මේ දැවැන්ත වන විනාශයන් ගැන මාධ්‍ය හා පරිසර සංවිධාන නිහඬ ඇයි ?
පසුගිය වසරේ මා ලංකාවේ නිවාඩුවක් ගත කිරීමට පැමිණි පසු උතුරු ප්‍රදේශයේ කළ සංචාරය ගැන ජාතික පුවත්පතක් වෙනුවෙන් කරන ලද සම්මුඛ සාකච්ඡාවේ දී මා හෙළි කරනු ලැබුවේ, දැනට සිදු වන වන විනාශය නතර කිරීමට වත්මන් රජය වහා පියවර නොගතහොත්, මේ සියවස අගභාගය වන්නටත් පෙරාතුව ලංකාව කාන්තාරයක් විය හැකි බවයි. එසේ වුව ද, ගත් පියවරක් නැත.
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ලෝක වන දිනය වෙනුවෙන් කළ කතාවේ දී කියා සිටියේ, දැනට ලංකාවේ වනගහණය ඉතිරි වී ඇත්තේ, සියයට 28ක් බවත්, දැනට සිදු වන වන විනාශය අනුව වැඩි කල් නොගොස් කාන්තාරයක් විය හැකි බවයි. මා මීට පෙර කළ හෙළි කිරීමට සමාන අදහස් ඔහුගෙන් පළ වීම ගැන අගය කරන අතරම, ඔහු දක්වා ඇති ඉතිරිව ඇති වනගහණයේ ප්‍රතිශතය වැරැදි බව ද ප්‍රකාශ කළ යුතුය. ලංකාවේ විශ්වවිද්‍යාලයක විද්වතුන් ඉන්දියානු සරසවියක පරිසර විශේෂඥයකු සමඟ එකතුව කළ සමීක්ෂණයක දී හෙළිව ඇත්තේ, අප රටේ දැනට ඉතිරිව ඇති වනගහණය සියයට 16කටත් අඩු බවය.
සමහර සමීකෂණ වාර්තා අනුව වසරකට අප රටට අහිමි වන වන සම්පත හෙක්ටයාර් 26,800ක් පමණ වේ. එනම්, වසරකට කෙරෙන වන විනාශය අක්කර 66,200කටත් වැඩිය. මෙම තත්ත්වය තුළ තව කොපමණ කාලයක් අප රටේ සුන්දරත්වය පමණක් නොව ජීවනාලිය වන වන සම්පතට පැවතිය හැකි වේ ද? අප ජනාධිපති සිරිසේනගෙන් බලාපොරොත්තු වන්නේ ඔහුගේ දැනුම ප්‍රදර්ශනය කිරීම නොව ඒ සඳහා ගත යුතු කඩිනම් හා ප්‍රායෝගික පියවර ගැනීමයි. පරිසර ඇමතිවරයා ද වන ඔහු මේ පිළිබඳව දක්වන උදාසීන පිළිවෙත අදහා ගත නොහැකි ය. අප රටේ අතීත ශ්‍රේෂ්ඨ රජවරු වසර දහස් ගණනක අනාගතය ගැන සිතා ඉදි කළ වැව් අමුණු අද දක්වාමත් රටවැසියාගේ ජීවනාලිය වන අතර, එම ජීවනාලිය හෘදයවස්තුව හා ශ්වසන පද්ධතිය මෙන් බද්ධ වී ඇත්තේ, වන සම්පත සමඟ බව ඓතිහාසික පොළොන්නරු පුරවරයේ ගොවි පවුලකින් පැවත එන සිරිසේන මහතාට අමුතුවෙන් කිව යුතු නොවේ. වැව් රකෂිතවල වන පෙත් එළි කෙරෙමින් කෙරෙන අනවසර පදිංචි වීම් ගැන ඔහු නිහඬය.
අප රටේ මෑත ඉතිහාසයේ සිදුව ඇති දැවැන්ත ම වන විනාශය සිදුව ඇත්තේ, 2009දී අවසන් වූ යුද්ධයෙන් පසුවය. 2011 වසරේ මහින්ද රාජපකෂ රජයෙන් බහුජාතික සමාගමක් වන ‘ඩෝල්’ සහ තවත් සමාගමකට කෙසෙල්, උක් වැනි වගාවන් සඳහා අක්කර 65,000ක වන බිම් ප්‍රමාණයක් ලබා දුන් බව ‘සන්ඩේ ලීඩර්’ පුවත් පතෙහි වාර්තා කර තිබිණි. එය එසේනම්, මහා ගස් කපා හිටවුණේ කෙසෙල්, උක්ගස් නොවේ ද?
පසුගිය වසරේ මා ලංකාවට ගිය විට උතුරු ප්‍රදේශයේ කළ සංචාරයේ දී වව්නියාවේ දී හමු වූ මිත්‍රයෙක් බෝගස්වැවට ගොස් කර ඇති විනාශය බලා ගන්නා ලෙස මගෙන් ඉල්ලා සිටියේය. ඒ අනුව මා මහින්ද රාජපක්ෂ සමයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂගේ මූලිකත්වයෙන් ඉදි කළ බෝගස්වැව ජනපදය බැලීමට ගොස් එහි පදිංචිකරුවන් හමු වී ඔවුන්ගේ දුක්ගැනවිලි දැනගතිමි. මෙම ගම්මානය ඉදි කිරීම සඳහා වසර දහස් ගණනක් නොඉඳුල් කැලෑ ලෙස පැවැති අක්කර 2,000කට වැඩි භූමි භාගයක් විනාශ කොට ඇත. වව්නියාව ප්‍රදේශවාසීන් පළ කරන්නේ මෙය දැව ජාවාරම්කරුවන්ගේ මනදොළ සැපිරීමක් ලෙස ය. මෙහි නිවාස නැති පවුල් 2,000ක් පදිංචි කිරීමේ සැලැස්ම යටතේ එක් පවුලකට අක්කරය බැගින් ලබා දී පවුල් සුළු සංඛ්‍යාවකට පමණක් නිවාස ඉදි කර දී තිබිණි.
ඔවුන් ජීවත් වන ක්‍රමය පිළිබඳව කිසි ම සැලැස්මකින් තොරව කළ මෙම පදිංචි කිරීම තුළ ඔවුන් පත් වූ අසරණභාවය ඔවුන්ගේම වචනවලින් මෙසේය ”මේ ජනපදයට ඇවිල්ලා තියෙනවා, ලංකාවේ නොයෙකුත් පළාත්වල අය. තමන්ගේ ගමේ ඉඩමක්, ගෙයක්, දොරක් නැති සිංහල අය අපිට කිව්වේ, පදිංචියට අක්කරයකුයි, වගා කර ගන්න අක්කර දෙකකුයි දීලා ගෙයක් හදලා දෙනවා කියලා. නමුත්, ආවට පස්සේ අපටගේ හදා ගන්න කියලා ටකරන් දොළහකුයි, මාස හයක් යනකම් සලාක මල්ලකුයි දුන්නා. දැන් මොකවත් නැහැ. ජීවත් වෙන්න කුළී වැඩ කරන්න ඈත ගම්මානවලට යනවා. හැමදාම කුළී වැඩත් නැහැ.මේකට මූලිකත්වය ගත්තේ, නාමල් රාජපකෂ මන්ත්‍රීවරයා, හිටපු ජනාධිපතිගේ පුතා. එයාගේ නමෙන් මෙහේ ගම්මානයක් තියෙනවා, නාමල්ගම කියලා.’
සැබැවින්ම මෙය ජාතික අපරාධයක් නොවේ ද? උතුරේ කළ සංචාරයේ දී දැනටම කාන්තාර බිහි වෙමින් ඇති ප්‍රදේශ මම දුටුවෙමි. 21 වැනි සියවසේ ජීවත් වන මිනිසුන්ගේ නිවාස පැනයට ඇති විසඳුම කැලෑ කපා රට විනාශ කිරීම නොව මහල් නිවාස ඇතැම් විට තට්ටු පනහකටත් වැඩි මහල් නිවාස සාදා භූමිය පිරිමසා ගැනීමයි. ලංකාව සමඟ සැසැඳූ විට අතිශය විශාල රටක් වූ චීනයේ ඉඩම් පිරිමැස්ම සඳහා ගම්මාන මට්ටමේ සිට මහල් නිවාස ඉදි කරයි. යුරෝපයේ මා සංචාරය කළ හැම රටක ම මෙම තත්ත්වය දුටුවෙමි. ඒ අනුව නිවාස ඇමති, සජිත් ප්‍රේමදාස ගෙන යන නිවාස වැඩපිළිවෙළ වෙනස් කිරීමට ජනාධිපති සිරිසේන මඟපෙන්විය යුතු නොවේ ද?
බෝගස්වැව පදිංචිකරුවන් සඳහා සුදුසු ම විසඳුම එයයි. එසේ නොවන්නට වගා කිරීමට තවත් අක්කර දෙකක් යන්න පවුල් 2,000කට අක්කර 4,000කට වන විනාශයයි.
අප රටේ පරිසරයට සිදු වී ඇති දැවැන්ත හානිය මහ පොළොව කම්පා වන හඬකින් හඬ නඟා කියනුයේ, අලි – මිනිස් ගැටුමයි. මෙම ගැටුම හේතුකොටගෙන වසරකට අලින් 250කට වැඩි සංඛ්‍යාවකට ජීවිත අහිමි වන අතර, අලින්ගේ පහර කෑමට ලක් වන ගැමියෝ සියයකට ආසන්න පිරිසක් වාර්ෂිකව මරණයට පත් වෙති. මෙම ගැටුම්වල නිර්මාතෘවරයා මිනිසා වන අතර, මෙහි වගකීම සම්පූර්ණයෙන් ම භාර ගත යුත්තේ, මෙතෙක් පැවැති රජයන් මෙන් ම වත්මන් රජය ද වේ. එසේ වුව ද, ජනාධිපතිවරයා ඒ ගැන නිහඬය. වනසතුන්ගේ වාසභූමි රැක දීම රජයක වගකීම විය යුත්තේ ය. මා උතුරේ කළ සංචාරයේ දී අත්දුටු තවත් දෙයක් වූයේ එල්ටීටීඊය සමඟ පැවැති 30 අවුරුදු යුද්ධයේ වෙස්වලාගත් ආශීර්වාදයක් ලෙස නැවත පණ ලබා තිබූ වනපෙත්ය. සිතුමනාපයේ, ඉබාගාතයේ හේන් ගොවිතැන් සඳහා හෙළි කළ බිම්වල ද ගණ කැලෑ වැවී තිබිණි. යුද්ධයේ නිමාවත් සමඟ පැවැති ආණ්ඩුව කළ වන විනාශයන් සමඟ අලි-මිනිස් ගැටුම් දිගින්දිගටම උග්‍ර වී ඇත. වත්මන් ආණ්ඩුව අක්කර 5,000 බැගින් විදේශ ආයෝජකයන්ට ලබා දීමට වන පොරොන්දුව තුළ ශ්‍රී ලංකාවේ අනාගතය කෙසේ වේ ද?
ආචාර්ය රාජසිංහ බණ්ඩාර