දේශපාලන

“කොරෝනාවට ජනතාවගේ EPF බිලිදීම ආණ්ඩුවේ සැලසුම වෙලා”

- වසන්ත සමරසිංහ (ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී)

කොරෝනා වෛරසය හේතුවෙන් රටේ ආර්ථිකය මුහුණදී ඇති පසුබෑමට පිළියමක් වශයෙන් සේවක අර්ථසාධක අරමුදලේ (EPF) තැන්පතුවලින් 20%ක් එහි සාමාජිකයින් වෙත නිදහස් කිරීමට අග්‍රාමාත්‍ය ආර්ථික උපදේශක අජිත් නිවාඩ් කබ්‍රාල් මහතා කර ඇති යෝජනාවෙන් පෙන්නුම් කෙරෙන්නේ ආණ්ඩුවේ අසාර්ථක භාවය බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සමරසිංහ පවසයි.

වසන්ත සමරසිංහ

“ආණ්ඩුවේ මේ වෙලාවෙ උපදෙස් වෙලා තියෙන්නෙ සේවකයාගෙ සාක්කුවෙන්ම අරන් වියදම් කරගන්න එක. මේ තියෙන්නෙ බැංකුවෙ තියන සල්ලි අරන් ආපහු වියදම් කරලා මාස දෙකක් කන්න කියන කතාව තමයි මේ කියන්නෙ.

හැබැයි ලෝකෙ රටවල් ගත්තාම සිංගප්පූරුව පවා දළ ජාතික නිෂ්පාදිතයෙන් 11%ක් මේ කොරෝනා වෛරසයෙන් අවදානමට මුහුණ දීම සඳහා වෙන්කරලා තියෙනවා. බහරේන් රාජ්‍ය 14%ක් වෙන්කරලා තියෙනවා. දියුණු සංවර්ධිත රටවල් මීට වඩා විශාල ප්‍රමාණයක් – ජර්මනිය 22%ක් වගේ වෙන්කරලා තියෙනවා.

අපි 0.30යි, ඩොලර් මිලියන 300ක් තමයි අපි ඇස්තමේන්තු කරලා තියෙන්නෙ මේ අවදානමෙන් රට මුදවාගන්න. මෙය ප්‍රමාණවත් වෙන්නෙ නෑ. රජය ගන්නා ක්‍රියාමාර්ගය ඇතුළෙ සේවක අර්ථසාධක අරමුදල ඒකට බිලිදෙන්න තමයි ආණ්ඩුවේ සැලසුම වෙලා තියෙන්නෙ.

සේවක අර්ථසාධක අරමුදල නිදහස් කිරීම හරහා සේවකයන්ට බලපෑමක් ඇතිවෙනවා. ඒවගේම රටේ ආර්ථිකයට යම් උත්තේජනයක් ගන්න පුළුවන්, හැබැයි ඒ උත්තේජනය ගන්නවා වගේම සේවකයින්ගේ අරමුදල තමයි මේ වියදම් කරන්න ආණ්ඩුව යෝජනා කරන්නේ.

එතකොට ආණ්ඩුවක් ඕනෙ නෑ සේවකයින්ගේ සල්ලි වියදම් කරලා රට හදන්න. ඒනිසා ආණ්ඩුවේ ක්‍රියාමාර්ග අසාර්ථකයි කියන එක තමයි අද මේ කටයුත්තෙදිත් ආණ්ඩුව පෙන්නුම් කරමින් තියෙන්නෙ”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button