දේශීය

කාදිනල්ට කතෝලිකයෙකුගෙන් විවෘත ලිපියක්

ගරු කාදිනල් තුමනි,

පසුගිය අප්‍රියෙල් 21 ශ්‍රීලංකාවේ සිදුවූ ම්ලේච්ඡ ත්‍රස්තවාදී ප්‍රහාරයේදී ඔබවහන්සේගේ පෙර හා පසු හැසිරීම් පිලිබඳව සෘජුවම හා විවෘතව ඔබ ඇමතීමට සිතුවෙමි. මෙය ලියන මමද කතෝලිකයෙකි. දේවස්ථාන වල ඉදිරිපෙල නියෝජනය නොකලද, පසුපෙලේ සිට ජේසු තුමන් වදාල ධර්මය හැදෑරීමට හා ඒ අනුව ජීවත් වීමට උත්සාහ දරන්නෙක්මි. පසුගිය පෙබ්‍රවාරි 10 ඉරුදින මිලානෝ ශ්‍රීලංකා කතෝලික සංඝයේ දේවමාතා මංගල්ලයේදී එම මෙහෙය සිදුකල ගරු නෙවිල් ජෝ පෙරේරා මාහිමිපාණන් විසින් දේශනය ආරම්භයේ දී, එදින දිව්‍ය පූජාවේ පළමු කියවීම මතක අය අත් ඔසවන්න යැයි කී විට මා අත එසැවූයෙමි.පසුව බලන විට තුන් හාරසීයක් ජනයා අතරේ එසැවී ඇත්තේ එක් අතකි. මෙය කීවේ මා කුමන ප්‍රභේදයට අයත් කතෝලිකයෙක්දැයි පෙන්වා දීමටය.

ගරු කාදිනල් තුමනි,

එදා ඒ අති අමානුෂික ප්‍රහාරය සිදුවූ විගස ඔබවහන්සේ අප රටේ කතෝලික නායක එඬේරානන් ලෙස ක්‍රියා කල ආකාරය අති විශිෂ්ඨය, ප්‍රශංසනීයය. එසේ නොමැති වූයේ නම් තවත් කලු අප්‍රියෙල් මාසයක ඉතිහාසයක් අපට ඉතිරි වී රටට මහා විනාශය ක් සිදුවනු නොඅනුමානය. ඒ ගැන අපගේ ගෞරවාදරය ඔබ වහන්සේට නිතැතින්ම හිමිවේ.

එහෙත් අවාසනාවකට මෙන් ඒ ගෞරවනීය තත්වයෙන් මිදී, නුවරට ගොස් අන්තවාදී භික්ෂුවකගේ ධාර්මික නොවන ක්‍රියාවකට සහාය දැක්වීම පුදුම සහගතය. එපමණක් ද නොව අද ඔබවහන්සේ කරමින් සිටින පක්ෂ ග්‍රාහී දේශපාලනය ඔබවහන්සේගේ තරාතිරමට ගැලපෙන්නේ දැයි මා ප්‍රශ්න කරමි.ආගමික නායකයෙකු හට දේශපාලනය කතාකිරීමේ හෝ විවේචනය කිරීමේ බාධාවක් නොතිබිය යුතුය. නමුත් එසේ කිරීමට වැදගත් ශිෂ්ටසම්පන්න ක්‍රම කොතෙකුත් ඇත. ඔබවහන්සේගේ නිල මැදුරටම රූපවාහිනී හෝ වෙනත් මාධ්‍ය ගෙන්වා ප්‍රවෘත්ති සාකච්ඡා මාර්ගයෙන් ඔබ වහන්සේට රිසි පාර්ශවයන් විවේචනය කිරීමේ හැකියාව ඇත.

කතෝලිකයාගේ දිව්‍ය පූජාව යනු යාගයකි. දේශනය යනු ඒ උතුම් යාගයේ කොටසකි. එම කොටස තම පටු දේශපාලනය වෙනුවෙන් භාවිතා කිරීම අපට අනුමත කල නොහැකිය. එහෙත් ගරු කාදිනල් තුමනි, ඔබ පක්ෂ පාතීත්වය දරන රජය, එකල හලාවතදී ඇන්තනීවත් කටුනායකදී රොෂේන්වත්, රතුපස්වලදී තවත් පිරිසකුත් වැලිකඩ සිරගෙදරදී සිරකරුවන් 27 දෙනෙකුත් අමු අමුවේ ම්ලේච්ඡ අන්දමින් මරා දමන විට රතුපස්වල පල්ලියට හා සුරුවම් වලට වෙඩි වදින විට ඔබවහන්සේ ක්‍රියා කල නිහඬ පිලිවෙත හා අද ක්‍රියාකාරකම් අතර ඇත්තේ බරපතළ වෙනසකි. එදා ඒ මිනීමැරීම් කලේ එදා පැවති රජයෙනි. අප්‍රියෙල් 21 ප්‍රහාරය සිදුකලේ වත්මන් රජය නොව ත්‍රස්තවාදී කන්ඩායමකිනි. මෙහි පූර්ව දැනුම්දීම් රජය නොසලකා සිටීමේ වගකීමෙන් මිදීමට ඔවුන්ට කිසිසේත්ම නොහැකිය. ඒ පිලිබඳව සොයා බැලීමට පත් කර ඇති පාර්ලිමේන්තු තේරීම් කමිටුවේදී රටේ ආරක්ෂක ප්‍රධානියෙක් මෙසේ කියනු අපි දුටුවෙමු.

“මට ජනාධිපති තුමා කිව්වා ඔබ මෙහි වගකීම භාරගෙන ඉල්ලා අස්වෙන්න, නැත්නම් මට ලොකු ප්‍රශ්නයක් වෙනවා. මා ඔබට විදේශ තානාපති ධූරයක් ලබා දෙන්නම්”

ඉතින් කාදිනල් තුමනි මෙය ඔබ නොදන්නේද, මේ වරදකරුවා ඔබට ඉලක්ක නොවන්නේ මන්දැයි මා ඔබෙන් ප්‍රශ්න කරමි. ඔබ විවේචනය කල යුත්තේ වරද මිස ඔබට සිතැඟි පාර්ශ්වය නොවන බව ඔබට නොසිතෙන්නේ මන්ද?.

ඔබ වහන්සේගේ දේශපාලන පක්ෂග්‍රාහීත්වය පිලිබඳව අපට කොතෙකුත් නිදසුන් තිබේ. එදා ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් සෑදූ කුමන්ත්‍රණ ආන්ඩුවේ හොර අගමැතිට ඔබ ක්ෂනිකවම දුවගොස් සුබ පැතූ ආකාරයත්, කතෝලික සභාවේ මිශ්‍ර විවාහයන්හි නීති හා සම්ප්‍රදායන් ඉවතට විසිකොට ඔබ විසින් හිටපු ජනපති පුත්‍රයාගේ විවාහය සිදු කල ආකාරයත් ඔබේ පක්ෂග්‍රාහීත්වයට කදිම නිදසුන්වේ.

ගරු කාදිනල් තුමනි,

ඔබ වහන්සේ විසින් දේශපාලන වේදිකාවක් බවට පත් කල මිලානෝහි පසුගිය ජුනි 23 දිව්‍ය පූජාව පැවැත්වූයේ ඉතාලියේ විශේෂයෙන්ම මිලානෝ කතෝලික සභා නායකයින්ගේ නිසි අවසරය ලබාගෙනද?. මාගේ දැනුමේ හැටියට නැත. එහෙත් එම දේශපාලන වේදිකාව ලංකාවේ දෙරණ රූපවාහිනියට නම් වාර්තා කිරීමට ඔබට අමතක වී නැත.

ගරු කාදිනල් තුමනී,

මා ඔබෙන් ඉතා බැහැපත්ව ඉල්ලා සිටින්නේ ඔබේ පුද්ගලික දේශපාලනයෙන් මිදී කතෝලික සභාවේ මූලධර්මයන්ට අනුව කටයුතු කරන ලෙසය.
ඔබවහන්සේ වැනි උසස් ආගමික නායකයෙකු වෙත මා වැනි පුංචි මිනිසෙකුට මෙවැන්නක් ලිවීමට ආත්ම ශක්තිය ලබා දුන්නේ දෙවියන් වහන්සේ විසින්ම පමණකි.

අවසන් වශයෙන්, එදා ජේසුතුමන් විසින් නායකපූජකයින් වෙත දෙසා වදාල වදනකින් මාගේ ලිපිය අවසන් කරමි. “නායක පූජකයිනි, තොප අසරන වැන්දඹුවන්ගේ ගෘහයන් මංකොල්ලකමින් තොපගේ පානයේ වැටී ඇති මදුරුවා පෙරා දමා ඔටුවා ගිල දමති, තොපගේ ඇසේ ලී කොටය නොදකින තොප අසරනයන්ගේ ඇස්වල ලී කුඩ්ඩ දකිති. අසාධාරණ අයුරින් බදු අය කරමින් අසරණයා සූරාකන තොප සුදු හුනු ගෑ සොහොන් ගෙවල් වැනි‍ය”.

ස්තූතියි,
ජේසුපිහිටයි.
මා වෙන්නප්පුවේ ලෙස්ලි ලෝව් (මිලානෝ සිට)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button