දේශීය

සතුට උතුම්ම ධනයයි

සතුට උතුම්ම ධනයයි.
සන්තුට්ඨි පරමං ධනං
(ධම්ම පදය)

ඔබ කුමන ආගමකට අයත් පුද්ගලයෙක් වුවත් මනස යනු ඔබ තේරුම්ගත යුතු ඉතාම වටිනාම සිද්ධාන්තයකි. මනස යනු ඔබ ලද ලොකුම භාග්‍යකි. මනස පූර්ණ චන්ද්‍රයා ලෙස ද ඔබ ලද ලොකුම ආලෝකය ‍ලෙස ද සිතන්න. (“මනෝ පුබ්බංගමා ධම්මා මනෝ සෙට්ඨා මනෝමයා“)

මෙලොව ජීවත් වන සියලුම මිනිසුන් කරන, කියන සෑමදෙයක්ම මනස මූලික කර ගෙන සිදු කරයි. සියල්ලෙහිම මුල් පුරුක වන්නේ මිනිස් මනසයි. මිනිස් මනස අන් සියල්ලන්ගෙන්ම ඉදිරියෙන් සිටියි. ආත්මාර්ථකාමී ගති ගුණවලින් යුතු පුද්ගලයා පරාර්ථය කරා කැප වන්නේද මනස තුළින් ව්‍යාජව නිර්මාණය වූ චේතනාවන් අතික්‍රමණය වූ අවස්ථාවන්හිදීය.

පුද්ගලික වශයෙන් හා සාමූහික වශයෙන් අන්‍යයන් සමඟ කටයුතු කිරීමේ දී තම මානසික නිරවුල් භාවය ඒකාකාරීව පවත්වා ගෙන යෑම තරමක් අපහසු කටයුත්තකී. එමෙන්ම විවිධ පුද්ගලයින්ගේ නොහොබිනා හැසිරීම් හා ක්‍රියා කලාපයන් නිසා ගෘහස්තව පමණක් නොව කාර්යාලීය පරිසරය තුළත් මිනිසුන් මානසිකව පීඩා විඳින ආකාරය දැක ගත හැකිය.

මානසික පීඩනය උපරිම අවස්ථාවට පත්වූ විට පුද්ගලයා තමා පීඩනයට පත්ව ඇති කාරණය සම්බන්ධයෙන් අධික වශයෙන් දුකට පත් වීමට ඉඩ ඇත.   එහි දී එම දුක ඔහු හෝ ඇය සිය දිවි හානි කර ගැනීම, අත් පා කපා ගැනීම නැතිනම් තවත් පුද්ගලයෙකුගේ ජීවිතයක් මානසිකව හෝ කායිකව පීඩාවට පත් කිරීමට උත්සහ කරන ආකාරයත් දැකගත හැකිය.

ගෘහාශ්‍රිතව විවාහ ගිවිස ගැනීම් වලදී දෑවැද්ද ලබාදීම, පවුල් සම්බන්ධතා බිඳ වැටෙන අවස්ථාවලදී, හා ප්‍රේම සම්බන්ධතා බිඳවැටීයාමේදී මෙන්ම පවුලේ ඥාතීන් අතර ඇතිවන සුළු අමනාපකම්, බහින්බස්  වීම් හා බැනවැදීම් නිසාද න්‍යෂ්ටික හා විස්තෘත පවුල් බෙදී වෙන්වී වසර ගණනාවක් දක්වා දුරස්ථව පාරම්පරික සතුරන් ලෙසින් සිටින ආකාරයක් වර්තමානයේ දී දැකගත හැක.

මානසික පීඩනය හටගැනීමට හේතූන් කිහිපයක් ලෙස,

  • අනාරක්ෂිතබව. (ආර්ථික හෝ වෙනත් හේතූන්)
  • කාර්යබහුලකම.
  • නොරිස්සුම් සහගත බව.
  • අන්‍යයන් සමග එකට එක්ව කටයුතු කිරීමට ඇති නොහැකියාව.
  • තම අතීතය පිළිබද වේදනාකාරී අත්දැකීම්.
  • තමාට තමා පිළිබඳව ආත්ම විශ්වාසයක් නොමැති වීම.
  • කායික හා මානසික වශයෙන් තමා ශක්තිමත් නොවීම.
  • අන්‍යයන්යේ දියුණුව කෙ‍රෙහි ඇති නොරිස්සුම් සහගත තත්ත්වය.
  • ඝෘණාත්මක ආකල්ප.

මානසික පීඩනය නිසා ඇතිවන ප්‍රතිවිපාකයන් ලෙස,

  • සෞඛ්‍ය ගැටලු.
  • මානසික විඩාව.
  • නින්ද නොයෑම.
  • මානසික අවපීඩනය.
  • සබඳතා පලුදු වීම
  • නිතර කේන්ති යෑම.
  • හිස් බව.
  • ලිංගික අතෘප්තිය.
  • අන්‍යයන් සමඟ කථා බහ කිරීමට හෝ තම දුක බෙදා ගැනීමට අකමැති වීම.

මෙතැන සඳහන් ප්‍රතිවිපාක වලට අමතරව, එකිනෙකාට වෙනස්වන ප්‍රතිවිපාකද දකින්නට ඉඩ ඇත

මානසික පීඩනය පාලනය කිරීමට නම්,

එක් එක් පුද්ගලයා පීඩනයට මුහුණ දෙන විදිහ එක‍නෙකට වෙනස්ය. එක් අයෙකුට පීඩනයක් වන දෙයක් තව අයෙකුට පීඩනයක් නොවන්නට පුළුවන්. එදිනෙදා වැඩවලදී අපට පීඩනයක් දැනෙනවා නම් නොහිතපු දෙයකට මුහුණ දෙන්න සිදු වුණොත් දැනෙන පීඩනය අපට කිසිසේත්ම දරාගත නොහැක.

සමහරු මත්පැන්, මත්ද්‍රව්‍ය හා දුම්වැටි වැනි දේවල්වලින් පීඩනය අඩු කරගන්න උත්සාහ කරයි. තවත් අය අසාමාන්‍ය විදිහට ආහාර අනුබව කරයි. එසේත් නැත්නම් පැය ගණන් රූපවාහිනිය හෝ පරිගණකය ඉදිරිපිට සිටී. නමුත් ඒවායින් පීඩනය වැඩි යවනවා මිසක් අඩු වෙන්නේ නැත.

මානසික පීඩනනයන් මිඳීමට නම්, උපදේශනය (Counseling) යන්න අපට තරමක් නුපුරුදු ක්‍රියාවලියක් වුව ද, වර්තමානය වනවිට එය ලාංකීය සමාජය තුළ ක්‍රමයෙන් ජනප්‍රිය වෙමින් පවතී. උපදේශනය මගින් කිසිවිටකත් පුද්ගලයාට උපදෙස් දීමක් සිදු කරන්නේ නැහැ. උපදේශනයේදී පුද්ගලයා කෙරෙහි අවධානය යොමු කොට ඔහුගේ ගැටලු හඳුනාගැනීමත්, එතුළින් සිය ගැටලුව නිරාකරණය කර ගැනීමට අවශ්‍ය මඟ පෙන්වීම සහ ශක්තිය ලබා දීමත් සිදු කරනු ලබනවා. මානසික ගැටලු සඳහා උපදෙස් ලබාදීම මනෝවිද්‍යාත්මක උපදේශනය (Psychological counseling) ලෙස හඳුන්වනවා. උපදේශනය මුළුමනින්ම පාහේ විද්‍යාත්මක ක්‍රමවේදයක්. එහිදී පුද්ගලයා කෙබඳු තත්ත්වයක සිටියද ඔහු දෙස විවේචනාත්මකව නොබලයි. ඔහු වරදකරුවෙක්, අපරාධකරුවෙක් ආදී ලෙසින් විනිශ්චයකට ලක්කරන්නේ ද නැත. උපදේශනයේදී, උපදේශනය සඳහා ලක්වන ඕනෑම පුද්ගලයකු ඉතා ගෞරවනීය පිළිගැනීමකට ලක් කරනු ලබයි. එමෙන්ම ඔහුගේ ගැටලු දෙස මානුෂවාදී මුහුණුවරකින් බැලීමත් එම ගැටලු විද්‍යාත්මකව විශ්‍ලේෂණය කොට ගැටලු වලට මුහුණ දීමට සහ ඒවා නිරාකරණය කර ගැනීමට අවශය මඟ පෙන්වීම සහ ශක්තිය ලබාදීමත් උපදේශනය මගින් සිදු කරයි.

ඇමරිකාවේ මානසික සෞඛ්‍ය පිළිබඳ ආයතනයක් මානසික පීඩනය ගැන මෙසේ පවසයි. “වයලීනයක් වාදනය කරද්දී එහි තත්වල ආතතිය අඩු වුණොත් ඇති වන හඩෙහි රසයක් නැත. එමෙන්ම තත්වල ආතතිය වැඩි වුවත් හඩෙහි රසයක් නැත. තත් කැඩෙන්නටද ඉඩ තිබේ. මානසික පීඩනයත් ඊට සමානය. අධික පීඩනය ජීවිතයට අනතුරකි. ඒත් යම් තරමක පීඩනයක් දැනීම ජීවිතයට ප්‍රයෝජනවත්ය. පීඩනය අඩුත් නැතිව වැඩිත් නැතිව පවත්වා ගන්නා ආකාරය අප දැන ගත යුතුයි.”

ජීවිතය යනු ඒකාකාරී දෙයක් නොවේ. විවිධ  ගැටලු, හැල හැප්පීම් මැද ගලන ජීවිතයට මානසිකව හා කායිකව දැනෙන විවිධ වූ අපහසුතා නැති නම් පීඩාවන් නිසා පුද්ගලයෙකු තම ජීවිතයෙන් වන්දි ගෙවයි නම් ඔහු දුර්ලබ වූ මිනිස් ජීවිතයේ රසය භුක්ති විඳීමට සුදුසු තැනැත්තෙකු නොවේ. කොතරම් බාධක පැමිණියත් ආත්ම ශක්තිය හා ආත්මාභිමානයෙන් යුත් පුද්ගලයා තම ජීවිතය අති සාර්ථක කර ගන්නා ආකාරයත් අනුන්ට උපකාර කරමින් ආත්ම තෘප්තියක් ලබා ගන්නා ආකාරය පිළිබඳව නිදසුන් බොහෝමයක් අප ජීවත් වන එදිනෙදා පරිසරයේ ද දැක ගත හැක.

ඔක්තෝම්බර් මස 10 වන දිනට යෙදෙන අන්තර් ජාතික මානසික සෞඛ්‍ය දිනය වෙනුවෙන් පවුල් පුනරුත්ථාපන කේන්ද්‍රය සහ ශ්‍රි ලංකා සංවර්ධන ජනමාධ්‍යවේදී සංසදය එක්ව යුරෝපා හවුලේ ආධාර ඇතිව දියත් කෙරෙන මානසික‍ සෞඛ්‍ය පිළිබඳව ප්‍රජාව දැනුවත් කිරීමේ වැඩසටහන පාදක කරගනිමින් ඉහත ලිපිය සම්පාදනය කොට ඇත. එමෙන්ම සමාජ මධ්‍ය පරිශීලකයින් ඉලක්ක කොට ගනිමින් තවත් එවැනිම වැඩසටහනක් ඔක්තෝම්බර් මස 10 වන දින දක්වා ක්‍රියාත්මක වන අතර #SDJF #FRC #OneMonth2MIND යන ‍යෙදුම ඔස්සේ ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු දැනගත හැකිය.


අයි.කේ ප්‍රභා

Leave a Reply

Your email address will not be published.

සබැඳි ලිපි

Back to top button