුනා.”
සුන්දර යුවතියකව සිට ලෞකික ජීවිතය හැරදා කසාවතින් සැරසුණේ මන්දැයි මා සිත කුකුසක් උපදී. උන්වහන්සේ පැවසූ දේ, මා සිතේ නැගුණු පැනය වටහාගෙන දුන් පිළිවදන් මෙනි.
හොඳින් අධ්‍යාපනය හදාරා ශ්‍රී ලංකාවේ භික්ෂුණී ශාසනයේ වැදගත්කම සහ “භික්ෂුණීන් වහන්සේලාගේ ශීල සම්පන්නභාවය හා ගුණ සම්පන්නභාවය” ලෝකයට විදහා දැක්වීම සිය අභිප්‍රාය බව එහිමියෝ පවසති.
පසුව බොහෝ දුෂ්කරතා මැද හැඳුනුම්පතක් ලබාගත් නමුත් එහි සඳහන් වන්නේ ඇය ‘සිල් මාතාවක’ බවය. 21 හැවිරිදි පිළියන්දල සුදීපා තෙරණියෝ සිල් මාතාවක නොවේ; ඇය පැවිදි උපසම්පදාව ලැබූ භික්ෂුණියකි.
කාන්තාවන්ට එරෙහිව කාන්තාවෝ: ‘උපැවිදි වෙන්න කියනවා’
දිස්ත්‍රික්කයේ දසසිල් මාතා සංගමයේ අනුමැතිය නොලැබෙන්නේ නම් ‘සිල් මාතාවක’ ලෙසින් පවා හැඳුනුම්පතක් ලබාගත නොහැකිය.
“දසසිල් මාතාවන් ළඟට ගිහිල්ල අත්සන ගන්න ඕනේ හැඳුනුම්පත ගන්න. එතෙන්දි අපි ලොකු ගැටලුවකට මුහුණදෙනවා. ඒගොල්ල කැමති නෑ අත්සන් කරන්න,” දෙකඳුවෙල භික්ෂුණී පිරිවෙනේ පරිවේනාධිපතිනි, තලවතුගොඩ ධම්මදීපනී භික්ෂුණීන් වහන්සේ අදහස් දැක්වූයේ මෘදු හඬකිනි. එහෙත් ඒ ස්වරයේ තිබූ වේදනාව මට වැටහිණි.
මානසික උපදේශන සේවා පිළිබඳ උපාධියක් ද හදාරා සිටින තලවතුගොඩ ධම්මදීපනී භික්ෂුණීන් වහන්සේ මට මුලින්ම හමුවූයේ මීට වසර කිහිපයකට ඉහතදී සුනාමි ව්‍යසනය පිළිබඳ වාර්තා වැඩසටහනක් සඳහා එහිමියන් හමුවූ අවස්ථාවේදීය. ශ්‍රී ලංකාවේ භික්ෂුණීන් වහන්සේගේ වේදනාව උන් වහන්සේ මා සමඟ මුලින්ම විස්තර කළේ එදිනය.
“සිල් මාතාවන්ගේ අදහසක් තියෙනව අපි පැවිද්ද අයින් කරලා සිල් මාතාවන් හැටියට රැස්වීම්වලට යන්න ඕනේ කියල. බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ කොටසක් වෙන්කරලා තියෙනව සිල් මාතාවන් වෙනුවෙන්. සිල් මාතාවන් කියන දේ තමයි එතන භාරගන්නේ.”
‘පුරවැසි හිමිකමක් අහිමි කිරීමක්’
සියම් නිකායේ රංගිරි දඹුලු සංඝ සභාවේ මහානායක, ආචාර්ය ඉනාමළුවේ ශ්‍රී සුමංගල මහා නාහිමියන්ගේ මඟ පෙන්වීමෙන් ශ්‍රී ලංකාවේ භික්ෂුණී පර්ෂදය යළි පිහිටුවනු ලැබුවේ 1998 දීය. (‘භික්ෂුණී ශාසනය’ යෙදුම වැරදි බව එහිමියෝ පවසති.) එවක් පටන් 2004 දක්වා භික්ෂුණීන් වහන්සේට ජාතික හැඳුනුම්පත් නිකුත් කරනු ලැබිණ.
“මේකට භික්ෂූන් වහන්සේලා මැදිහත් වුණා. මැදිහත් වෙලා බෞද්ධ කටයුතු කොමසාරිස්වරයාටත් ඇමැතිවරයාටත් වැරදි උපදෙසක් දුන්න මේක නවත්තන්න කියල,” ඉනාමළුවේ ශ්‍රී සුමංගල මහා නාහිමියෝ මා සමඟ පැවසුවේ දඹුල්ල රජ මහා විහාරස්ථානයේදී බීබීසී සිංහල සේවය සමඟ විශේෂ සාකච්ඡාවකට එක්වෙමිනි.
“පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ පනතේ තියෙනව යම්කිසි කෙනෙක් හෝ කණ්ඩායමක් හෝ ජාතික හැඳුනුම්පත ලබාගැනීමට බාධා කරනවා නම් ඒ පනත යටතේ ඔවුන් ලොකු වැරැද්දක් කරනවය, ඔවුන්ට දඬුවම් පවා ඒකෙ නියම කරලා තියෙනවා. මේක වැරදි වැඩක්.”
රංගිරි දඹුළු රජ මහා විහාර සංඝ සභාව විසින් ඒ සම්බන්ධයෙන් 2009 දී කරන ලද පැමිණිල්ලක් සම්බන්ධයෙන් 2015 අගෝස්තු මස තීන්දුවක් ප්‍රකාශයට පත්කළ ශ්‍රී ලංකා ජාතික මානව හිමිකම් කොමිෂන් සභාව, භික්ෂූණී ශාසනය පුනර්ජීවනය කිරීමට පියවර නොගැනීම මගින් බුද්ධ ශාසන අමාත්‍යංශයේ ලේකම්වරයා සහ බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කර ඇතැයි තීන්දු කළේය.
මෙවැනි ජාතික මට්ටමේ ශාසනික ගැටලුවක් සම්බන්ධයෙන් “තෝරාගත් ගිහි පැවිදි කිහිපදෙනෙකුගේ පමණක්” අදහස් විමසා කටයුතු කිරීම සුදුසු නොවන බවද පෙන්වාදෙන මානව හිමිකම් කොමිසම, අමාත්‍ය මණ්ඩලය වෙත කරුණු ඉදිරිපත් කර එම ගැටලුව විසඳීමට අව්‍යශ පියවර ගන්නැයි වගඋත්තරකරුවන්ට නිර්දේශ කර තිබිණි.
එහෙත් ගැටලුව තවමත් විසඳී නැත.
ශ්‍රී ලංකාවේ භික්ෂුණීන් මුහුණදෙන එකම ගැටලුව හැඳුනුම්පතක් නොමැතිවීම පමණක්ම නොවේ.
‘කල්ලතෝනි’
“හදවතට මහා දුකක් වේදනාවක් දැනෙනවා,” අධ්‍යාපන අමාත්‍යංශයේ, සමස්ත ලංකා සීල මාතා අධ්‍යාපන ආයතන සම්බන්ධීකාරක, ශාස්ත්‍රපති හාල්පන්දෙනියේ සුපේසලා භික්ෂුණීන් වහන්සේ අදහස් දැක්වීම ආරම්භ කළේ බිඳී ගිය ස්වරයකිනි.
එහෙත් ශාසනගත වූ තමන් ඇතුළු ශ්‍රී ලංකාවේ “බෞද්ධ දෙමාපියන්ගේ දියණිවරුන්ට” සිදුවන මේ අසාධාරණයට එරෙහිව සටන් කිරීමට උන් වහන්සේ තුළ තිබෙන අධිෂ්ඨානය ඒ දෑස් තුළ මම දුටුවෙමි.
“සුන්දර ජීවිතය ශාසනයට කැප කරලා ඉන්නවා මේ දියණිවරු. මේ හිස මුඩු කරලා කසාවත් දරලා ජීවිතයම කැප කරලා ඉන්න අපි ඇයිද කල්ලතෝනි කරන්නේ? අපිට හැඳුනුම්පතක් දෙන්න බැරි ඇයි? ඇයි අපිට වෙනම විදිහක් මේ රටේ?”
මීට වසර දහයකට පෙර ‘භික්ෂුණී හාල්පන්දෙනියේ සුපේසලා’ ලෙසින් ගමන් බලපත්‍රයේ සඳහන් වුවද එහිමියන්ගේ අලුත් ගමන් බලපත්‍රයේ දැක්වෙන්නේ ඇය ‘සිල් මාතාවක්’ බවය.
“අපිට තරම් අසාධාරණයක් මේ රටේ වෙන කිසිම ජනකොටසකට, ජාතියකට, ආගමකට නෑ. පුරවැසියෙකුගේ ප්‍රධානම අයිතිය අපිට නෑ. අපි මේ රටේ බෞද්ධ මෙහෙණින් වහන්සේලා. අපිට හැඳුනුම්පත් දෙන්නේ නෑ කියද්දී, මොන තරම් මේ හිත් සාහසිකද? මේ හිත් හරිම නපුරුයි.”
මුලින් “සමස්ත ලංකා මෙහෙණි පිරිවෙන් සම්බන්ධීකාරක” ලෙසින් හැඳින්වුණු උන් වහන්සේගේ නිලය ද දැන් හැඳින්වෙන්නේ “සිල් මාතා අධ්‍යාපන ආයතන සම්බන්ධීකාරක” යනුවෙනි.
“පිරිවෙනත් නෙවෙයි, සිල් මාතා අධ්‍යාපන ආයතන.”
“පුදුමාකාර අගතියක් අපිට සිද්දවෙලා තියෙනව අර ක්‍රි.පූ. 6 වෙනි සියවසේ භාරතීය බමුණන් කාන්තාවට දීපු පීඩාව හා සමාන එකක්.”
මහනායක ස්වාමීන් වහන්සේගෙන් මතුවන විරෝධය නොතකා මෙහෙණින් වහන්සේට අධ්‍යාපනය ලබාගැනීම පිණිස කටයුතු සැලසීමට අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් කටයුතු කළ බව මෙහෙණින් වහන්සේ කිහිප නමක්ම කෘතවේදීව මා සමඟ සඳහන් කළහ.
“එතුමා ඒ ටික කළේ බොහොම තදබල තීරණයක ඉඳල, ස්වාමීන් වහන්සේලාගේ විරුද්ධතා මැද්දේ. පිරිවෙන් කිහිපයක් ආරම්භ කරලා තමයි අධ්‍යාපනය ලබාදෙන්නේ,” තලවතුගොඩ ධම්මදීපනී මෙහෙණියෝ පැවසූහ.
ඒ අනුව භික්ෂුණී පිරිවෙන් 10 ක් පමණ අධ්‍යාපන අමාත්‍යංශයේ ලියාපදිංචි කර තිබේ.
“අධ්‍යාපන අමාත්‍යාංශයෙන් මෙහෙණින් වහන්සේලා, සිල් මාතාවන් කියල වෙනසක් නෑ. අර බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවෙන් වගේ එන බලපෑම නැහැ.”
‘බමුණු මත’ සහ ‘පුරුෂාධිපත්‍යය’
මේ පිළිබඳ වැඩිදුරටත් කරුණු විමසීම පිණිස අපි කොත්මලේ ශ්‍රී සුමේධා භික්ෂුණීන් වහන්සේ මුණගැසුනෙමු.
ශ්‍රී ලංකා භික්ෂුණී බල මණ්ඩලයේ ලේඛකාධිකාරිනිය වන උන් වහන්සේ 1998 දී මුලින්ම පැවිදි උපසම්පදාව ලැබූ භික්ෂුණීන් වහන්සේ විසි නම අතරින් කෙනෙකි.
“අපිට නොයෙක් කෙනෙහිලිකම් කරනවා. හරියට අපි අන්තරාභවිකයින් වගේ. වෙනත් ලෝකයකින් ආපු අය වගේ. අපිත් මේ ලංකා පොලෝ තලයේ ඉපදුන බුදු දූවරු. ඒ බුදු දූවරුන්ට සමාජ සේවයක් කරන්න බාධා කරනවා. විනය පිටකය කියෙවුව නම් කිසිම ස්වාමීන් වහන්සේ නමක් මේකට විරුද්ධ වෙන්නේ නෑ.”
සිය වේදනාව හෙළි කිරීම සඳහා උන් වහන්සේද අප එනතුරු මඟ බලා සිටියහ.
කොත්මලේ ශ්‍රී සුමේධා භික්ෂුණීන් වහන්සේ, භික්ෂු නායකත්වයේ ආකල්ප විග්‍රහ කරන්නේ ‘බමුණු මත’ ලෙසිනි.
“එදා බමුණන්ගේ තිබුණ නොයෙක් මත. කාන්තාවන් බමුණු මත අනුව විවාහයට පෙර දෙමාපියන්ට යටත්ව ඉන්න ඕන විවාහ වුනාට පස්සේ ස්වාමියාට යටත්වෙලා ඉන්න ඕන, සැමියා මැරුණට පස්සේ දරුවන්ට යටත්වෙලා ඉන්න ඕන. ඒ බමුණු මතය නිසා බුදු රජාණන් වහන්සේ කාන්තාවන් පැවිදි කිරීම ටිකක් පමා කළා මිසක් ප්‍රතික්ෂේප කළේ නෑ.”
කොත්මලේ ශ්‍රී සුමේධා භික්ෂුණීන් වහන්සේ ගේ හඬ මෘදුය. එහි තිබෙන්නේ වේදනාවක ස්වරයකි.
“භික්ෂුවක් හෝ භික්ෂුණියක් ශික්ෂාපද ආරක්ෂා කරනවා නම් ඒක ලංකාවටම ආශීර්වාදයක්. බුදු රජාණන් වහන්සේ අනු දැන වදාළ නම් ඇයි මේ කුඩම්මාගේ සැලකිලි? කාන්තා, පුරුෂ කියල භේදයක් නැහැ. එතන තියෙන්නේ ලිංග භේදය විතරයි. දැන් ස්වාමීන් වහන්සේලා දනට, බණට යනවා නම්, පිරිතට යනවා නම් භික්ෂුණීන් වහන්සේලා කරන්නෙත් ඒකමයි. භික්ෂුණීන් වහන්සේලා කුඹුරු කොටන්න යන්නේ නෑනේ. මේකට කියන්නේ පුරුෂාධිපත්‍යය.”
දෙමළ භාෂාවෙන් පමණක් ‘භික්ෂුණිය’
සිල් මාතාවක ලෙසින් සසුන්ගත වූ තලවතුගොඩ ධම්මදීපනී හිමියන්ගේ හැඳුනුම්පතේ තවමත් දැක්වෙන්නේ එහිමියන් ‘සිල් මාතාවක’ බවය.
එහෙත් දෙමළ භාෂාවෙන් පමණක් උන් වහන්සේ භික්ෂුණියක බව පිළිගෙන තිබේ.
“මගේ හැඳුනුම්පත සිල් මාතාව වශයෙන් තිබිල භික්ෂුණී වශයෙන් අලුත් කරන්න ගියා 2015 දී. ඒ වෙලාවේ මට භික්ෂුණී කියල දෙමළ භාෂාවෙන් එවල, සිංහල භාෂාවෙන් සිල් මාතාව කියල දාල තියෙනව.”
කෙසේ වුවත් භික්ෂුණීන් වහන්සේ සම්බන්ධයෙන් තමන් දරන ස්ථාවරය ධර්ම, විනය මත පදනම් වූවක් විනා කිසිසේත්ම කාන්තාව පීඩාවට පත්කිරීමේ හෝ නොසලකා හැරීමේ අරමුණින් කෙරෙන්නක් නොවන බව මහනාහිමිවරු අවධාරණය කරති.
අස්ගිරි පාර්ශවයේ ලේඛකාධිකාරී ආචාර්ය මැදගම ධම්මානන්ද නාහිමියන් මා සමඟ අදහස් දැක්වූයේ මල්වතු, අස්ගිරි උභය විහාර පාර්ශව වෙනුවෙනි.
ථේරවාදය ද, මහායාන ද?
1998 දී භික්ෂුණී ශාසනය නැවත ප්‍රතිෂ්ඨාපනය කෙරුණේ “මහායාන භික්ෂුණීන් වහන්සේලාගේ උදවු ඇතිව ථේරවාදී සම්ප්‍රදායේ භික්ෂූන් වහන්සේලාගේ උපකාරයෙන්,” බව ආචාර්ය මැදගම ධම්මානන්ද නාහිමියෝ බීබීසී සිංහල සේවය සමඟ පැවසූහ.
“නමුත් ඒ මුල් අවස්ථාවේදීම අපේ මහානායක ස්වාමීන් වහන්සේලා ඇතුළු දැන උගත් භික්ෂූන් වහන්සේ විසින් ධර්ම විනයානුකූලව භික්ෂුණී ශාසනය පිහිටුවීමට ථේරවාදී සම්ප්‍රදාය තුළ අවකාශයක් නැති බව පැහැදිලි කරලා දීල තියෙනව. වර්තමානයේ ථේරීය සම්ප්‍රදාය පවතින තායිලන්තය, සියම වැනි කිසිදු රටක භික්ෂුණී වහන්සේ දකින්න නැහැ. ඒ නිසා විනය පිටකය අනුව ථේරීය සම්ප්‍රදායේ භික්ෂු භික්ෂුණී මැදිහත්වීමෙන් ධර්ම විනයානුකූලව භික්ෂුණී ශාසනය පිහිටුවීමේ හැකියාවක් නැති බව ත්‍රයිනිකායික මහනාහිමිවරු පෙන්වල දීල තියෙනව.”
එයට ප්‍රතිචාර දක්වන, ආචාර්ය ඉනාමළුවේ ශ්‍රී සුමංගල මහනාහිමියන් පවසන්නේ එය ධර්ම, විනය පිළිබඳ අනවබෝධයෙන් කරන ප්‍රකාශයක් බවය.
“ධර්ම විනය දෙක ගුරු තන්හි තබාගෙන කටයුතු කළ යුතු යයි බුදුරජානන් වහන්සේ භික්ෂූන් වහන්සේට දේශනා කරලා තියෙනව. හැබැයි ත්‍රිපිටකයේ කිසිම තැනක මේ මහානායක හාමුදුරුවරුන්ගෙන් අහල ශාසනික කටයුතු කරන්න කියල නම් කොහෙවත් දේශනා කරලා නැහැ. ඒ නිසා මහානායක හිමිවරුන්ගේ අනුමැතිය අපිට අදාළ වෙන්නේ නෑ.”
භික්ෂුණී ශාසනය අභාවයට ගිය හොත් එය නැවත ස්ථාපනය කළ නොහැකි බවට ත්‍රිපිටකයේ බුද්ධ දේශනාව තුළ කිසිම තැනක සඳහනක් නොමැති බව පෙන්වාදෙන ඉනාමළුවේ ශ්‍රී සුමංගල මහනාහිමියෝ, භික්ෂුණී ශාසනය යළි ස්ථාපනය කරනු ලැබුවේ මහායාන භික්ෂුණීන් විසින් බවට කෙරෙන ප්‍රකාශය පවා ‘වැරදි වැටහීමක්’ බව පෙන්වා දෙති.
“බොහෝ දෙනෙක් හිතාගෙන ඉන්නවා චීනයට උපසම්පදාව ගෙනගිය දේවසාරා භික්ෂුණිය කියන්නේ අභයගිරිවාසී මහායානික ධර්මය අනුගමනය කළ භික්ෂුණී කෙනෙක් වශයෙන්. අපේ වැරදි වැටහීමක් තියෙනවා අභයගිරිවාසී සියලු දෙනාම මහායානය පමණක් අනුගමනය කළා කියල.”
‘සිල් මාතාවන් වෙන්න’
සිය අනුමැතියක් නොමැතිව වුව ශ්‍රී ලංකාවේ භික්ෂුණී ශාසනය පවත්වාගෙන යන නමුත් තායිලන්තයේ ඒ සම්බන්ධයෙන් සංඝරාජ හිමියන්ගෙන් මීට වඩා දැඩි විරෝධයක් පවතින බව පෙන්වාදෙන ආචාර්ය මැදගම ධම්මානන්ද නාහිමියන්, ශ්‍රී ලංකාවේ දසසිල් මාතාවන් සිටින බැවින් “දසසිල් මෑණිවරු විදියට කටයුතු කරන්න කියන එකයි අපි කියන්නේ,” යනුවෙන් ද සඳහන් කළහ.
“විශේෂයෙන් තායිලන්තය බලා ඉන්නවා ලංකාවේ ගන්න ක්‍රියාමාර්ගය මොකක්ද කියල. මොකද මේක පිළිගත්ත හැටියේ ථේරවාදී මූලස්ථානය හැටියට තිබෙන රට නිරායාසයෙන්ම මහායාන රටක් බවට පත්වෙනවා. නීතිය අනුව ගත්තොත් හැඳුනුම්පත් ප්‍රශ්නය තියෙනව. හැම රටකම ආගමික නීතියට අභියෝග කරන්න බැහැ කියන පදනමකුත් තියෙනව අන්‍ය අයට බාධාවක් නොවෙනව නම්,” මැදගම ධම්මානන්ද නාහිමියෝ පැවසූහ.
කෙසේ වුවත් ලංකාවේ භික්ෂුණී ශාසනය යළි ස්ථාපනය කරනු ලැබුවේ, අභාවයට ගිය භික්ෂු උපසම්පදාව යළි පිහිට වූ ක්‍රමවේදයටම බව රංගිරි දඹුලු සංඝ සභාවේ මහානාහිමියෝ අවධාරණය කරති.
“සියම් දේශයට ලංකාවෙන් තමයි උපසම්පදාව ගෙනගියේ. ඒක අනුගමනය කරමින් උපාලි තෙරුන් වහන්සේ ඇතුළු භික්ෂූන් මල්වතු මහා විහාරයට වැඩම කරලා උපසම්පදා කර්මය කරලා තියෙනව. චීන භික්ෂුණීන් වහන්සේලා ලංකාවේ භික්ෂුණීන්ගෙන් ආරම්භ වෙච්ච භික්ෂුණී පරපුරක්. ඒක පදනම් කරගෙන අපි බුද්ධගයාවේදී පැවැත්වූ උපසම්පදාවේදී චීන භික්ෂුණීන් වහන්සේලා වෙතින් ලංකාවෙන් ගිය සාමනේර භික්ෂුණීන් උපසම්පදා කළා.”
මහනාහිමිවරුන්ගේ මේ ආකල්පය හේතුවෙන් උපසම්පදාව ලබා සිටින 4000 කට ආසන්න භික්ෂුණීන් වහන්සේ ඇතුළු දහස් සංඛ්‍යාත මෙහෙණින් වහන්සේට සිය ඡන්දය භාවිත කිරීමේ අයිතිය පවා අහිමිව ඇති බවත් භද්‍රා කපිලානි භික්ෂුණීන් වහන්සේ පවසති.
“අපිට ඉදිරියට එන්න නොදී අපේ ආරාම, අපේ විහාරස්ථාන ලියාපදිංචි නොකර ඉඳීම තමා අපිට තියෙන ලොකුම ගැටලුව. කිසිම ප්‍රතිපාදනයකුත් බුද්ධ ශාසන අමාත්‍යාංශයෙන් නෑ. ‘භික්ෂුණීන්ට හැර’ කියල ප්‍රතිපාදන දෙන්නේ.”
භික්ෂුණීන් වහන්සේ මුහුණදෙන මේ ගැටලු පිළිබඳ විමසීම පිණිස කොළඹ, බෞද්ධ කටයුතු අමාත්‍යාංශයේදී බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් සුනන්ද කාරියප්පෙරුම මුණගැසුනෙමි.
“භික්ෂුණීන් වහන්සේලා, භික්ෂුණී මහා සංගමය කියල පිළිගන්න කියල අපෙන් ඉල්ලීමක් කරනවා. අමාත්‍යාංශයේ බෞද්ධ උපදේශක සභාවේදී මේ ගැන සාකච්ඡා කළා. ඒ සභාවේ මහානායක ස්වාමීන් වහන්සේලා නියෝජනය කරමින් සහ අනුනායක හිමිවරුන් වැඩ ඉන්නවා. ඒ වගේම විද්වත් හිමිවරුන් මේකේ නියෝජනය වෙනවා. උන්වහන්සේලා තීන්දුවකට ආව මේ භික්ෂුණීන් වහන්සේලාට හැඳුනුම්පත භාවිත කිරීමේදී ඉංග්‍රීසි භාෂාවෙන් ‘Reverend’ කියන වචනයත් සිංහල භාෂාවෙන් ‘පූජ්‍ය’ කියන හැඳින්වීම දෙන්නත්,” කොමසාරිස් ජනරාල්වරයා පැවසීය.
එහෙත් අමාත්‍යාංශයේ වගකීම් ඉටුකිරීම සඳහා මහානායක හිමිවරුන්ගෙන් විමසිය යුතු යයි නීතිමය විධිවිධානයක් තිබෙන්නේද යන්න බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් සුනන්ද කාරියප්පෙරුම වෙත මා යොමු කළ ප්‍රශ්නයකි.
“මම මේකට මෙහෙම උත්තර දුන්නොත්? ලංකාවේ විහාරාධිපති ස්වාමීන් වහන්සේලා පත් කරන්නේ මහානායක ස්වාමීන් වහන්සේලා. විහාර දේවාලගම් ආඥා පනතේ කොතනකවත් විහාරාධිපති පත්කිරීම ගැන සඳහන් වෙන්නේ නෑ. නමුත් සම්ප්‍රදායිකව මහානායක ස්වාමීන් වහන්සේලා තමයි විහාරාධිපතිවරුන් පත්කරන්නේ. විවිධ නඩු තීන්දුවලදී පිළිගෙන ඒක නීතියක් බවට පත්වෙලා තියෙනව. සම්ප්‍රදාය නීතියක් බවට පත්වෙලා.”
‘අන්තවාදී මානසිකත්වයක්’
හොරණ, දෙකඳුවෙල භික්ෂුණී පුහුණු පිරිවෙන භික්ෂුණීන් වෙනුවෙන් දායාද කරනු ලැබුවේ දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක කිරම විමලජෝති නාහිමියන් විසිනි. භික්ෂුණීන් 75 ක් පමණ නේවාසිකව අධ්‍යාපනය හදාරන එය ශ්‍රී ලංකාවේ භික්ෂුණීන් සඳහා පිහිටුවන ලද පළමු පිරිවෙනය.
“මම ළඟදීම පටන් ගන්නවා මේ අයට උගන්වන්න කවුන්සලින් කරන හැටි. කොහොමද බුදු දහම තුලින් උපදේශනය ලබා දෙන්නේ කියල,” කිරම විමලජෝති නාහිමියෝ පිරිවෙන පුරා මා සමඟ සක්මන් කරමින් විස්තර කරති.
භික්ෂුණී ශාසනය ගැන මහා නාහිමිවරුන් දරන ස්ථාවරය කිරම විමලජෝති නාහිමියන්ගේ දැඩි විවේචනයට ලක්වේ.
“මහනායක හිමිවරුන්ගේ මානසිකත්වය බොහොම පටු තැනක තියෙන්නේ. අර අන්තවාදී හින්දු පූජකතුමන්ලාගේ මානසිකත්වයක් තමයි මම දකින්නේ. දැන් හාමුදුරුවරු නිකායවලට බෙදිල. දැන් හාමුදුරුවරුන්ට පිළිගැනීමක් නෑ. පන්සලේවත් නෑ,” උන් වහන්සේ පවසන්නේ මහා නාහිමිවරුන්ගේ ස්ථාවරයට එරෙහිව දිගටම සටන් කරන බවට ශපථ කරමිනි.
“මම දන්නවා වැඩිහරියක් මූලස්ථානවල ඉන්න හාමුදුරුවරු, ඒගොල්ලන්ගේ වැඩපිළිවෙල විශාල පිලිකුලකට, අවඥාවකට ලක්වෙලා තියෙනව මේ රටට ආදරය කරන භික්ෂුන් වහන්සේලා අතරත් ගිහියන් අතරත්. මොකද ඒ කීප දෙනෙකුගේ පැවැත්ම වෙනුවෙන් නේ ඒක තියාගෙන ඉන්නේ.”
සිය වේදනාව පිළිබඳව වැඩිදුරටත් මා සමඟ අදහස් දැක්වූ කොත්මලේ ශ්‍රී සුමේධා භික්ෂුණීන් වහන්සේ, “බුදු දූවරු මේ ලංකා පොලෝ තලයේ සේවයක් කරනවා නම් සමහරක් අකමැති පිරිසට මේක බලපෑමක් වෙනව. දායකයන් හඳුනා ගන්නව භික්ෂුණීන් සිල්වත් කියල. ඒකට සමහර යතිවරයාණන් වහන්සේ බයයි කියල මට හිතෙනවා,” යනුවෙන් කියා සිටියහ.
එහි අදහස භික්ෂුණීන් භික්ෂූන්ට වඩා ධර්මධර බවක් පෙනෙන්නට තිබීම හමුවේ භික්ෂුණීන් වහන්සේ භික්ෂු සංඝයාට තර්ජනයක් වී ඇති බවද?
“උන්වහන්සේලා එහෙම හිතනවා නම් ඒක වැරදියි. අපි අෂ්ඨ ගරු ධර්මවලට ගරු කරනවා. අපි භික්ෂූන් වහන්සේට වඳිනවා. සමහර ප්‍රදේශවල භික්ෂුණීන් වහන්සේලා භික්ෂූන් වහන්සේ නැති ප්‍රදේශවල පාංශුකූල කටයුතු කරනවා. ඕවට යනකොට ටිකක් ව්‍යාප්ත වෙලා යනවනේ. එතකොට ඒක දරාගන්න බැරි ද දන්නේ නැහැ.”
භික්ෂුණී ශාසනය තුළ කිසිදු නිකාය භේදයක්ද නැත. “ඕනෑම කුලයකින් ආවොත් අපි පැවිදි කරනවා. බුදුන්ගේ වදන අපි මතක තියාගන්නවා.”
භික්ෂු උපසම්පදාවට සාපේක්ෂව භික්ෂුණී උපසම්පදාව සඳහා වැයවන්නේත් ඉතා අඩු මුදලකි. “ලොකු වියදමක් නෑ. දැහැත් වට්ටිය විතරයි. ලොරි ගණන් බඩු ඉල්ලන්නේ නෑ.”
සමුගන්නා මොහොතේ ඒ බොහෝ භික්ෂුණීන් වහන්සේ ගේ දෑස්වල තිබූ බැගෑපත් එහෙත් කෘතවේදී බැල්ම මම දුටුවෙමි.