දේශපාලන

විමල්ට – මැ.කො.ගෙන් කන රත් වෙන උත්තරයක්

කොරෝනා වසංගතය හමුවේ පීඩාවට පත් ජනතාවට සහන සලසන මුවාවෙන් මහමැතිවරණ අපේක්ෂකයින් දේශපාලන වාසි ලබාගැනීමට තැත්කිරීම වැළැක්විය යුතු බවට මැතිවරණ කොමිසම විසින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට ලිඛිතව දැනුම් දීමෙන් අනතුරුව එම ක්‍රියාව අමාත්‍ය විමල් වීරවංශ විසින් ඉතාම දැඩි ලෙස විවේචනය කර තිබිණි. අමාත්‍යවරයා පවසා තිබුණේ “මැතිවරණ කොමිසමට මුලින්ම බෙහෙත් දිය යුතු” බවකි.

විමල් වීරවංශ අමාත්‍යවරයාගේ එම ප්‍රකාශයට මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය ෆේස්බුක් සමාජ මාධ්‍ය ඔස්සේ පිළිතුරු දී තිබුණේ මෙසේය.

සාමාන්‍යයෙන්, මැතිවරණ කොමිෂන් සභාව හෝ මා, අප සම්බන්ධයෙන් දේශපාලනඥයින් විසින් කරන ප්‍රකාශ වලට පිළිතුරු දෙන්නේ නැහැ. එසේවුවත් Covid 19 ආපදාව හේතුවෙන් පීඩාවට පත්වූ ජනතාවට සහන සැලසීමේදී ස්වකීය පක්ෂය / අපේක්ෂකත්වය ප්‍රවර්ධනය වනසේ ක්‍රියාකීරීමෙන් දේශපාලනඥයින් / අපේක්ෂකයින් වැළකී සිටිය යුතු බවට මැකොස කළ ප්‍රකාශ හා නිකුත් කළ ලිපි පිළිබදව කරන ලද බරපතල විවේචනය සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් කළ යුතු බව බොහෝදෙනකු අපෙන් ඉල්ලා සිටියි. මේ ව්‍යවස්ථාපිත මැතිවරණ කාලසීමවක් නිසා හා රට ආපදාවකට මුහුණ දී ඇති නිසා මෙවැනි විටක පදනමක් රහිතව මැකොස විවේචනය කර තිබීම අයෝග්‍ය බව, ඔවුන් කියන නිසා පිළිතුරක් දීමට අවශ්‍ය බව මාත් හිතනවා. ඒත් එම ප්‍රකාශය මෙන් ඒ ටෝන් tone එකෙන් උත්තර දෙන්න මේ වෙලාවෙදි මැකොස සභාපති ලෙස මට බැහැ .

මැකොස කිසිවිටක කියා නැහැ, ජනතාවට සහන සැලසීමට දේශපාලනඥයින් සම්බන්ධ නොවිය යුතු බව. අප කියා ඇත්තේ මේ ක්‍රියාමාර්ග හරහා දේශපාලනඥයින් / අපෙක්ෂකයන්, ස්වකීය පක්ෂය හෝ අපේක්ෂකත්වය ප්‍රවර්ධනය නොකළ යුතු බවයි.

එය ඡන්දවිමසීම් කාලයකදී පමණක් නොව ශිෂ්ඨ රටකදී සාමාන්‍ය තත්වය යටතේ වුවද නොකළ යුතු බවයි අපේ මතය. යහපත් පුරවැසියන් සියලු දෙනාම එයට එකඟ බව අප දන්නවා.

අප පෙර සඳහන් ප්‍රකාශ කළේ සහන ලබාදීම හරහා දේශපාලනමය ප්‍රවර්ධන සිදුකරන බවට අපට පැමිණිලි ලැබීම නිසා. එම පැමිණිලිවලින් බොහොමයක් අසත්‍ය ලෙස බැහැර කරන්නට බැහැ. බොහෝ පැමිණිලි එක්තරා පක්ෂයක දේශපාලනඥයින් හා සබැඳිවයි ලැබෙන්නේ. ඒ පැමිණිලි වැැඩි සංඛ්‍යාවක්, එම පක්ෂයේම අපේක්ෂකයින් වෙතින් ලැබීම විශේෂිත තත්වයක්. ඒ පැමිණිලි ගැන වෙනත් තැනක ලියන්න හිතනවා.

මේ අපේ දැනුම්දිීම් එක් පක්ෂයකට පමණක් අදාළ නැහැ. සෑම පක්ෂයකටම, කණ්ඩායමකට, හා අපේක්ෂකයකුට අදාළ බව කියන්න ඕනෙ.

තවත් දෙයක් තමයි රාජ්‍ය දේපළ හරහා ලබාගන්නා ආධාර , විශේෂයෙන්ම පළාත්පාලන ආයතනවල දේපළ පාලන බලය හිමි ප්‍රධානියාගේ අභිමතය පරිදි තමා කරන දෙයක් සේ පෙන්වමින්, ජනතාවට බෙදා හරිමින් අයුතු වාසියක් ලබා ගැනීම. එය සම්පූර්ණයෙන්ම වැරදියි. අනීතිකයි.

ඒවගේම තනතුරේ නිල බලය, දේශපාලනමය බලය භාවිත කර ආධාර එකතු කර බෙදා දෙමින් තමන්ගේ දේශපාලන ප්‍රවර්ධනය සඳහා යොදා ගන්නා බවට පැමිණිලි ලැබෙනවා, එයත් වැරදියි.

දේශපාලනඥයින්ට, ජනතාවට ආධාර කරන්න ඕන නම් වඩාත්ම හොඳ ක්‍රමය තමයි, ඒ ආධාර, රාජ්‍ය යන්ත්‍රණය හරහා ලබා දෙන එක. අපේක්ෂකයින් ආධාර දෙන ඡායාරූප, වීඩියෝ ප්‍රදර්ශනය නොකරනව තමයි හොඳ.

ඉතා සුලු පිරිසක්, මේ ආධාර දීම හරහා, මනාප ගැන හිතනවා ඇති, ශිෂ්ට, යහපත් දේශපාලනඥයින් එහෙම කරන්නෙ නැහැ කියලයි අප හිතන්නෙ. අප කියල තියෙන්නෙ පක්ෂය, අපේක්ෂකත්වය ප්‍රවර්ධන කරන්න එපා යනුවෙනුයි. ඒක නිසා අපේ ඒ ප්‍රකාශවල කිසි වරදක් නැතිබව හොදින් අපේ ප්‍රකාශ බලන හා ආධාර ලබාදීම හරහා වාසි ලබා ගැනීමට අපේක්ෂා නොකරන සැමට පැහැදිලි වෙන බව අප හිතනවා .

ආධාර දීමට වඩා බරපතල දෙයක් තමයි, රාජ්‍ය යාන්ත්‍රණය හරහා සිදුකෙරෙන සහන සැලසීමේ වැඩ පිළිවෙලට, දේශපාලනඥයින් මැදිහත්වී බලපෑම් කිරීම. අප්‍රේල් 06 දා අපට සිද්ධවුණා, මේ ලැයිස්තු සැකසීම ගැන නියෝග දීමට ග්‍රාමනිලධාරීන් ස්වකීය නිවසට කැඳවා රැස්වීමක් තැබීමට දේශපාලනඥයකු දැරූ තැතක් වැළැක්වීමට.

මැකොස ඉල්ලා ඇත්තේ මේ කාර්යය එනම් සහන අවශ්‍ය තැනැත්තන් තෝරා ගැනීම සම්පූර්ණයෙන්ම නිර්දේශපාලනමය කරන්න ඕන කියල තමයි. එමෙන්ම සහනාධාර දීම හරහා පක්ෂ අඅපේක්ෂක ප්‍රවර්ධන නොකරන ලෙස.

මැකොස කිසිම පක්ෂයක්, කණ්ඩායමක් හෝ අපේක්ෂකයකු ප්‍රවර්ධනයට හෝ, අගතියට පත්කිරීමට ක්‍රියාකරන්නේ නැහැ. අප ඒ කිසිවකුට පක්ෂපාතිත්වයක් නැහැ.

අපේ පක්ෂපාතිත්වය ජනතාවට, ප්‍රජාතන්ත්‍රවාදයට හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පමණයි.

Covid -19 පරදවමු, නිදහස් හා සාධාරණ ඡන්ද විමසීමක් පැවැත්වීමට යහපත් වාතාවරණයක් උදා කරගනිමු.

ප්‍රජාතන්ත්‍රවාදයේ මහෝත්සවය ඡන්ද විමසීමයි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button