දේශපාලන

ගෝඨාගේ පුරවැසිභාවය ගැන අභියාචනාධිකරණ සම්පූර්ණ තීන්දුව තවමත් නෑ….

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ද්විත්ව පුරවැසිභාවය පිළිගැනීම වළක්වාලන ලෙස ඉල්ලමින් මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර සහ ගාමිණී වියන්ගොඩ යන මහත්වරුන් විසින් අභියාචනාධිකරණයේ ගොනු කරන ලද රීට් පෙත්සමට අදාළ සම්පූර්ණ තීන්දුව ඊයේ (07) දිනයේ ප්‍රකාශයට පත්වීමට නියමිතව තිබුණු නමුත් එය සිදු කෙරී නොමැත.

මෙම පෙත්සම දින තුනක් තිස්සේ සලකා බැලීමෙන් අනතුරුව පසුගිය 04 වනදා පස්වරු 06.00ට එහි තීන්දුව ප්‍රකාශයට පත් කරමින් අභියාචනාධිකරණයේ සභාපති යසන්ත කෝදාගොඩ මහතා පැවසුවේ පෙත්සම ප්‍රතික්ෂේප කරන බවත් කාල වේලාව මඳ බැවින් ඒ සඳහා කරුණු දැක්වීම සහිත සම්පූර්ණ තීන්දුව සඳුදා, එනම් 07 වනදා ප්‍රකාශයට පත් කරන බවත්ය.

07 වනදා නාමයෝජනා කැඳවීමට නියමිතව තිබුණු හෙයින් එහිදී ගෝඨාභය රාජපක්ෂ මහතාට බාධාවක් එල්ල වීම වැළැක්වීම සඳහා කඩිමුඩියේ තීන්දුවක් ප්‍රකාශයට පත් කළ ද ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වීමට අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ලට තවමත් හැකියාවක් නොමැති බව පෙනේ.

විශේෂයෙන් මෙම පෙත්සම් විභාගයේදී මතුවූ ජනාධිපතිවරයාගේ විධායක බලය පිළිබඳ කරුණ අනාගතය සඳහා ද ඉතාම තීරණාත්මක ලෙස බලපෑමට නියමිත බැවින් සහ නීතිමය ක්‍රියාමාර්ග තඹයකට නොතකා කටයුතු කරන පුද්ගලයකුට ඒ කිසිත් නොතකා ජනාධිපතිවරණයට පවා ඉදිරිපත්වීමේ හැකියාව ලැබීම රටේ අනාගතයට දැඩි බලපෑමක් කරන බැවින් මෙය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ නැවත අභියෝගයට ලක් වීමට නියමිතය.

එහෙත් අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ල සම්පූර්ණ තීන්දුව ප්‍රකාශයට පත් කරන තෙක් පෙත්සම්කාර පාර්ශ්වයන්ට ඊට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියාචනයක් ගොනු කිරීමට නොහැක.

තීන්දුව ප්‍රකාශයට පත්කිරීමට පෙර විනිසුරුවරුන්ට ද බලපෑම් එල්ල වී තිබුණු බවට වාර්තා වී ඇති පසුබිමක් තුළ පෙත්සමේ සම්පූර්ණ තීන්දුව තවත් ප්‍රමාද වීම ගැටළුකාරී බවත් මේ පසුපසත් යම් කුමන්ත්‍රණයක් පවතින්නෙදැයි සාධාරණ සැකයක් මතුවන බවත් නීති ක්ෂේත්‍රයේ ආරංචිමාර්ග සඳහන් කරයි.


ලංකා නිව්ස් වෙබ් ඇසුරින්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button