“දඹදිව බලපැවැත්වූ කුලභේදය බුදුරජාණන් වහන්සේ පයට පෑගෙන දූවිලි තරම්වත් නොසැලකූ සේක”
කුලභේදයට බුද්ධශාසනයෙහි කිසිත් අවසරයක් නැති බැව් ඉර හඳ මෙන් ප්‍රකට සත්‍යයකි. නොගිණිය හැකි තරම් දීර්ඝ කාලයක පටන් දඹදිව බලපැවැත්වූ කුලභේදය බුදුරජාණන් වහන්සේ පයට පෑගෙන දූවිලි තරම්වත් නොසැලකූ සේක.
බ්‍රහ්මණ, ක්ෂත්‍රීය, වෛශ්‍ය, ශුද්‍ර සියල්ලන් මහණකොට කිසිත් වෙනසක් නැතිව එකට ජීවත් වන්නට, එකට කෑම්, පීම්, ඉඳුම්, හිටුම් කරන්නට සැලැස්වූ සේක. රජගහනුවර සුනීත නම් චණ්ඩාලයා (රොඩියා, පංචාමයා) වැසිකිළි සහ කැළිකසල ශුද්ධකරන්නෙක් විය. පිඬුසිඟාවඩින බුදුරජාණන් වහන්සේට දිනක් ඔහු මුණ ගැසුණේය. උන්වහන්සේ මේ අතිශයින්ම පහත් යැයි සම්මත චණ්ඩාලයා විහාරයට කැඳවාගෙන ගොස් මහණ කළසේක. බුද්ධශාසනයෙහි විනයධරයන්ගෙන් අග්‍රස්ථානයෙහි සිටි උපාලි ස්ථවිරයන් වහන්සේ කෙස් රැවුල් කපන පනික්කියෙක් විය.
සර්වඥ ශාසනය පිහිටා තිබෙන බලසම්පන්න ස්තම්භයන්ගෙන් එකක් නම් ජාතිභේදය හෝ කුලභේදය නැතිකමයි. ඉඩලැබුණු හැම අවස්ථාවකදීම ශාස්තෘන් වහන්සේ කුලභේදයට විරුද්ධව සටන් කළසේක. උන්වහන්සේගේ ජීවිතයෙන් විශාල කොටසක් මේ වෙනුවෙන් ගතකරන ලදි. කුලභේදයට විරුද්ධව පවත්වන ලද දේශනාවෝ ත්‍රිපිටකයෙහි හැමතැනම පාහේ දක්නා ලැබෙත්.
නමුත් ඒ ශාස්තෘන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා හැටියට අද ලක්දිව පෙනීසිටින භික්ෂූන් අතර කුලභේදය, ගිහියන් අතර මෙන්ම, නැතහොත් ඊටත් වඩා බලසම්පන්නව ක්‍රියාකරන බැව් කියන්නට වීම සැබවින්ම ඉතා කනගාටුදායක සිද්ධියකි. සියම්, අමරපුර, රාමඤ්ඤ යන තුන් නිකායේම කුලභේදය පවත්නා වග අලුතෙන් සොයාගන්නා ලද්දක් නොවේ.
අමරපුර රාමඤ්ඤ දෙනිකායෙහි චාරිත්‍රයක් හැටියට කුලභේදය නැතත්, බොහෝ තැන්වල පන්සලක් පාසා කුලභේදය පවත්නා බැව් නොරහසකි. කොළඹ නගරයේ අමරපුර නිකායට අයත් හැම පන්සලක්ම පාහේ විශේෂයෙන් යම්කිසි කුලයක භික්ෂූන් වෙනුවෙන් ඒ කුලයට අයත් දායකයන් විසින්ම ගොඩනගන ලද්දකි. මෙය බොහෝ දෙනා දන්නා සත්‍යයකි. එක එක කුලයට එක එක පන්සල බැගින් පැන නැගීමේ භයානක සිරිත හැම පළාත්වලම පැතිරී යනු දැක්ම මහත් කනගාටුවකි. අමරපුර රාමඤ්ඤ දෙනිකායෙහි මහණ උපසම්පදා කිරීමේදී චාරිත්‍රයක් හැටියට ප්‍රසිද්ධව කුලභේදය නොපැවැත්වුවද, අභ්‍යන්තරිකව නම් එහිද කුලභේදය නොඅඩුවම ක්‍රියා කරයි.
මෙහිදී මට විශේෂයෙන් වුවමනා කරන්නේ, උන්වහන්සේලාගේ අවසරය පිට, සියම් නිකායේ ශාසනික චාරිත්‍රයක් හැටියට පවත්වන කුලභේදය සම්බන්ධයෙන් කතාකිරීමයි. ගොයිගම කුලයට අයත් නොවූ, ඊට වඩා පහත් යැයි අයුතු ලෙස සිතන කිසිම කුලයක අයට මහණ – උපසම්පදාව නොදීම සියම් නිකායේ පරම්පරාගත ශාසනික චාරිත්‍රයක් හැටියට පවත්වනු ලැබේ. කිසිකලක ලෝකයේ කුලභේදය සහමුලින් නැති කළ හැකැයි මම නොසිතමි. නමුත් බුදුරජාණන් වහන්සේ වැනි ශ්‍රේෂ්ඨ ශාස්තෘවරයෙකුගේ ශාසනයෙහි චාරිත්‍රයක් හැටියට කුලභේදය පැවැත්වීම සැබැවින්ම ඉවසිය නොහෙන බරපතළ පාපයකි.
මේ සිරිත බුද්ධශාසනයට කරන බලවත් අපහාසයකි. බුදුරජාණන් වහන්සේගේ ධර්මයට පයින් ගැසීමකි. සියම් නිකායේ මහ තෙරුන්වහන්සේලා ශාසන ශ්‍රී භාරධාරීන් හැටියට අහංකාරව කතා කරති. නමුත් ඇත්ත වශයෙන් උන්වහන්සේලා මේ අශාසනික, අවාසනාවන්ත චාරිත්‍රය පැවැත්වීම නිසා බුද්ධ ශාසනය නැමැති ගොඩනැගිල්ලේ විශාල කොටසක් සහමුලින් බිඳහෙළන බැව් මම යටහත්ව, අවංකව කියමි.
උන්වහන්සේලා බුද්ධශාසනය නැති කරමින් එය රකින්නන් හැටියට පෙනීසිටින බැව් ප්‍රසිද්ධියේ කියන්නට වීම මගේ සිතට ලොකු වේදනාවකි. මට කතාවක් සිහිවෙයි. එක්තරා කථිකයෙක් චීනය පිළිබඳ විස්තරයක් කරමින් චීන රටේ මිනිසුන් ඉතා දුක සේ ජීවත්වන බවත්, සමහරවිට ඇතැම් දුප්පත් මිනිසුන් ජීවත්වීම පිණිස පොහොසතුන්ගේ වුවමනාවලට මැරෙන බවත් කීයේය. ජීවත්වීම පිණිස මැරෙනවාය කීම කීම හොඳ සිනාවකි. එසේම සියම් නිකායේ භික්ෂූන්වහන්සේලාද ශාසනයට අතිශයින් විරුද්ධ වූ කුලභේදයක් ඉදිරිපත් කොට ක්‍රියා කරමින්, එයින්ම ශාසනයේ බලවත් පදනමක් බිඳහෙළා දමා
‘අපි ශාසනය රකිමුය’යි නුවණැතියන් සිනස්සමින් ප්‍රකාශ කරති. උන්වහන්සේලා ශාසනය නොව ගොයිගම කුලය රකින බවත්, ගොයිගම කුලයෙන් පිට අයට මහණ – උපසම්පදාව නොදීමේ ක්‍රියාවෙන්ම උන්වහන්සේලා ශාසනය කඩකරන බවත්, ශාසනය නැති කරන බවත් මම උන්වහන්සේලාට ඉතා යටහත්ව දැනුම් දෙමි.
මෙය සිංහල රජෙකු විසින් නියම කරන ලද්දක් බවත්, පරම්පරාගතව පැවත ගෙන එන සිරිතක් බවත් උන්වහන්සේලා කියති. නමුත් අප ගරු කරන්නේ රාජාඥාවටද? බුද්ධාඥාවටද? බුද්ධධර්මය පාගා දමා, මානමදයෙන් මත්ව මුළා වූ පෘතග්ජන රජෙකුගේ වචනයක් ගරු කිරීම, ඇදහීම උන්වහන්සේලාට මොන තරම් නින්දාවක්ද? පෙර සිට පැවත එන බැව් කියා යම්කිසි වැරදි සිරිතක් නොකඩවා පැවැත්වීම තීර්ථක ධර්මයකි.
කාලාශෝක රජු දවස තීර්ථකයන් විසින් බුද්ධශාසනයට එක් කරන ලද දශ වස්තූන්ගෙන් එකක් නම් “කප්පති ආචිණ්ණ කප්පෝ” යන්නයි. එනම් පරම්පරාවේ පැවත එන කොයි සිරිතක් නමුත් කැපය. යනුයි. මේ කුලභේදය පැවැත්වීමේ සිරිත බුදුරජාණන් වහන්සේගේ ධර්මයට, විනයට හැම අතින්ම විරුද්ධ බැව් සියම් නිකායික උගත් භික්ෂූන් වහන්සේලා හොඳින්ම දනිති. එසේ දැන දැනත් පරමුපරාවේ පැවත ආ බැවින් එය කඩ කිරීමට භය වෙතොත්, එහිදී උන්වහන්සේලා තීර්ථක ධර්මයක් පිළිපදින බැව් කියන්නට වීම ගැන මම උන්වහන්සේලාගෙන් සමාව අයදිමි.
කුලපුත්‍රයා මහණ කළ යුතු බැව් උන්වහන්සේලා කියති. ජාති කුලපුත්‍රය, ආචාර කුලපුත්‍රයයි කුලපුත්‍රයා දෙවැදෑරුම් වෙයි. ලෝකයෙහි උසස්යයි සම්මත කුලයක උපන් තැනැත්තේ ජාති කුලපුත්‍රයි. උපන් කුලය කුමක් වුවත් යහපත් හැදීමෙන් හා හැසිරීමෙන් යුත් තැනැත්තේ ආචාර කුලපුත්‍රයි. උත්පත්තියෙන් උසස් කුලයක වුවද, හැදීමෙන් පහත් නම්, හෙතෙමේ මහණකමට සුදුසු නොවෙයි. උත්පත්තියෙන් පහත් කුලයක වුවද හැදීමෙන් උසස් නම්, හෙතෙමේ සුදුසු වෙයි. මෙසේ බලනවිට ශාසනික පැවිද්ද සම්බන්ධයෙන් චරිතය මිස කිසිසේත් උපන් කුලය ගැන කතාවක් ඉදිරිපත් නොවෙයි.
සියම් නිකායික භික්ෂූන්වහන්සේලා මේ කුලභේදය ලවත්වන අන්දම සිනාවට කරුණකි. උන්වහන්සේලා ගොයිගම නොවූවත් පැවිදි උපසපන් නොකරති. නමුත් පහත් යයි සිතන ඒ මිනිස්සුන්ගෙන් කෑම්, බීම්, ඉඳුමු, හිටුම් ආදී සංග්‍රහ ලබන්නටත්, ඔවුන් විසින් ගොඩනගන ලද පන්සල්වල සැපසේ ජීවත් වන්නටත්, ඔවුන්ගේ රථවාහනවල ගමන් ගන්නටත්, ඔවුන්ගෙන් තවත් නොයෙක් දේ ලබන්නටත් කිසිත් ලැජ්ජාවක් නැතිව සතුටු වෙති. පහත් යයි සම්මත උසස් ගෙදරක වැඩකාරකමට සිටින ගොයිගම ළමයා උන්වහන්සේලා පැවිදි කරගිනිති. නමුත් ඒ ගෙදර ස්වාමියාගේ ළමයා පැවිදි කිරීම නොනිසි වැඩක් හැටියට පැහැර හරිති.
කුලභේදය සිංහලයන්ගේ දියුණුවට බලවත් බාධාවක් වී තිබේ. සිංහලයන් අතර කුලභේදය තහවුරු කරන්නන් භික්ෂූන් වහන්සේලා බැව් හොඳින් සිතා බලන්නෙකුට නම් රහසක් නොවේ. අනෙක් කුලවල අය සියම් නිකායේ මහණ නොකිරීම නිසා ලක්දිව කුලභේදය දරුණු වෙයි. ලක්දිව කුලභේදය තුනී කොට මහජනයා අතර සමඟිය හා සමාදානය පිහිටුවීමේ ශ්‍රේෂ්ඨභාරය සම්පූර්ණයෙන්ම වාගේ සියම් නිකායේ මහ තෙරුන්වහන්සේලා පිට රඳා පවත්නා බැව් සලකත්වා.
ලෝකයේ උගත්, ශීලාචාර, උසස් මිනිස්සු සියම් නිකායේ කුලභේදය ගැන අසා අප සිටින පහත් තත්ත්වය ගැන අනුකම්පා කරති. සියම් නිකායේ මේ සිරිත ශීලාචාර මිනිසුන් අතරට පිළිකුලකි, නින්දාවකි. මේ ප්‍රශ්නය ගැන තවදුරටත් සිතාබලන විට සියම් නිකාය මේ කාරණය සම්බන්ධයෙන් බෞද්ධ නාමයෙන් බොහෝ ඈත්ව සිටින බැව් කියන්නට වීම සැබවින්ම කනගාටුවකි. සියම් නිකායේ කුලභේදය නැති භික්ෂූන් වහන්සේලා බොහෝ සිටින බැව් මෙහිදී අමතක කළයුතු නොවේ. උන්වහන්සේලාට අපගේ නමස්කාරය හිමිය.
සියම් නිකායේ මේ අවාසනාවන්ත සිරිත මේ තාක් පවත්වාගෙන ආ නමුත් අනාගතයේදී එය කඩ කරන්නට සිදුවන බැව් තරයේම විශ්වාස කරමි. සියම් නිකායේ මේ කුලභේදය පවත්නා තුරු අනෙක් කුලයන්හි මිනිසුන්ට හිතවත්ව ඒ නිකාය ආශ්‍රය කළ නොහැක. මේ පාපයෙන් තුරන් වනතුරු සිංහලයන් අතර අවංක, ස්ථීර සමඟියක් බලාපොරොත්තු වීම උගහටයි. අනාර්ය වූ, අශාසනික වූ මේ භයානක පාපය මුලිනුපුටා දමන්නට ශාසනාභිවෘද්ධිකාමී, ශ්‍රද්ධාවන්, සත්පුරුෂ ගිහි පැවිදි උතුමන් වහ වහා ඉදිරිපත් වී ක්‍රියා කළ යුතුයි.
පූජ්‍ය වල්පොළ ශ්‍රී රාහුල නාහිමි
(සත්‍යෝදය කෘතියෙනි)