දේශීය

වන ජීවී අරමුදලටත් විදී

ලුණුගම්වෙහෙර අලි සංරක්ෂණ මධ්‍යස්ථානය ඉදි කිරීම සඳහා වන ජීවී අරමුදලේ මුදල් යොදාගැනීමේ උත්සාහයක් ක්‍රියාත්මක වේ.

මේ අලි සංරක්ෂණ මධ්‍යස්ථානය ඉදිකිරිම අතිශය අසාර්ථක බව පෙන්වා දීමෙන් පසු, ඊට ලබා දීමට නියමිතව තිබු ලෝක බැංකු ආධාර අත්හිටුවා තිබේ. මේ සම්බන්ධයෙන් පැවති සාකච්ඡාවකදී බලධාරීන්ගේ අවධානය යොමු වී ඇත්තේ වන ජීවී අරමුදලේ ඇති මුදල් ඒ සඳහා යොදාගෙන, පසුව එම මුදල් පියවීමට ය. වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සේවකයන්ගේ සුබසාධනය, ඔවුන්ට අදාළ ගෙවීම් කටයුතු ආදී සියල්ල සිදු කෙරෙන්නේ මෙම අරමුදල මගිනි. මෙම මුදල් අදාළ ව්‍යාපෘතිය සඳහා යෙදවුවහොත්, එහි අසාර්ථකභාවය හේතුවෙන් යළිත් එම මුදල් අරමුදලට බැර කිරීම කිසිස්සෙත්ම සිදු නොවන්නක් බව දෙපාර්තමේන්තුවේ ඉහළ පෙළේ නිලධාරියෙක් අවධාරණය කළේය.

පහත පළ වන්නේ ශ්‍රී ලංකා ජෛවවිවිධත්ව සංරක්ෂණ හා පර්යේෂණ කවය මගින් මේ අසාර්ථක ව්‍යාපෘතිය සහ එය ක්‍රියාත්මක කිරීමට උත්සාහ කරන්නේ ඇයි යන ගැටළුව පිළිබඳව සකස් කළ මාධ්‍ය නිවේදනයකි.

‘අලි පුනරුත්ථාපන මධ්‍යස්ථාන’ මිත්‍යාවට ලුණුගම්වෙහෙර ජාතික උද්‍යානය බිලිගැනීමට ඉඩ නොතබමු!


මිනිස් ජීවිත හා දේපොළ වලට හානි කරන බවට චෝදනා එල්ලවන ප්‍රචණ්ඩ වන අලින් ඔවුන්ගේ ස්වභාවික වාසස්ථාන වලින් අල්ලා ගෙනගොස් රඳවා තැබීම සඳහා අලි පුනරුත්ථාපන මධ්‍යස්ථානයක් ඉදිකිරීමට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකාවේ ඇති ප්‍රකට ජාතික උද්‍යානයක් වන ලුණුගම්වෙහෙර ජාතික උද්‍යානයේ හෙක්ටයාර් 3500 ක භූමි භාගයක් ලබාගැනීමට කටයුතු කිරීම නිසා එම ජාතික උද්‍යානයේ දිවිගෙවන අලි ඇතුන් ඇතුළු සෙසු වනජීවීන්ගේ ජීවිත වලට තර්ජන රැසක් එල්ලවීමේ සහ ජාතික උද්‍යනය අවට ගම්මානවල අලි – මිනිස් ගැටුම් උත්සන්න වීමේ අවධානමක් ඇතිවී තිබේ. එසේම අවස්ථා කිහිපයකදී අත්හදා බලා අසාර්ථකවී ඇති අවිද්‍යාත්මක වන අලි – මිනිස් ගැටුම් කළමනාකරණ මෙවලමක් වන ‘අලි පුනරුත්ථාපන මධ්‍යස්ථාන’ සඳහා තව දුරටත් මහජන මුදල් මිලියන දහස් ගණනින් වැය කිරීම මහජන මුදල් නාස්ති කිරීමක් වන අතර එමගින්ද තවදුරටත් මෙරට අලි මිනිස් ගැටුම උත්සන්නවීම නොවැලැක්විය හැකි බව අප අවධාරණය කරමු.

ප්‍රචණ්ඩකාරී වන අලින් අල්ලා ගෙනගොස් රඳවා තැබීම මගින් අලි – මිනිස් ගැටුම පාලනය කිරීමට බව පවසමින් මෙරට ප්‍රථම ‘අලි පුනරුත්ථාපන මධ්‍යස්ථානය’ 2007 වසරේදී ඉදිකරනු ලැබුවේ ද ලුණුගම්වෙහෙර ජාතික උද්‍යානය තුලය. උද්‍යානයේ කොටසක් විදුලි වැට සහ අගල් යොදා වෙන්කර මෙසේ අලි ඇතුන් රැඳවීමට දරනලද උත්සාහය කෙටි කලකින්ම අසාර්ථක වූයේ රුපියල් මිලියන ගණනක මුදල් නාස්තියක් පමණක් ඉතිරිකරමිනි. ඉන්පසුව රුපියල් මිලියන 500 කට වඩා වියදම් කරමින් 2013 වසරේදී පමණ අනුරාධපුර, හොරොව්පතාන ප්‍රදේශයේ මෙවැනිම එළිමහන් හස්ති සිර කඳවුරක් ඉදිකිරීමට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතුකලේ මුල් උත්සාහයෙන් උගත් පාඩම් සැළකිල්ලට ගෙන වඩාත් සාර්ථක ලෙස මෙම ස්ථානය ඉදිකර පවත්වාගෙන යමින් මෙරට අලි – මිනිස් ගැටුමට පිළියම් ලබාදෙන බව පවසමිනි. නමුත් එයද අසාර්ථකවූතැන මේ වනවිට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පිඹුරුපත් සකස් කරමින් සිටින්නේ නැවතත් ලුණුගම්වෙහෙර ජාතික උද්‍යානයෙන් හෙක්ටයාර් 3500 ක් වැනි විශාල භූමි ප්‍රදේශයක් වෙන්කරගෙන මෙම අසාර්ථක අලි – මිනිස් ගැටුම් කළමනාකරණ ක්‍රමය නැවත වරක් අත්හදාබැලීම මගින් මහජන මුදල් රුපියල් මිලියන දහස් ගණනක් මකර කටට යැවීමටය. රෑ වැටුණු වලේ තෙවැනි වරටත් මහා දවාලේ ඇදගෙන වැටීමටය.

‘අලි පුනරුත්ථාපන මධ්‍යස්ථාන’ නමින් පවත්වාගෙන යන මෙවැනි එළිමහන් හස්ති සිර කඳවුරු මගින් අලි – මිනිස් ගැටුමට පිළියම් නොලැබෙන බවටත් එමගින් සිදුවන්නේ අලි ඇතුන්ගේ ජීවිත තර්ජනයට ලක්වීම පමණක් බවටත් ඉතිහාසය ඕනෑතරම් සාක්ෂි දරයි. ප්‍රචණ්ඩකාරී හැසිරීම් පෙන්වන අලි ඇතුන් පුනරුත්ථාපනය කර නැවත වනයට මුදා හැරිය හැකිය යන මිත්‍යා මතය පදනම් කරගනිමින් ඉදිකෙරෙන මෙම මධ්‍යස්ථානවල අසාර්ථකත්වය මානව පැහැදිළි වන්නේ දැනට මෙම මධ්‍යස්ථාන වලට ගාල් කර ඇති සියයකට අධික අලි ඇතුන්ගෙන් එකෙකුවත් පුනරුත්ථාපනය කර නැවත වනයට මුදාහැරීමට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව අපොහොසත්වී ඇති බැවිනි. මෙසේ ගාල් කරනු ලබන අලි තමන්ට එල්ල වන පීඩනය හමුවේ තව තවත් ප්‍රචණ්‌ඩ හැසිරීම් දැක්‌වීම නිසා ඉදිරියේ දී අලි – මිනිස්‌ ගැටුම තව තවත් ඔඩුදුවන බව නොකිවමනාය. මෙසේ ගාල් කරන සතුන්ට ඇති විකල්ප දෙක වන්නේ එක්‌කෝ ගාලෙන් පැන යැම හෝ එසේත් නැතිනම් අකාලයේ මරණයට පත් වීම බව කණගාටුවෙන් නමුත් ප්‍රකාශකළ යුතුය.

අලි ඇතුන් තමන්ගේ පාරම්පරික වාසභූමි වලට දැඩි ඇල්මක් දක්වන අතර තම පාරම්පරික වාසභූමි වලින් අල්ලා වෙනත් ස්ථානයකට ගෙනගොස් දැමුවද හැකි සෑම අවස්තාවකම නැවත තම මුල් වාසභූමියට පැමිණීමට උත්සාහ දරයි. ඒ බව මානව පහදා දෙමින් හොරොව්පතාන අලි පුනරුත්ථාපන මධ්‍යස්ථානයට අවස්ථා කිහිපයකදී ගෙනගොස් දැමූ ගල්ගමුවේ ‘තනි දළයා’ නම් හස්තියා නැවත තම මුල් වාසභූමිය සොයා පැමිණි බව වනජීවී ක්ෂේත්‍රයේ රහසක් නොවේ. ඒ සඳහා එම සතුන් තමන්ට එල්ලවන ඕනෑම බාධකයක් ජයගැනීමට කටයුතු කරන අතර එවැනි අවස්ථාවල වනජීවී නිලධාරීන්ගේ වෙඩි උණ්ඩ ඔවුන් වෙත එල්ලවන අවස්ථාද ඇත. එසේම එම සතුන් නැවත තම වාසභූමිය වෙත ගමන් කරන අතරතුර පසු කරන ඇතැම් ප්‍රදේශවල ජනතාවට වන අලින් සමඟ ජීවත් වීමේ අත්දැකීම් නොමැත. එවැනි ප්‍රදේශ හරහා මේ අලින් ගමන් කරන අවස්‌ථාවල එම ජනතාවගේ ජීවිත බරපතළ අවදානමකට ඇද වැටේ. මෙසේ තම මුල් වාසභූමිය වෙත පැමිණි අලින්ද පෙරටත් වඩා බිහිසුණු ලෙස මිනිස්‌ ජීවිත හා දේපළවලට හානි කිරීමට පසුබට නොවන අතර එමඟින් සිදු වන්නේ පෙරටත් වඩා සංකීර්ණ අලි – මිනිස්‌ ගැටුමක්‌ නිර්මාණය වීම ය.

ඒ මතුද නොව සිර කඳවුරේ බාධක බිඳ දැමීමට නොහැකි වන අවස්ථාවල මෙවැනි අලි ඇතුන් කුසගින්නේ සහ දැඩි මානසික ආතතියට ලක්ව රෝගීවී මියයාමටද හැකියාව ඇත. එසේම මෙසේ පටු බිම් තීරුවකට ගාල් කරන සතුන් සියළු දෙනාම පිරිමි සතුන් වන බැවින් එම සතුන්ගේ ඝනත්වය වැඩිවී ඔවුන් අතර ගැටුම් ඇතිවී අලි ඇතුන් මරණයට පත්වීම සිදුවේ. තවද මෙසේ අල්ලා ගාල් කරනු ලබන අලින් අකාලයේ මිය යෑම හෝ සදාකාලික සිරකරුවන් බවට පත් වීම හෝ මඟින් එම සතුන් ගේ ජාන ඉදිරි පරම්පරා වෙත සම්ප්‍රේෂණය වීම ඇණහිටී. එය සිරිලක හස්‌ති පරපුරේ ප්‍රවේණික ශක්‌තිය හීන වීමට හේතු වේ.

හොරොව්පතාන අලි ගාලට ඇතුලත් කෙරුණු අලි ඇතුන් හැටකට වැඩි සංඛ්‍යාවෙන් දැනට එහි ඉතිරිව ඇත්තේ ඉතා අතලොස්සක් පමණක් වන අතර සෙසු අලින්ට කුමක් සිදුවීදැයි වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවා නොදනිති. නමුත් අලි ගාල තුල අලින් විශාල සංඛ්‍යාවක් අකාලයේ මරණයට පත්වූ බවද ඊට මෙම අලි ගාල ඉදිකිරීමේදී එතුලට අහම්බෙන් කොටුවූ ඇතින්නක් සහ පැටවෙකුද ඇතුළත්වූ බවද නොරහසකි. තවද මෙම සිර කඳවුරෙන් මිදී පලාගිය අලින් නිසා හොරොව්පතාන අවට ප්‍රදේශවල අලි – මිනිස් ගැටුම් විශාල ලෙස ඉහළ ගොස් ඇති බවද වාර්තාවේ. ඒ අනුව මෙවැනි අලි රැඳවුම් මධ්‍යස්ථාන මගින් අලි ඇතුන් සංරක්ෂණය හා අලි – මිනිස් ගැටුම් කළමනාකරණය සඳහා කිසිඳු දායකත්වයක් නොලැබෙනබව පැහැදිළිය.

තවද ලුණුගම්වෙහෙර ජාතික උද්‍යානය වැනි මෙරට ප්‍රකට හස්ති වාසභූමියකින් විශාල බිම් ප්‍රමාණයක් මෙවැනි ව්‍යාපෘතියකට වෙන්කර ගැනීම එහි නේවාසික අලි ගහනයටද මරු පහරක් එල්ල කරයි. මින් පෙර වළව වම ඉවුර ව්‍යාපාරය යටතේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ ජීවත්වූ අලි ඇතුන් තුන්සියයකට අධික ප්‍රමාණයක් මෙම ජාතික උද්‍යානයට ගාල කිරීමේ ප්‍රතිපලයක් ලෙස මෙහි ජීවත්වූ අලි ඇතුන් කුසගින්න සහ විවිධ රෝගාබාධ හේතුවෙන් මරණයට පත්වූබව සියළු දෙනාම දනී. දැනට එහි ඉතිරිව සිටින්නේ එයින් බොහෝ ආයාසයෙන් දිවි ගැටගසාගත් අලි ඇතුන් පිරිසකි. නැවත මේ ආකාරයෙන් අලි ගාලක් සඳහා ලුණුගම්වෙහෙර ජාතික උද්‍යානයේ පාරම්පරික හස්ති වාසභූමි උදුරාගැනීම හේතුවෙන් එම සතුන් ආහාර හිඟයට මුහුණදී මරණයට පත්වීම නොවැලැක්විය හැකිය. එසේම මෙම ආහාර හිඟය සහ වාසභූමි අහිමිවීම හේතුවෙන් හොරොව්පතානේ සිදුවුනාක් මෙන් අලි ඇතුන් පෙරටත් වඩා වැඩි සීග්‍රතාවයකින් ගම් වැදීම හේතුවෙන් ජාතික උද්‍යානය වටා ගම්මානවල අලි – මිනිස් ගැටුම් ඉහළ යාමටද මෙම අසාර්ථක ව්‍යාපෘතිය හේතුවේ. වසරකට අලි ඇතුන් පහළොවක් පමණ මෙසේ සිරගත කෙරුණද එමගින් අලි – මිනිස් ගැටුමට කිසිඳු පිළියමක් ලැබී නොමැති බවට දිනෙන් දින ඉහළ යන අලි මිනිස් ගැටුම් සහ එමගින් රටට අහිමිවන අලි – මිනිස් ජීවිත සාක්ෂි දරද්දී පවා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව තවදුරටත් අඳුරේ අත පත ගාමින් සිටීම විමතියට කරුණකි.

එවැනි පසුබිමක් තුල මහජන මුදල් රුපියල් මිලියන 2000 ක් පමණ නාස්තිකරමින් අසාර්ථක අලි – මිනිස් ගැටුම් කළමනාකරණ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම කිසිඳු ආකාරයකින් සාධාරණීකරණය කිරීමට හැකියාවක් නැත. එබැවින් ‘අලි රැඳවුම් මධ්‍යස්ථාන’ මිත්‍යාවට යටවී මහජන මුදල් නිකරුනේ කාබාසිනියා කිරීමෙන් සහ ලුණුගම්වෙහෙර ජාතික උද්‍යානය නැවතත් අලි ඇතුන්ට මරු කතරක් කිරීමෙන් වැළකී වඩාත් විද්‍යාත්මක අලි – මිනිස් ගැටුම් කළමනාකරණ ක්‍රමවේදයකට යොමුවීම වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අද දවසේ කාර්ය භාරය බව අප අවධාරණය කරමු. දඩබ්බර අලි ඇතුන් සිරකර අලි – මිනිස් ගැටුම යටපත්කර තැබීමට අසාර්ථක උත්සාහයක නිරතවීම වෙනුවට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකළ යුත්තේ තම අතීත අත්දැකීම් හා දැනුම අවබෝධය සම්පිණ්‌ඩනය කොට වඩාත් යථාර්ථවාදී දීර්ඝකාලීන විසඳුම් ක්‍රියාවලියක්‌ වෙත ප්‍රවේශ වීම ය. ඒ සම්බන්ධයෙන් ප්‍රායෝගික හා සඵලදායක විසඳුමක්‌ හමස්‌ පෙට්‌ටියෙන් පිටතට ගෙන ක්‍රියාත්මක කිරීමය. අලි ඇතුන් යනු ශක්‌තිමත්, බුද්ධිමත් හා සංවේදී සත්ත්ව විශේෂයක්‌ බව වටහාගෙන අලි ඇතුන් සංරක්‌ෂණය හා සංවර්ධනය මනා ලෙස ගලපා ගනිමින් ඉදිරියට යාමය.


සුපුන් ළහිරු ප්‍රකාශ්
සභාපති – ශ්‍රී ලංකා ජෛවවිවිධත්ව සංරක්ෂණ හා පර්යේෂණ කවය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button