සමාජ

කන්‍යාභාවය සිඳ ගැනීමට නිසි වයසක් තිබේ ද?

පළමු වරට ලිංගිකව එක්විය යුත්තේ කුමන වයසේදී ද? (BBC ඇසුරින්)

නිසි කලට පෙර සංවාසයේ යෙදීම, ලිංගික පිවිතුරු බව සිඳ ගත් තරුණ තරුණියන්ගේ විශාලතම පසුතැවිල්ල බව ලිංගික හැසිරීම් පිළිබඳ බ්‍රිතාන්‍යයේ සිදුකරන ලද සමීක්‍ෂණයකින් හෙළිවේ.

තමන් පළමු වරට සංවාසයේ යෙදුණේ, “නිසි කාලයේ නොවන” බව බ්‍රිතාන්‍යයේ වෙසෙන 20 වන වියේ පසුවන තරුණියන්ගෙන් තුනෙන් එකකට වැඩි පිරිසක් සහ තරුණයන්ගෙන් හතරෙන් එකක් පිළිගනිති.

බ්‍රිතාන්‍යයේ ලිංගික එක්වීමකට නිත්‍යනුකූල අනුමැතිය ලැබෙන්නේ, වයස 16 ක් සම්පුර්ණ වූ පුද්ගලයන්ටය.

ලිංගික ආකල්ප සහ ජීවන රටා පිළිබඳ මෑතකදී කරන ලද මත විමසුමට අනුව, එම වයසේදී තරුණ තරුණියන් ඊට සුදුසු මට්ටමක නොසිටිය හැකිය.


පර්යේෂණයෙන් අනාවරණය වූයේ කුමක්ද?

සමීක්ෂණය සඳහා සහභාගී වූ තරුණියන්ගෙන් 40% ක් සහ තරුණයන්ගෙන් 26% ක් තමන්ගේ මුල් ලිංගික අත්දැකීම සිදුවූයේ “සුදුසු කාලයේදී” නොවන බව ප්‍රකාශ කළහ.

තවදුරටත් කරුණු විමසීමේදී බොහෝ දෙනා ප්‍රකාශ කළේ, තව සුළු කාලයක් තමන්ගේ ලිංගික පිවිතුරුභාවය ආරක්ෂා කරගෙන සිටියා නම් මැනවි යැයි සිතෙන බවය.

අතලොස්සක් ප්‍රකාශ කළේ, ඊටත් පෙර සංවාසයේ යෙදිය යුතු බවය.

සමීක්ෂණයට භාජනය වූ බ්‍රිතාන්‍ය වාසී තරුණ තරුණියන්ගෙන් බහුතරය සංවාසයේ යෙදී ඇත්තේ, 17 – 18 වයස් සිමාවේ පසුවෙද්දීය.

තුනෙන් එකකට ආසන්න පිරිසක් වයස අවුරුදු 16 සම්පුර්ණ වීමට ප්‍රථම සංවාසයේ යෙදී තිබේ.


නිසිකාලය කුමක්ද?

සංවාසයේ යෙදිය යුතු යැයි ඔබට සිතෙන්නේ නම්, පළමුව ඔබ ඔබෙන් ම ඒ පිළිබඳව විමසන්න:

  • එය නිවැරදි ද?
  • මම මගේ සහකරුට ආදරෙයි ද?
  • ඔහු හෝ ඇයත් එලෙස ම මට ආදරෙයි ද?
  • සමාජ රෝග සහ ඒඩ්ස් වැනි රෝගවලින් ආරක්ෂා වීමටත් ගැබ් ගැනීම වැළැක්වීමටත් උපත් පාලන කොපු භාවිත කිරීමට අප සාකච්ඡා කළා ද?
  • ඒ පිළිබඳව අප දෙදෙනා දරන්නේ එක ම මතයක් ද?
  • මට හැඟුණ හොත් ඕනෑ ම මොහොතක “එපා” කියන්න අවස්ථාව තිබේ ද? අප දෙදෙනා ම ඊට එකඟ ද?
    ඉහත ප්‍රශ්නවලට පිළිතුර “ඔව්” නම් සංවාසයේ යෙදීමට සුදුසු තත්ත්වයක ඔබ සිටිනවා විය හැකියි.

නමුත්, පහත දැක්වෙන කවර හෝ ප්‍රශ්නයකට ‘ඔව්’ යනුවෙන් පිළිතුරු දෙන්නේ නම්, ඔබ සංසර්ගය සඳහා සුදුසු අවස්ථාවක පසු නොවනවා විය හැකිය.

  • මගේ මිතුරෙකුගෙන් හෝ සහකරුගෙන් මට පීඩනයක් එල්ල වෙනවා ද?
  • මට පසුව කනගාටු වෙන්න සිදුවෙයි ද?
  • මම ලිංගිකව හැසිරෙන්නේ මගේ මිතුරන්ගේ සිත් දිනා ගන්න ද? නැත්නම් ඔවුන් සමග කරට කර සිටින්න ද?
  • මම ලිංගිකව හැසිරෙන්නේ මගේ සහකරු මා සමග ම තබා ගැනීමට ද?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button