දේශීය

රටේ බෙහෙත් හිඟයක් – රජයේ බලධාරීන් වග කියන්න ඕනේ

කොරෝනා රෝග ව්‍යාප්තිය මධ්‍යයේ රටේ සෞඛ්‍ය පද්ධතියේ ගැටළු කිහිපයක් පැන නැගී ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

මේවන විටත් අත්‍යාවශ්‍ය ඖෂධ ඇතුළු ඖෂධ 500 ට වැඩි ගණනක හිඟයක් මතුව ඇති බව පවසන එම සංගමය ඒ සම්බන්ධයෙන් දොස් පවරා ඇත්තේ රජයේ බලධාරීන්ටයි.

“සෞඛ්‍ය අමාත්‍යතුමිය කුමන උපදෙස් ලබා දුන්නද ඖෂධ හිගය සදහා වග කිව යුතු ඖෂධ සංස්ථාව, මධ්‍යම ඖෂධ සැපයුම් අංශය, ඖෂධ නියාමන අධිකාරිය ඇතුළු පිරිස මේ පිළිබදව මේ වන තෙක් ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබද කිසිසේත්ම සෑහීමකට පත් විය නොහැක.”

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඒ බව පවසා ඇත්තේ “කොරෝනා රෝග ව්‍යාප්තිය – රටේ සෞඛ්‍ය හා රට නැවත යථා තත්ත්වයට පත් කිරීමේ හැකියාව” මැයෙන් අප්‍රේල් මස 17 සිකුරාදා නිකුත් කර තිබෙන මාධ්‍ය නිවේදනයක් මගිනි.

ඖෂධ හිගයට කඩිනම් විසදුමක් ලබා දී කොරෝනා රෝගයෙන් මෙන්ම අනෙකුත් රෝග වලින් ජනතාවගේ ජීවිත ආරක්ෂා කර දීමට බලධාරීන් කටයුතු කළ යුතුයැයි පවසන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සිය නිවේදනය මගින් වැඩි දුරටත් පෙන්වා දී ඇත්තේ හෘද රෝග වැනි ක්ෂණික අවධානය යොමු විය යුතු රෝග තත්ත්වයන්හිදී රෝගීන් රෝහල් වෙත පැමිනීම ප්‍රමාද වීමද බරපතල තත්ත්වයක් බවයි.

“මේ නිසා පසුගිය කාලය තුළ දිවයින පුරා රෝහල් වල මරණ ගණනාවක් සිදුව ඇත.”

වහාම රෝහල් ගතවන්න

ඒ අනුව තමන්ට තදබල රෝගී තත්ත්වයක් මතුවනුයේ නම් වහාම රෝහල් ගත වීමට ජනතාව වග බලා ගත යුතු බවද එම නිවේදනයේ වැඩි දුරටත් සඳහන්ය.

ඒ සදහා උපදෙස් ලබා ගැනීමට ඇති ක්ෂණික ප්‍රතිචාර දක්වන දුරකථන අංකවල ක්‍රියාකාරීත්වය වඩාත් විධිමත් කරන ලෙසත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඉල්ලා තිබේ.

මේ සියලු තත්ත්වයන් මධ්‍යයේ අනේක කැප කිරීම් සිදු කරමින් පවතින තත්ත්වය කළමනාකරණය කිරීම සදහා සම්බන්ධ වී සිටින සමස්ත සෞඛ්‍ය කාර්ය මණ්ඩලය දිරි ගැන්වීමට කටයුතු කිරීමේ වැදගත් කමත් එම නිවේදනය මගින් අවධාරණය කර තිබේ.

පවතින වසංගත තත්ත්වය පාලනය සදහා මේ වන විට රජය ගෙන ඇති වැඩපිළිවෙල පැසසුමට ලක් කරන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නැවත නැවතත් පෙන්වා දී ඇත්තේ රට නැවත යථා තත්ත්වයට ගෙන ඒමේ ක්‍රියාවලියේදී සමාජ දුරස්ථකරණය තව දුරටත් පවත්වා ගැනීම වැදගත් බවයි.

රට නැවත අදියරෙන් අදියර විවෘත කිරීමේ වැඩපිලිවෙලේදී සිදු විය යුතු ප්‍රධානතම කාර්ය ලෙස එම සංගමය පෙන්වා දෙන්නේ රෝගීන් හදුනා ගැනීමේ පරීක්ෂණ පහසුකම් පුළුල් කිරීමයි.

සෞඛ්‍ය අංශ විසින්ම ප්‍රකාශ කළ පළමු පෙලේ සමීප ස්පර්ශකයන් 3000 ට ආසන්න පිරිස හෝ පරීක්ෂාවට ලක් කර අවසන් කිරීමට මේ වන තෙක් බලධාරීන් අපොහොසත් වී ඇති බවද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නිකුත් කළ නිවේදනයේ වැඩි දුරටත් සඳහන්ය.

“සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාම ප්‍රකාශ කළ පරිදි පරීක්ෂණ සදහා අප රටට දිනකට ඇති උපරිම ධාරිතාව 1500 ට ආසන්නය. කෙසේ නමුත් තවමත් අප සිදු කරමින් සිටිනුයේ දිනකට පරීක්ෂණ 500 ක් වැනි ගණනකි.”

ඉතා භයානක සමාජ ව්‍යාප්තියක් සිදු වන තෙක් පරීක්ෂණ ඇතුළු පහසුකම් ඉතිරිකරගත යුතුය යන මානසිකත්වයෙන් මිදී සමාජ ව්‍යාප්තිය දක්වා රෝගය දරුනු වීම වැළැක්වීමට අවශ්‍ය උපක්‍රමශිලී ප්‍රවේශයකට සෞඛ්‍ය බලධාරීන් මේ මොහොතේ හෝ යොමු විය යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය යලි යළිත් අවධාරණය කර ඇත.

“තත්ත්වය වඩාත් බෑරෑරුම් වනුයේ සෞඛ්‍ය අමාතාංශයට අනුබද්ධ වසංගත රෝග විද්‍යා අංශ වලට රෝග ස්පර්ශකයන් ව්‍යාප්තිය හා ඒ හරහා මතුව ඇති වර්තමාන අවදානම පිළිබද සැබෑ චිත්‍රය මේ දක්වා රටට ඉදිරිපත් කිරීමට නොහැකි වීමයි. ඒ අය සතුව තිබිය යුතු සමහරක් තොරතුරු පාර්ශවකරුවන් සමග බෙදා නොගැනීම මීලග බරපතල ගැටළුවයි.”

ඒ අනුව පරීක්ෂණ ප්‍රමාද කිරීම හරහා රට නැවත විවෘත කිරීමේ ක්‍රියාවලියට බාධා පමුණුවන කඩාකප්පල්කාරී පිරිස් වහා හදුනාගෙන රටට හෙලි දරව් කරන ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ජනාධිපතිවරයා ඇතුළු බලධාරීන්ගෙන් ඉල්ලා තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button