දේශීය

ෆයිසර් – ඔක්ස්ෆර්ඩ් එන්නත් ලංකාවට නෑ. ගෙනාවත් ගේන්නේ ලාභදායී ඉන්දීය එන්නතක්

කොරෝනා වයිරසය සඳහා වන එන්නත පෙබරවාරි මාස අගදී හෝ මාර්තු මස මුලදී මෙරට ජනතාවට ලබාදීමට හැකිවනු ඇතැයි කොරෝනා එන්නද මෙරටට ගෙන්වීම සම්බන්ධයෙන් පත්කර ඇති කමිටුවේ ප්‍රධානී, ජනාධිපති උපදේශක ලලිත් වීරතුංග සඳහන් කරයි.

ඒ අනුව එම එන්නත සිංහල දෙමළ අලුත් අවුරුද්දට පෙර ජනතාවට ලබාදීමට හැකිවනු ඇතැයිද ඔහු කියා සිටියේය.

මෙරට භාවිතයට වඩාත් සුදුසු වන්නේ ඉන්දියාවේ නිපදවූ ඇස්ට්‍රොසෙනෙකා එන්නත බවත් එම එන්නත ලබා ගැනීම සඳහා සාකච්ඡා අවසන් මට්ටමේ පවතින බවද ඔහු සඳහන් කළේය. එන්නත ලබා ගැනීම සඳහා අවශ්‍ය මුදල් වෙන් කිරීම ද මේ වෙන විට අවසන් බව ද ඔහු පැවසීය.

ෆයිසර් එන්නත 94.5%ක සාර්ථකත්වයකින් යුක්ත වුවත් එන්නතක් ඩොලර් 20ක මිල හා සෙන්ටිග්‍රේට් ඍණ 70 ක උෂ්ණත්වයේ ගබඩා කිරීමට සිදුවීම හේතුවෙන් මෙරට භාවිතය අපහසු බව ද ඔහු සඳහන් කළේ ය.

“අපිට එක්කෙනෙක් වෙනුවෙන් රුපියල් 10,000 ක විතර වියදම් කරන්න වෙනවා. ඊටත් වඩා අපිට තියන ප්‍රශ්නේ; මේවා ගබඩා කරන්න ප්‍රවාහනය කරන්න අපිට පහසුකම් නෑ…” යැයි ලලිත් වීරතුංග කියා සිටියේය.

එම පහසුකම් සමග ෆයිසර් එන්නත රුපියල් 10,000 ක පමණ මුදලක් වැයවන බව ද කී වීරතුංග මහතා ඔක්ස්ෆර්ඩ් එන්නත සාමාන්‍ය ශීතකරණයක ගබඩා කර හැකි වන බවත් ඇ. ඩොලර් 03කට පමණ මිලදී ගත හැකි බවත් ඔහු කියා සිටියේය. එහි සාර්ථකත්වය 90% බවත් ඔහු පැවසීය.

මේ අතර, කොරෝනා වෛරසයේ ආරම්භය සම්බන්ධයෙන් විමර්ෂණය කිරීම සඳහා චීනයට යැවීමට සුදානම් වූ ලෝක සෞඛ්‍ය සංවිධානයේ දස පුද්ගල විමර්ෂණ කණ්ඩායමට චීන බලධාරින් විසින් අවසර ලබා දී නොමැති බව මාධ්‍ය වාර්තා කර සිටිනවා.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂක ජනරාල් Tedros Adhanom Ghebreyesus සඳහන් කළේ චීනය විසින් වෛරසවේදය සම්බන්ධ විමර්ෂණ කණ්ඩායමට රටට ඇතුළුවීමට අවසර නොදීම ඉතා කණගාටුදායක ක්‍රියාවක් බවයි.

“අපගේ විමර්ෂණ කණ්ඩායමේ සාමාජිකයින් දෙදෙනෙක් කල් තියා ගමන් ආරම්භ කර තිබුණා. නමුත් අනෙක් සාමාජිකයින් වීසා නොලැබීම නිසා අවසන් මොහොතේ එය අවලංගු කළා” යැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා කියා සිටියා.

චීනයේ බලධාරීන් සමග ඉදිරියේදී මේ සම්බන්ධයෙන් සාකච්ජා කිරිමට බලාපොරොත්තුවන බවද ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා.

2019 වර්ෂයේ චීනයේ වුහාන් නගරයෙන් ව්‍යාප්තිය ආරම්භ වූ කොරෝනා වෛරසය හේතුවෙන් මේ වන විට ලොවපුරා මිලියන 86ක ජනතාවකට වෛරසය ආසාදනය වී ඇති අතර ඉන් මිලියන 1.8ක් මියගොස් තිබෙනවා.

චීනයෙන් ව්‍යාප්තිය ආරම්භ වූ කොරෝනා වෛරසය සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය විමර්ෂණ සිදුකිරීම ප්‍රමාද වීමගැන අමෙරිකාව ඇතුළු බටහිර රටවල් ඉකුත් වසරේ දැඩි දෝෂදර්ශණයට ලක් කර සිටියා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button