දේශපාලන

ආණ්ඩු භේදයක් නැති ජාතිවාදී අපරාධ

ඔබ සිංහල හෝ දෙමළ හෝ මුස්ලිම් ජාතිකයෙකු වූයේ කෙසේද? ඒ ඔබේ පියාගේ උප්පැන්න සහතිකයේ එසේ කොටස් කිරීමක් දක්වා තිබූ නිසා ය. පියාට එය ආවේ ඔහුගේ පියාගෙන් ය. කිසිවෙකු මුලක් ගැන දන්නේ නැත. එහෙත් මේ කොටස් කිරීම තවදුරටත් කරපින්නාගෙන යන්නේය.

ආචාර්ය ඊ.ඩබ්ලිව්. අදිකාරම් කිව්වේ මෙය බරපතළ මානසික ආබාධයක් බවයි. ප්‍රතිකාර කොට සුව කළ යුතු මානසික රෝගී තත්වයක් සහ බලය වෙනුවෙන් ඕනෑම විනාශයක් කරන කණ්ඩායමක් එක් වූ විට ඇති වන තත්ත්වය පිළිබඳව ඔබට සිතා ගත හැකිද?

කරුණාකර ලංකාව දෙස බලන්න.

දෙදහස් දහ අටේ මාර්තු මාසයේදී අම්පාර, මහනුවර, දිගන, අකුරණ වැනි ප්‍රදේශ වල නිශ්චිත ජන කොට්ඨාසයක් ඉලක්ක කරගනිමින් පහර දීම් සිදු විය. එයින් දේපොළ හානි මෙන්ම ජීවිත හානි ද සිදු විය. මේ අපරාධ සම්බන්ධයෙන් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගත්තද, වැඩි කරදරයකින් තොරවම ඔවුන්ට ඇප ලැබිණි. අප්‍රේල් විසි එක ප්‍රහාරයෙන් පසුව කුලියාපිටිය, පඬුවස්නුවර, මිනුවන්ගොඩ සහ නාත්තන්ඩිය වැනි ප්‍රදේශ වලද එය එසේම සිදු විය. ඔවුන්ට ඇප ලබා දීමට පොලිසිය කිසිදු විරෝධයක් දැක්වුයේ නැත. ඊට හේතුව ලෙස ඔවුන් සඳහන් කළේ මේ නඩු ගොනු පවත්වාගෙන යෑමේ හැකියාවක් නැති බවයි.

එහෙත් රත්නපුරය භීතියට පත් කරමින් තරුණයන් තිදෙනෙකුට ත්‍රස්තවාදී චෝදනා එල්ල කළ හාමුදුරුවන්ට හෝ පොලිස් නිලධාරීන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක වූයේ නැත. කෙටිකතාවක් ලියූ ශක්තික සත්කුමාරට එරෙහිව නීතිපති දෙපාර්තමේන්තුව කටයුතු කළේ උන්මත්තකයන් රජ වූ අයුරින් ය. මේ අපරාධ වලට ආණ්ඩු භේදයක් නැති බව ඔවුන් තවදුරටත් තහවුරු කරමින් සිටියි.

කටුගස්තොට, අඹතැන්න ප්‍රදේශයට පහර දුන් පිරිස මුලින්ම කළේ ප්‍රදේශයට ජලය සපයන නළ පද්ධතිය කඩා දැමීම ය. ඒ ගිනි නිවීම වැළක්වීම සඳහා ය. මේ ආකාරයේ කෘර සැලසුම් කළ කණ්ඩායම් දැන් ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් මාධ්‍ය සාකච්ඡා පවත්වයි. ඒ සිදුවීම් වලට වගකිවයුත්තන් ආරක්ෂා කළ සජිත් ප්‍රේමදාසලා සංහිඳියාව ගැන කතා කරයි.

යළිත් ඇසිය යුතුය. ඔබ සිංහල හෝ දෙමළ හෝ මුස්ලිම් ජාතිකයෙකු වූයේ කෙසේද?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button