දේශපාලන

ආණ්ඩුව – කොරෝනාවට මුවාවී විරුද්ධ මතවාදීන් මර්ධනය කරන බවට චෝදනා

බල වෛරසය ව්‍යාප්ත කරමින් තනි පවුලක බලය රැක ගැනීමේ ව්‍යාපෘතිය සදහා කෝවිඩ් වසංගතය භාවිත කරන බවට ආණ්ඩුවට චෝදනා කරන හිටපු අමාත්‍යවරයෙක් ඒ සදහා සියළු දෙනා පෙළ ගැසිය යුතු කාලය එළඹ ඇති බව පවසයි.

කොවිඩ් වෛරසය මානවයාට එරෙහිව එල්ල වී ඇති අභියෝගයක් බව පෙන්වා දෙන හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක පවසන්නේ එය මර්දනය කිරීමේදී රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කරමින් කටයුතු කළ යුතු බවයි.

“අපේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහය, මිනිසුන්ගේ ආගමික ඇදහිලි, අපේ රටේ මිනිසුන්ගේ සංස්කෘතික ඇදහිලි, දේශපාලන මතවාද, මේවා සියල්ලම බුල් ඩෝසර් කරන්න, යටපත් කරන්න කෝවිඩ් මර්දනය යොදා ගත යුතු නෑ….”

පාඨලී චම්පික රණවක සිය මුහුණු පොතේ වීඩියෝවක් මුදා හරිමින් මෙම අදහස් පළ කර ඇත්තේ මුස්ලිම් බැතිමතුන්ගේ අකැමැත්ත නොතකා කොරෝනා රෝගීන්ගේ මළසිරුරු අනිවාර්යයෙන් ආදාහනය කිරීමට ආණ්ඩුව දැඩි තීරණයකට එළැඹීමෙන් අනතුරුවය.

යල් පිනූ නීති

ව්‍යවස්ථානු කුලව ආණ්ඩුවට මුදල් වියදම් කිරීමේ ක්‍රමවේදයක් සකස් කළ යුතු බව පෙන්වා දෙන ජාතික හෙළ උරුමයේ නායකයා අවධාරණය කරන්නේ ව්‍යවස්ථානුකුලව නීති සකස් කිරීමේ ක්‍රියාවලියක් රට තුළ සම්පාදනය විය යුතු බවයි.

කෝවිඩ් මර්දනය සදහා මේ වන විට ශ්‍රී ලංකාව යොදා ගන්නා පනත 1897 දී කොකුපණු රෝග මර්දනයට ඉංශ්‍රීසීන් විසින් යොදාගත් පනතක් බව පෙන්වා දෙන හිටපු අමාත්‍යවරයා අවධාරණය කරන්නේ රටට අලුත් නීතිරීති සම්පාදනය විය යුතු බවයි.

“මේවා අනාගතයේදීත් එන්න පුළුවන්. ඒ නිසා මේවා ගැන මුකුත් තකන් නැතුව අපිට තනියම පුළුවන්, අපි තනියම මේක කරනවා, අපි සියයට සීයක් සාර්ථකයි වගේ වාගාඩමබර ප්‍රකාශ හරියන්නේ නෑ….”

පාර්ලිමේන්තුව සැප්තැම්බර් පළමු වැනිදාට පෙර විසුරුවා හැර මහ මැතිවරණයක් පවත්වා තුනෙන් දෙකක් ලබා ගැනීමේ “කෝවිඩ් බල තන්හාවෙන්” ආණ්ඩුව ක්‍රියාත්මක වීම නිසා රටට වු හානිය ලක්ෂ දෙසිය විස්සක් වු ජනතාව කිසි විටක අමතක නොකළ යුතු බවද හිටපු අමාත්‍යවරයා සිය විඩියෝ පටය හරහා කියා තිබේ.

අදහස් පල කරන්නන් බිය වැද්දීම සදහා ඔවුන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බවට ආණ්ඩුවට චෝදනා කරන පාඨලී චම්පික රණවක එහිදී වැඩි දුරටත් පවසා තිබුනේ විපක්ෂයේ නායකයන්ගේ හඬට අවසරයක් නැතත් ආණ්ඩුවේ ආධාරකරුවන් ආණ්ඩුවේ සම්පත් උපරිම අයුරින් භාවිත කරන බවයි.

ගුවන් තොටුපල නිසි අවස්ථාවේ දී වසා දැමුවා නම් කොවිඩ් 19 ආසාදිතයන් ශ්‍රී ලංකාව තුළ බෝ නොවන බවට පෙන්වා දෙන හිටපු අමාත්‍යවරයා එහිදී චෝදනා කළේ වෛරසය ගැන නොතකා මැතිවරණය පැවැත්වා තුනෙන් දෙකක බලයක් ලබා ගැනීම සදහා ආණ්ඩුව ප්‍රමුඛත්වය දීම තුළ රටට කොවිඩ් වෛරසය ඇතුලු වු බවයි.

රට වසංගත තත්වයකට මුහුණ දී සිටින මොහොතේ මාධ්‍ය ආයතන වල ක්‍රියාකාරීත්වයද හිටපු අමාත්‍යවරයාගේ දැඩි දෝෂ දර්ශනයට ලක්විය.

“අද මාධ්‍ය වලින් මේ රඟ දක්වන වෙනම ලෝකයක් මේ රටේ තියනවා වගේ පෙන්නගෙන ඉන්න මාධ්‍ය ඔස්තාර්ලා ටික, මාධ්‍ය ෆැසිස්ට් වාදියෝ ටික ඒ ජඩ මාධ්‍ය වල ක්‍රියාකාරීත්වයත් අපි බලන්න ඕන. ඒ ගොල්ලෝ මොකද කරේ. ඒ ගොල්ලන්ගෙන් සමහර අය ලංකාව කෝවිඩ් වලින් නිදහස් රටක් කියලා සංචාරක ප්‍රවර්ධන හදපු එක තමයි කළේ….”

ශ්‍රී ලංකාවේ වාර්තා වූ පළමු කොරෝනා රෝගී කත සුවය ලද විට ශ්‍රී ලංකාව වසංගතයෙන් තොර රටක් ලෙස හුවා දක්වමින් විදෙස් සංචාරකයන් අද්දවා ගැනීමට වීඩියෝ දැන්වීමක් නිර්මාණය කරන ලද්දේ දෙරණ හිමිකාර දිලිත් ජයවීරගේ වෙළෙඳ ප්‍රචාරක ආයතනයකින් බව වාර්තා වී තිබුණි.

බොහෝ මාධ්‍ය ආයතන මෙන්ම මාධ්‍යවේදීන්ද එම දැන්වීම සිය මාධ්‍ය ආයතන සහ සමාජ මාධ්‍ය ගිණුම් ඔස්සේ ප්‍රචාරය කරනු එවක දැකගත හැකි සුලබ දසුනක් විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button