විශේෂාංග

මනු දහමට අවමන් කළ අරුම පුදුම බොදු පාසල් ‘ආනන්ද, නාලන්ද, රාජකීය’ වැඩක්…!

ශිෂ්‍යත්ව විභාගයේ කඩඉම් ලකුණු පසු කර සුදුසුකම් සපුරා තිබුණ ද, පියා දෙමළ හින්දු භක්තිකයකු වීම නිසා මෙවර නාලන්දා විද්‍යාලයේ හය ශ්‍රේණියට අයැදුම් කළ සිසුවකු එම පාසලට ඇතුළත් කර ගැනීම පාසල් බලධාරීන් සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ පාසල් කටයුතු ශාඛාව ප්‍රතික්ෂේප කිරීමේ සිද්ධියක් පසුගිය සතියේ වාර්තා විය.

ආගම අනුව වෙනස්කමකට භාජනය නොකළ යුතු ය යන්න ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තිබිය දී, එය අමු අමුවේ උල්ලංඝනය කළ පාසල් බලධාරීන්ට අධ්‍යාපන අමාත්‍යාංශයේ පාසල් කටයුතු ශාඛාව ද සහයෝගය ලබා දී තිබිණි.

මේ කියන සිසුවාගේ මව බෞද්ධ කාන්තාවක වන අතර, පියා හින්දු භක්තිකයෙකි. දරුවා එක ශ්‍රේණියේ සිට පහ ශ්‍රේණිය දක්වා ම ඉගෙනුම ලබා ඇත්තේ, බෞද්ධාගමයි. පසුගිය වසරේ එනම් 2019 අගෝස්තු මාසයේ පැවැති පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයෙන් මේ දරුවා ලකුණු 179ක් ලබා ගනිමින් ඉහළින්ම සමත් විය. අනතුරුව පාසල් පහක් සඳහා අයැදුම් කළ අතර, ඔහු තේරී පත් වූයේ කොළඹ නාලන්දා විද්‍යාලයට ය. ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 179ක් ලබා ගත් එම සිසුවා නාලන්දා විද්‍යාලයට ඇතුළත් කිරීමට සුදුසුකම් ලබා ඇති බව අන්තර්ජාලයේ පිරික්සද්දී පෙන්නුම් කර ඇති අතර, ඇතුළත් කර ගැනීමට අදාළව සියලු‍ ලේඛන රැගෙන ජනවාරි 14 වැනිදා පාසලට එන ලෙස පාසල් බලධාරීන් විසින් දැනුම් දී තිබේ. 2019 ශිෂ්‍යත්ව ප්‍රතිඵල අනුව කොළඹ නාලන්දා විද්‍යාලයට සිසුන් 147ක් දෙනකු තේරී පත් වී සිට ඇති අතර, මෙම සිසුවා එම ලැයිස්තුවේ 125 වැනි තැනට පත් වී සිටියේ ය.

කෙසේ වෙතත්, ලිපි ලේඛන පරීක්ෂා කර බැලූ අදාළ කමිටුව විසින් සිසුවාගේ පියා හින්දු භක්තිකයකු වීම නිසා පාසලට ඇතුළත් කර ගැනීමට නොහැකි බව දැනුම් දී තිබේ. දරුවාගේ අස්වීම් සහතිකයේ දී බෞද්ධාගම හැදෑරූ බව සඳහන්ව ඇති බව සහ තමා බෞද්ධාගම්කාරියක බව දරුවාගේ මව පාසල් බලධාරීන්ට දැනුම් දුන්නා ය. ඒ කිසිවක් කනකට නොගත් පාසල් බලධාරීන් මවට දැනුම් දුන්නේ අධ්‍යාපන අමාත්‍යාංශයට ගොස් එහි පාසල් කටයුතු අංශයේ අධ්‍යාපන අධ්‍යක්ෂිකාවක බව කියන කමණි මහත්මිය හමු වන ලෙසයි. ඒ අනුව අමාත්‍යාංශයට ගිය විට අධ්‍යක්ෂිකාව දැනුම් දී ඇත්තේ, පියා හින්දු බැතිමතකු වන බැවින්, (සිංහල බෞද්ධ නොවන බැවින්) දරුවාට නාලන්දා විද්‍යාලය ලබා දිය නොහැකි බවයි. එසේ නම්, රාජකීය විද්‍යාලය හෝ ආනන්ද විද්‍යාලය ලබා දෙන ලෙස ඉල්ලා සිටිය ද එම පාසල් ද ලබා දීමට නොහැකි බව පවසා ඇති අධ්‍යක්ෂිකාව අවශ්‍ය නම්, ඩී. එස්. සේනානායක ලබා දෙන ලෙසට ලිපියක් ලබා දෙන්නැයි දැනුම් දී තිබේ.

“මම බෞද්ධ. මම බැන්දේ හින්දු කෙනෙක් කියලා මගේ ළමයට ඉස්කෝලේ දෙන්න බෑ කිව්වා. ඒ කිව්වේ දරුවත් ඉස්සරහා. මේක ද මේ රටේ නීතිය? ළමයින්ට දෙන ආදර්ශය මේක ද? මම දරුවත් ඉස්සරහ හරි ම අසරණ වුණා. ජාතිවාදය මේ තරම් ම පැතිරිලා ද කියලා මට තේරුණේ ඒ වෙලාවේ”

යැයි දරුවාගේ මව කීවා ය.

මේ සම්බන්ධයෙන් දරුවාගේ මාපියන් අධ්‍යාපන අමාත්‍යවරයාට මේ වන විට පැමිණිලි කර ඇති අතර, පසුගිය අඟහරුවාදා නිදහස් (4) දා වන තුරුත් දරුවාට පාසලක් ලැබී තිබුණේ නැත.

පියා හින්දු වීම නිසා දරුවකුගේ අධ්‍යාපන අයිතිය ඇහිරීමට නම්, මේ කියන පාසල් බලධාරීන් සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ බලධාරීන් කෙතරම් ම්ලේච්ඡ විය යුතු ද? දරුවාට පාසල ලබා දීමෙන් එහා ගොස් රටේ මූලික නීතිය උල්ලංඝනය කළ අධ්‍යාපන බලධාරීන්ට එරෙහිව ද නීතිය ක්‍රියාත්මක නොවුණහොත්, දිගින් දිගට ම මෙවැනි ජාතිවාදී සිදුවීම් සිදු විය හැකිය.

පුවත්පත මුද්‍රණයට යන අවස්ථාවේ වාර්තා වූයේ මේ දරුවාට කොළඹ, නාලන්දා විද්‍යාලයට පැමිණෙන ලෙස හදිසියේම දැනුම් දී ඇති බවයි. දරුවා බෞද්ධ යනුවෙන් සඳහන් දිවුරුම් ප්‍රකාශයක් රැගෙන එන ලෙස මුලදී පාසලෙන් දැනුම් දී ඇතත්, පසුව 05 වැනිදා පස්වරුවේ දැනුම් දී ඇත්තේ ඒ කිසිවක් අවශ්‍ය නැති බවයි


එරංගා ජයවර්ධන

One Comment

  1. නාලන්දයේ සිදුවූ දේකට ආනන්ද සහ රාජකීය විද්‍යාලවල නම් ඈදා ගත්තේ ඇයි?ඒ විදුහල් දෙකට පහරදීමටද?
    අනිත් පාසල් දෙක ගැන නොදන්නව වුනත් කොලබ ආනන්ද විදුහලේ උගත් මා ද ශිශ්‍යත්වය සමත්ව ආනන්දයේ උගත් ආදි ආනන්දොයෙක් වෙමි.
    මා උගත් ශිශ්‍යත්ව් පන්තියේ පලමු වසරේදී මුස්ලිම් සගයින් දෙදෙනෙකු විය.ක්‍රිස්තියානි සගයින් අඩුතරමින් 5ක් වත් සිටියා මතකය.පන්ති නායකයා වූයේද ක්‍රිස්තියානි ආගම අදහන සගයෙකි.වටිනාකම වන්නේ මේ සියලු දෙනාම බුද්දාගම පීරියඩ් එකේදී අපිත් සමග බුද්දාගම ඉගෙන ගැනීමය.ඒ අතර බයිබල් සංගමයකට බැදී ක්‍රිස්තියානි ආගම ඉගෙන ගන්නට මාද උත්සාහ කලෙමි.මේ ටික ලිව්වේ තමන්ගේ ආගම මිනිසුන් වෙන්කිරීමට යොදා ගැනීම මෝඩ ක්‍රියාවක් බව දැනුම් දීමටයි.අවසානයේ අපි සියල්ලෝම එකම මිනිසුන් වෙමු.කොරෝනා විසින් ඒ පාඩම ඉතා ඉහලින් මිනිස් සංහතියට උගන්වමින් සිටී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button