දේශපාලන

පැලෝපීය නාලයේ පොහොට්ටුවක් හිරවී ඇති බව CID විමර්ශනයෙන් හෙළිවෙයි

Lanka News Web ඇසුරින්

කුරුණෑගල රෝහලේ වෛද්‍ය සහාබ්දීන් සාෆිට එරෙහිව දැනට ඉදිරිපත් වී ඇති පැමිණිලිවලින් සාතිශය බහුතරයක් ඉදිරිපත් කර ඇත්තේ දරු පිළිසිඳ ගැනීම් සම්බන්ධයෙන් නොව සිසේරියන් සැත්කම නිසා තමන්ට යම් ආබාධයක් සිදුව ඇත්දැයි සැකහැර දැන ගැනීම සඳහා බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශනයේදී හෙළිවී තිබේ.

90%ක් පැමිණිලි හුදු සැකය නිසා

පැමිණිලි කරන ලද මවුවරුන් අතරින් 90%ක් පමණම පැමිණ ඇත්තේ එසේ සැත්කමින් තමන්ට යම් ආබාධයක් සිදුව ඇත්දැයි දැනගැනීම පිණිස වන අතර ඔවුන් අතරිනුත් බහුතරය නැවත දරු උපතක් අපේක්ෂාවෙන් සිටින අය ද නොවන බවත් අනාවරණය වී ඇත.

වෛද්‍ය සහාබ්දීන්ගෙන් සිසේරියන් සැත්කම් කරගැනීමෙන් අනතුරුව යළි දරු පිළිසිඳගැනීමක් බලාපොරොත්තුවෙන් සිටියත් එය ප්‍රමාද වීම සම්බන්ධයෙන් පැමිණිලි කර ඇත්තේ මවුවරුන් සුළු පිරිසක් පමණි.

පැමිණිලි ගෙන්වා ගත්තේ පොහොට්ටු මෙහෙයුමෙන්

සිංහල බෞද්ධ මවුවරුන් 4000ක් දෙනා වඳභාවයට පත්කර ඇති බවට මාධ්‍ය හරහා ගෙනගිය ප්‍රචාරය හේතුවෙන් බියට පත් අසරණ මවුවරුන් කොන්දේ අමාරු, කකුල් කැක්කුම් සහ දෑස් නොපෙනීම් පිළිබඳව පවා පැමිණිලි කිරීමට පැමිණ සිටි ආකාරය අපි මීට පෙර වාර්තා කළෙමු. එසේම මෙම භීතිකාව සමාජගත කිරීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ක්‍රියාකාරිකයින් වන මහාචාර්ය චන්න ජයසුමන, කුරුණෑගල රෝහල් අධ්‍යක්ෂ සරත් වීර බණ්ඩාර, කුරුණෑගල නගරයේ හර්තාල් පැවැත්වීමට පැමිණි පොහොට්ටු ක්‍රියාකාරිකයින් සහ පොහොට්ටුවට හිතවත් මාධ්‍ය ආයතන මෙන්ම පොහොට්ටුවේ සමාජ මාධ්‍ය ජාල ක්‍රියාකාරීත්වය දායක වූ අන්දම ද අපි පෙන්වා දුනිමු.

ඒ අනුව වඳ සැත්කම් නාටකය හරහා පැතිරවූ මුස්ලිම් විරෝධය, සැකය සහ භීතිය විසින් අසරණ මවුවරුන් කීදෙනෙක් කොතෙක් කලබලයට පත්කර ඇතිද යන්න දැන් තහවුරු වී තිබේ.

වඳ සැත්කම් 4000 කතාව මාධ්‍ය වෙත ලබාදුන් කුරුණෑගල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතාගෙන් ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රශ්න කරමින් සිටින අතර සමස්ත කුමන්ත්‍රණය පිළිබඳ තව තවත් තොරතුරු ඉදිරියේදී අනාවරණය වනු ඇත.

*අප සතුව ද තවත් “හොඳ හොඳ කතා” ඇතත් මේ මොහොතේ ඒවා ප්‍රසිද්ධ නොකරන්නේ විමර්ශන කටයුතුවලට ඉන් බලපෑමක් එල්ල විය හැකි බැවිනි.

වඳ සැත්කම් නාටකය ඉදිරියේ බොහෝ මාධ්‍ය ආයතන ජාතිවාදී මඩ ගොහොරුවේ දියබුං ගසද්දී, තවත් මාධ්‍ය ආයතන මුණිවත පුරද්දී මෙහි සැබෑ නිරුවත හෙළිකිරීමට ක්‍රියාකළේ ලංකා නිව්ස් වෙබ් අප පමණි. අපි මුල පටන්ම පැවසූ ආකාරයට අප ඉදිරිපත් කළ කරුණු සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කරන්නෙමු.


*ඉහත අප සතුව ලෙස සඳහන් කර ඇත්තේ මෙම පුවත උපුටා ගත් lankanewsweb වෙබ් අඩවිය බව කරුණාවෙන් සලකන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button