දේශපාලන

අතුරුදහන් වූවන් ලෙස සැලකෙන අය මැරිලා…. ඉදිරියේදී මරණ සහතික දෙනවා….

යුද්ධයේදී අතුරුදහන් වූ 20,000 කට අධික පිරිසක් මියගොස් ඇති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ප්‍රථම වරට පිළිගෙන තිබේ.

ගෝඨාභය රාජපක්ෂ මේ බව ප්‍රකාශ කර ඇත්තේ කොළඹදී එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක හනා සිංගර් සමඟ පැවති සාකච්ඡාවකදීය. ඒ අනුව අතුරුදහන් වූවන් සඳහා මරණ සහතික නිකුත් කිරීමට පියවර ගන්නා බවට ජනාධිපතිවරයා මෙම සාකච්ඡාවේදී පැවසු බව ජනාධිපති කාර්යාලයෙන් නිකුත් කළ නිවේදනයක දැක්වේ.

එසේම ගෝඨාභය රාජපක්ෂ එක්සත් ජාතීන්ගේ නියෝජිතයා සමඟ පවසා ඇත්තේ අතුරුදහන් වූවන්ගෙන් වැඩි දෙනෙකු LTTE සංවිධානයට බලහත්කාරයෙන් බඳවා ගත් අය බවයි.

අතුරුදහන්වූවන්ගේ පවුල්වල සාමාජිකයන් තම අතුරුදහන් වූ ඥාතීන්ට සිදුවූ නොදන්නා නිසා ඔවුන් අතුරුදහන් වූ බව පවසන බවද ගෝඨාභය රාජපක්ෂ පවසා ඇත.

අතුරුදහන් වූවන්ගේ පවුල් සිය ගණනක් සිය ආදරණීයයන් සොයා දෙන ලෙස ඉල්ලා උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවල උපවාසයේ යෙදෙමින් සිටියි. ඔවුන් පවසන්නේ තම ඥාතීන් යුද්ධය අවසාන මොහොතේ තමන් විසින්ම හමුදාවට භාර කරන ලද බවයි. එසේම එලෙස භාරදුන් ඇතැම් පුද්ගලයන් පුනුරුත්ථාපන කඳවුරුවල සිටි බවට සාක්ෂි ද ඔවුන් ඉදිරිපත් කර තිබේ. නමුත් එම පුද්ගලයන්ට සිදුවූවේ කුමක්ද යන්න හෙළිකිරීමට කිසිදු ආණ්ඩුවක් කටයුතු නොකරන ලදී. එපමණක් නොව අතුරුදහන්වූවන් සම්බන්ධයෙන් ගොනු කර ඇති නඩු කටයුතු හිතා මතා අවහිර කිරීමටද ආණ්ඩු කටයුතු කරන ලදී. ජනාධිපතිවරණයට පෙර මාධ්‍ය හමුවකට එක්වෙමින් ගෝඨාභය රාජපක්ෂ පැවසුවේ හමුදාවට භාරවූ 13000ක පමණ පිරිස පුනුරුත්ථාපනය කර සමාජ ගතකර ඇති බවත් තවත් පිරිසක් විවිධ රැකියා සඳහා යොමු කර ඇති බවත්ය. එසේම තමන් හමුදාව මෙහෙයවූවේ නැති බවද ඔහු එහිදී පවසන ලදී. දැන් අතුරුදහන්වූවන් මියගොස් ඇති බව ගෝඨාභය රාජපක්ෂ පවසන්නේ නම් ඔවුන් මිය ගියේ කෙසේද ඔවුන්ට සිදුවූවේ කුමක්ද යන්න ගැන හෙළිකළ යුතු වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button