දේශීය

අසනීප වුනු පුතා බලන්න ආ තාත්තාට හමුදාවෙන් වෙඩි තබයි

ගාල්ලේ අක්මීමන උපනන්ද කණිෂ්ඨ විදුහලේ ආරක්ෂාවට යොදා සිටි සෙබළෙකු අතින් සිසුවෙකුගේ පියෙකු වෙඩි වැදී මරණයට පත්වීමේ සිදුවීමක් ඊයේ(4) දහවල් වාර්තා විය. විදුහලේ ආරක්ෂාවට සෙබළුන් දෙදෙනෙකු යොදා තිබූ අතර අද දහවල් 12.45 ට පමණ වෙඩි තැබීම සිදුව ඇත. එය සිදුකළ යුද හමුදා සෙබලා පවසා ඇත්තේ උපනන්ද විදුහලට බලහත්කාරයෙන් ඇතුළුවීමට උත්සාහ කළ පුද්ගලයෙකුට වෙඩි තැබූ බවයි.

මියගිය පුද්ගලයා සිය දරුවා අසනීප වී යැයි පාසලෙන් ලැබුණූ දුරකථන ඇමතුමක් අනුව පාසලට පැමිණි අයකු බව පවසා ඇති නමුත් පරික්ෂා කිරීමට අවශ්‍ය යයි දැන්වූ විට එය ගණනකට නොගෙන සෙබළාගේ ගිනි අවිය පවා උදුරාගන්නට තැත් කළ බවත් පසුව බලෙන් ඇතුළුවූ බවත් සෙබළා දන්වා ඇත. ඒ අනුව මෙම පුද්ගලයාට සෙබළා වෙඩි තබා ඇත.

වෙඩි තැබීමකින් තුවාල ලැබූ පුද්ගලයා කරාපිටිය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කිරිමෙන් පසු මිය ගිය බව අක්මීමණ පොලිසිය කියයි.

වෙඩි තැබීමෙන් මියගොස් ඇත්තේ 39 හැවිරිදි විදුහලේ සිසුවෙකුගේ පියෙකු වන අතර නාවික හමුදා තූර්ය වාදක කණ්ඩායමේ හිටපු සාමාජිකයෙකු බවටද හඳුනාගෙන ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් සැකකාර හමුදා සෙබළා අත් අඩංගුවට ගෙන ඇත.

අක්මීමණ පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණ සිදුකරයි.


නිරායුධ පුද්ගලයෙකුව මර්ධනය කිරීම සඳහා මිය යන්නට වෙඩිල්ලක් තැබීම සාධාරණ ද? යයි අපි අසන්නට කැමැත්තෙමු. සමහර අවස්ථාවලදී ආරක්ෂක අංශ ඉතාම දැඩි සහ සමහර විට අනවශ්‍ය ලෙස තම බලය පාවිච්චි කරන අයුරු අප දැක ඇත්තෙමු. නමුත් මහජනතාව ඊට එරෙහිව කතා නොකරන්නේ සමහරවිට ආරක්ෂක අංශවලට ඇති බය නිසා විය හැකිය. මේ එවැනි අවස්ථාවකි. ආරක්ෂාව අත්‍යවශ්‍ය බව ඇත්තකි. නමුත් තමන් ආරක්ෂක අංශයේ යයි ඔලුව උදුම්මාගෙන බලය අනිසි ලෙස පාවිච්චි කිරීම සුදුසු නොවේ.

මේ පිළිබඳව නිවැරදිව සොයා බලා නීතිය හරිහැටි ක්‍රියාත්මක වන්නේ නම් අප සතුටුය. එම සෙබලා වැරදි කරු වුවහොත් “රණවිරුවන් හිරේ දානවා….” යයි පවතින ආණ්ඩුවටත්, නීතියටත් බැන වදින ගෝත්‍රික මිනිසුන්ටත් රණවිරුවා සහ ඝාතකයාගේ වෙනස හඳුනා ගැනීමට හැකි ලෙස බුද්ධිය වැඩේවා යයි අප ප්‍රාර්ථනා කරන්නෙමු.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button