කලා

සුළඟ අප රැගෙන යාවී….

අපේ සිනමාව වෙනුවෙන්....!

සිනමාකරුවෙකු වීමට සිහින දකින තරුණයෙනි….
සුළඟ රැගෙන යන තුරු නොඉන්න. ඔබ ම සුළඟක් වන්න.

එසේ වෙන හැටි “සුළඟ අප රැගෙන යාවී” කියලා දේවි….

ඔබේ කරට අත දාගෙන සුපුරුදු මිත්‍රත්වයෙන් යමක් කිව යුතුව ඇත. සිතනවාට වඩා ඔබ සැබැවින්ම වටිනවා. හැකියාව, නිර්මාණශීලීත්වය කියන දේවල් තියන්නෙ “නමේ” නෙවෙයි. “ක්‍රමේ”
එමනිසා ක්‍රමේ වෙනස් කරන්න පුලුවන් උදම් රල ටික, ඒ කියන්නෙ ඔබ, එකතුවෙලා ක්‍රමේ පාගන් සුනාමියක් ලෙස ගලන්න කියලා ආරාධනා කරනවා.

නුවන් ජයතිලක, අන්තර්ජාතික සම්මාන දිනූ “සුළඟ අප රැගෙන යාවී” චිත්‍රපටය නිර්මාණය කල සොඳුරු තරුණයා. ඔබට සුළඟක් වන්නට පූර්වාදර්ශ සපයන්නේ ස්වාධීන සුළඟක් වූ ඔහු,

සුළඟ අප රැගෙන යාවී සිනමාපටයෙන්

“සුළඟ අප රැගෙන යාවී” චිත්‍රපටය සම්පූර්ණයෙන් රූපගත කිරීමට ගතවන්නෙ දින 14 ක සුළු කාලයක් පමණයි. එය සැබැවින්ම කැපවීමේ ප්‍රතිඵලයක් ම පමණි. නෑ බෑ යන වචන කපා හැරි ජීවියෙකුගේ අපූර්ව උත්සාහයකි. ඔහු පමණක් නොව ඔබත් ජීවියෙකි. ඔබටත් හැකි ය.

නිෂ්පාදකයෙකු නොමැතිව තමා අතේ තියන සුළු මුදලින් පටන් ගත්තු වැඩක් තමයි “සුළඟ අප රැගෙන යාවී” කියන්නේ. තමාට හැකි උපරිම පරිදි ස්වභාවික සම්පත් යොදාගෙන ඉහලින්ම නිමවපු නිර්මාණයක්. උදාහරණයක් විදියට අලෝකකරණය කියන්නේ චිත්‍රපටයක විශාල පිරිවැයක් යෙදිය යුතු අංශයක්. නමුත් නුවන් තම සම්පත් මදකම ගණනටවත් නොගෙන ඊට මුහුණ දෙන්නේ ස්වාභාවික හිරු එලියෙන් ( Day Light).

සිනමාපටයේ සුන්දර රූපරාමු

තවත් එවැනිම ක්‍රම භාවිතයෙන් මොහු චිත්‍රපටයේ පිරිවැය සැලකිය යුතු මට්ටමකින් අඩු කරගන්නවා. නමුත් වැදගත්ම දේ ඊට අනුලෝමව චිත්‍රපටයේ ගුණාත්මය අඩු නොවීමයි.

කෙසේ හෝ චිත්‍රපටය සඳහා වියදම් වන මුදලෙනුත් අඩක් පමණ සොයාගන්නට මොහු අළුත් ම ක්‍රමයක් භාවිතා කරනවා. මේ තනි තරුණයා තමන්ගේ චිත්‍රපටයත් රැගෙන හැකිතාක් විදේශීය , අන්තර්ජාතික සිනමා උළෙලවල් ආක්‍රමණය කරනවා. සම්මාන දිනනවා. ඒ හරහා ඔහු තමන්ගේ චිත්‍රපටය විදේශ රටවල පෙන්නන්න අළුත්ම පාරක් කපාගන්නවා. ඒ පාරේ නිර්මාතෘ ඔහු. ලාංකීය සිනමාව විදේශයට ගෙනියන්න ඔහු දැන් පාලමක් වෙලා ඉන්නවා. තරුණ ඔබ එතෙර විය යුතුම පාලමක් වෙලා ඉන්නවා. ඔහු ඉන් කියූ පරිදිම වියදම යම්තාක් පියවාගන්නවා.. ඔහු හුස්ම ගන්න ඔක්සිජන් ම ආස්වාස කරන ඔබටත් එවැන්නක් කල නොහැක්කේ නොවේ..

අයිරාංගනී සේරසිංහ මහත්මිය දර්ශනතලයේදී….

මොහු මේ සියල්ල සිදු කරන්නේ සිනමා ක්ෂේත්‍රයේ ලොකු තැන් එක්ක කිසිඳු සම්බන්ධයක්වත් ඇඳුනුමක්වත් නොමැති පසුබිමක. මේ වචනවලින් විස්තර කල හැකි කැපවීමක් නොවේ. උපරිම කැපවීමක්. උපරිම ධෛර්‍යයක්.

නමුත් අප්‍රියතම අභියෝගයට මුහුණ දෙන්නට වන්නේ ඉන් පසුව යි. ඒ සිනමාපටය තිරගත කර ගැනීමේ අභියෝගයයි. ලාංකීය සිනමා කර්මාන්තය ඉහල නොනගින ලොකුම හේතුවක් තමයි මේ කර්මාන්තයේ උඩ ඉන්න පිරිස නැගිටින්න හදන පිරිස පාගාගෙන සිටීම. සිනමා කර්මාන්තය කියන්නෙ ලංකාවේ කැපිලි කෙටිලි වැඩිම කර්මාන්තයක් වෙන්නත් පුලුවන්. ඒ තරමටම එය දරුණු අර්බුදයක්. තරුණ සිනමාකරුවෙකුගෙන් විමසුවහොත් ඔබට එය ලුණු ඇඹුල් ඇතිව පහදාවී.
සිනමාව ඉදිරියට නොයන ලොකුම හේතු දෙකෙන් එකක් ලෙස මා දකින්නේ එයයි.

සුජීව ප්‍රියලාල් දර්ශනතලයේදී

ලෙස්ටර් ජේම්ස් පීරිස් කියන තරුණයා කැමරා ආම්පන්න ටිකත් අරන් චිත්‍රාගාරයෙන් එලියට නොපනින්න සිංහල සිනමාව තාමත් චිත්‍රාගාර ඇතුලෙ කුණු වෙන්න තිබුණා. ලෙස්ටර් නොපැන්නානම් ඉන් එලියට වෙන කෙනෙක් හෝ පැනිය යුතුව ම තිබුනා. එමෙන් ම සුළඟ අප රැගෙන යාවී රැගෙන නුවන් ජයතිලක විදේශයට නොයන්න, “ස්වාධීන, තරුණ” නිර්මාණකරුවන්ට තම සිනමා නිර්මාණය අන්තර්ජාතික තලයට ගෙනියන්න පාරක් නොකැපෙන්න තිබුණා. අද ලෙස්ටර් ට තියන පිළිගැනීම වැන්නක් නුවන්ටත් කෙදින හෝ නොලැබේවියැයි කිව හැක්කේ කාටද? ඔහු කල කර්තව්‍ය එතරම්ම වටිනා එකකි. පෙරැළියකි.

මේ බාධක සියල්ලටම පසුව සුළඟ අප රැගෙන යාවි ලඟදීම තිරගත වීමට නියමිතයි. ඒ චිත්‍රපටය නිමවා වසර පහ හයකට පමණ පසුවයි. පෝලිම් පනින නිෂ්පාදකවරුන් සියල්ලම හිතේ හැටියට පෝලිම් පැන්න පසුවයි. ඒ අනෙක් අර්බුධයයි

ඉතින් නුවන් ට හැකිනම් ඔබට නොහැකි මන්ද? තරුණ සිනමාකරුවනි චිත්‍රපට කර්මාන්තය ගොඩ ගත හැකි විභවය ඇත්තේ ඔබටයි. පසුබට නොවන්න. “සුළඟ අප රැගෙන යාවී” ඔබට අවශ්‍ය ඔක්සිජන් දේවී….
ඉන් හුස්ම ගන්න….

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button