විශේෂාංග

හෙලිකොප්ටර් පිරිත් පැන් හා දේශපාලනික ව්‍යාපෘති

පිරිත් පැන්, පිරිත් නූල් හා බෝ ගස් නෑවීම ආදී බෞද්ධ නමින් කරනා අභිචාරී ක්‍රියාකාරකම් වල ඇති එක ප්‍රධාන ලක්ෂණයක් නම්, ඒවා තුලින් අත්පත් කරගන්නට යන විභාගය සමත් වීම හෝ ලෙඩ හොඳ කර ගැනීම හෝ වේවා එය තනිකරම එම ආගමික ක්‍රියාකාරකමින් පමණක් අත්පත් කරගන්න පුළුවන් කියලා ඒවා කරන අයටම විශ්වාසයක් නැති වීමයි. විභාගයට පාඩම් කළ යුතු අතර ඊට අමතරව තමයි පූජාව තියන්නෙ, මැච් එකට හොඳට පුහුණුවීම් කළ යුතු අතර ඊට අමතරව තමයි පිරිත් නූල බඳින්නෙ, කොරෝනා වලටත් අනික් සියලුම ‘විද්‍යාත්මක’ හෝ නූතන ක්‍රමවේද පිළිපැදිය යුතු අතර ඊට අමතරව තමයි පිරිත් පැන් ඉහන්නෙ. ‘විද්‍යාත්මක ක්‍රමවේද’ නවතා ආගමික ක්‍රමවේදය පමණක් කරන්න එන්න කියලා ඔවුන් කිසිවිටෙක කියන්නෙ නෑ. නමුත් ශ්‍රී ලංකාවේදී ප්‍රශ්නය විසඳාගන්න ඒ විද්‍යාත්මක ක්‍රමවේදයටයි ආගමික අභිචාරී ක්‍රමවේදයටයි දෙකටම එක හා සමානව මිනිස්සු වියදම් කරනවා.

රජය, ආගම, හා දේශපාලකයින්

ලක්ෂ හතළිස් හයක් එක දවසක රැස්වීමට පමණක් වියදම් කරන පාර්ලිමේන්තුවක් ද අති විශාල ත්‍රිවිධ හමුදාවක් සමඟ අමාත්‍යංශ තොගයක් ද දවැන්ත ජනතා බදු මුදල් කන්දරාවක් යට කර නඩත්තු කරන අතර ඒවායෙන් කරන්නට නියමිත රැකියා ලබාදීම, සෞඛ්‍ය, ආරක්ෂාව ආදි සියලුම අවශ්‍යතාවයන් අත්පත් කර ගන්න නැවතත් ඒ හා සමාන විශාල දේවාල තොගයක් හා පූජාස්ථාන තොගයක් ජනතාව නඩත්තු කරනවා. ආගමික වතාවත් කරනවා කියලා මිනිසුන් ගිහිල්ලා වැඳගෙන රහසින් මුමුනන්නේ වෙන කිසිම දෙයක් නෙමෙයි මගේ පවුලට යහපතක්, දරුවට රස්සාවක්-හොඳ කසාදයක්, විභාග ජය, මේ ආදී අර විශාල මුදලක් යට කර නඩත්තු කරන රජයෙන් කරලා දිය යුතු දේවල් ටිකමයි. රසවත් දේ නම්, රජය තම වගකීම් හරියට නොකරන්න නොකරන්න ජනතාව තව තවත් ආගමික ක්‍රියාකාරකම් වලට යන අතර ඒ ආගමික ක්‍රියාකාරකම් වලට යන්නට නැවත රජය ජනතාවට අනුග්‍රහය දක්වනවා. තමන්ගේ ආගමික ප්‍රාර්ථනාවට අනුග්‍රහය දක්වන්නා රටට, ආගමට සහ තමන්ට ආදරය කරන්නෙක් විදිහට මිනිස්සු විශ්වාස කරනවා. අන්න ඒ ප්‍රසාදය දේශපාලකයින් පාවිච්චි කර නැවතත් ඒ අසාර්තක රජයෙන්ම බලයට එනවා. නමුත් රජයකට තමන් බදු ගෙවන්නේ ඒ වැඩේම කරන්නයි කියලා මිනිස්සු හිතන්නේ නෑ.

දෙවිවරුන්ට ඒ රටවල් දියුණු කරන්න බැරි ඇයි?

වරක් කිසියම් ලේඛකයෙකු තැනක සඳහන් කරලා තිබ්බා (කොවුර්?), කිසියම් විදේශ රටක තිබුණු සම්මන්ත්‍රණයකදී ශ්‍රී ලංකාවට ණය ආධාර දෙන යෝජනාවකට එරෙහිව එක රටකින් නැගිටලා කිව්වලු, අපි සම්පූර්ණයෙන් විද්‍යාත්මක නූතන ක්‍රම වලින් දූෂණය පාලනය කරලා උපයා ගන්නා මුදල් ඔවුන්ට දුන් පසු ඔවුන්ගේ දූෂණ අක්‍රමිකතා සහ අධ්‍යාපනය ආදිය හදා ගන්නවා වෙනුවට ඔවුන් ඒවා ගිහින් ඔවුන්ගේ රටවල් වල දෙවිවරුන්ට පූජා කරනවා. ඉතින් ඒ දෙවිවරුන්ට ඒ රටවල් දියුණු කරන්න බැරි ඇයි? අවසානයේ වෙලා තියෙන්නේ අපේ වගේ රටක කෙනෙකුට ඒ රටවල්වල සංචාරය කරන්න බැරි තරමට දැන් ඒවායේ හොර හතුරන් දූෂණ-වංචා විතරක් නෙමෙයි අපි වගේ ජාතීන් ගැන වැරදි අදහස් පවා බිහිවෙලා.

පිරිත් පැන් ඉසීම දේශපාලනික ව්‍යාපෘතියක්

හෙලිකොප්ටරයෙන් පිරිත් පැන් ඉහන ව්‍යාපෘතියට අඩුම ගානේ රුපියල් කෝටි කීපයක් යන වැඩක්. මේ වෙන කොට මුළු ලෝක ආර්ථිකයම දැවැන්ත කඩා වැටීමකට ලක්වෙමින් ශ්‍රී ලංකාවේ දිළිඳු ජනයාට උන්හිටි තැන් නැති වී කන්ඩ බොන්ඩ පවා නැති වෙන තත්වයක් උඩ එවැනි වියදමක් රාජ්‍ය අනුග්‍රහයෙන් දැරීම තුල කිසිදු සදාචාරමය හෝ යුක්ති සහගත බවක් දකින්නට නෑ. පිරිත් පැන් අහසින්ම ගිහින් ඉහන්ඩයි කියලා කිසිදු ආගමික නායකයෙක් කියලා නෑ. එය හුදෙක් සංඛේතයක් විතරක් වන අතර ඒ පිරිත් පැන් වලට ප්‍රදේශයේ සියලුම දෙනා තෙමෙන්නෙ නෑ. කිසිම ප්‍රසිද්ධියක් නොදී බෝතලයකට පිරිත් කියලා තැන් කීපයකට ඉස්සත් එකම සංඛේතය. කොච්චර වතුර ප්‍රමාණයක් කීදෙනෙකුට අවශ්‍යද කියලා කවුරුවත් හරියට දන්නෙත් නෑ. ටැප් වතුර, බෝතල් වතුර, වැව් ගංගාවල වතුර ආදී තවත් අනේක විධි වලින් වතුරට පිරිත් කියන්නට පුළුවන් ක්‍රමවේද රැසක් අතරින් හෙලිකොප්ටරයෙන් යාම ඔවුන් තෝරාගෙන ඇත්තේ ඉතා පැහැදිලිවම එහි ඇති ජනප්‍රිය සංදර්ශනීයභාවය නිසයි. එනම් එය මේ මොහොතේ මිනිසුන්ගේ ආගමික විශ්වාස යොදාගෙන කරන දේශපාලනික ව්‍යාපෘතියක්.

අවම වශෙයන් පසුගිය අවුරුදු 70 පුරා කරන ලද මෙවැනි අර්ථශූන්‍ය අභිචාර ක්‍ර‍රියාකාරකම් වලට වියදම් කරපු අති විශාල මුදල් කන්දරාව ගැන හිතනකොට පැහැදිලිවම කියන්න තියෙන්නේ, ශ්‍රී ලංකාව වැනි රටවල් වලට තවමත් දියුණු වීමට බැරි වෙලා ඇති තත්වය ජය ගන්නට ඊට අවශ්‍ය වන්නේ තවත් ණය මුදල් කන්දරාවක් නෙම් දැවැන්ත ‘ආකල්පමය’ වෙනසක් බවයි.


ධනංජය කරුණාරත්න

Leave a Reply

Your email address will not be published.

සබැඳි ලිපි

Back to top button