විදේශීය

කෘතීම බුද්ධිය පිලිබඳ ලොව ප්‍රථම විශ්ව විද්‍යාලය අබුඩාබියේදී

සියලු සිසුන්ට මාසික දීමනා සමග පූර්ණ ශිෂ්‍යත්ව

අබුඩාබි රාජ්‍යය විසින් කෘත්‍රිම බුද්ධිය – AI පිළිබඳ ලෝකයේ ප්‍රථම විශ්ව විද්‍යාලය නිල වශයෙන් විවෘත කළේය.

MBZUAI යන කෙටි නමින් හඳුන්වන මෙම කෘත්‍රිම බුද්ධිය පිළිබඳ මොහොමඩ් බින් සයිද් සරසවිය (Mohamed bin Zayed University of Artificial Intelligence) මෙම විෂය සම්බන්ධයෙන් උපාධියක් පිරිනමන සහ පර්යේෂණ සඳහා ඉඩ ප්‍රස්ථාව ලබාදෙන ලොව පළමු විශ්ව විද්‍යාලයයි.

මෙහි පළමු සිසුන් පිරිස 2020 සැප්තැම්බර් මාසයේදී බඳවා ගැනීමට නියමිත ය.

මෙම සියලුම සිසුන් සඳහා පූර්ණ ශිෂ්‍යත්ව පිරිනැමීමට නියමිත අතර, එයට අමතරව මාසික දීමනාවක්, සෞඛ්‍ය ආරක්ෂණයක් සහ ඉඳුම් හිටුම් පහසුකම් ද ඔවුන්ට සපයනු ලැබේ. විදෙස් සිසුන්ට ද මේ සඳහා අයදුම් කළ හැකිය. තවද මෙම උපාධිධාරීන්ට රැකියා ලබාදීම සඳහා සහයෝගය ලබාදෙන ක්‍රමයක් ද මෙම සරසවිය තුළ අන්තර්ගත ය.

කෘත්‍රිම බුද්ධියේ ප්‍රධාන අංග වන Machine Learning, Computer Vision සහ Natural Language Processing යන විෂයන් සඳහා Master of Science (MSc) සහ PhD උපාධි මට්ටම් දක්වා මෙම සරසවිය මගින් අධ්‍යාපනය ලබාගත හැක.

AI හෙවත් ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් – කෘත්‍රිම බුද්ධිය අනාගත ලෝකය පාලනය කරන තාක්ෂණයක් ලෙස මේ වන විට සැලකේ. ස්වයංක්‍රීයව, දත්ත සහ පර්යේෂණ මත පදනම් වෙමින් අතිශය නිවැරදි තීරණ ගැනීමට ඇති හැකියාව සහ අතිශය නිවැරදි පුරෝකථන මෙම ශිල්පයේ ප්‍රධානතම වාසි අතර වේ. MBZUAI සරසවිය විසින් ලෝකයේ දැනට භාවිතා වන ඉහළම ගණයේ කෘත්‍රිම බුද්ධිය පිළිබඳ පාඨමාලා සැපයීමට නියමිත අතර, ලෝකයේ ආර්ථික හා සමාජයීය සංවර්ධනය වෙනුවෙන් එය යොදාගැනීමට අපේක්ෂා කරයි.

‘‘AI විසින් දැනටමත් ලෝකය වෙනස් කර තිබෙනවා. නමුත් එය පූර්ණ වශයෙන් ගවේෂණය කිරීම මගින් මිනිස් මනසේ අසීමාන්තික පරිකල්පනයෙන් ප්‍රතිලාභ ලබාගත හැකියි“ යනුවෙන් මෙම සරසවියේ සභාපති ධුරයට පත් කර තිබෙන එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අමාත්‍යවරයෙක් වන ආචාර්ය සුල්තාන් අහ්මද් අල් ජබර් පවසයි.

එක්සත් රාජධානියේ ඔක්ස්ෆර්ඩ් සරසවියේ Oncological Imaging පිිළිබඳ මහාචාර්යවරයෙක්, මිචිගන් ප්‍රාන්ත සරසවියේ මහාචාර්යවරයෙක්, චීනයේ ෂිංහුවා සරසවියේ Institute for Interdisciplinary Information Sciences හි පීඨාධිපතිවරයා, මැසචුසෙට්ස් තාක්ෂණ ආයතනයේ පරිගණක විද්‍යාව හා කෘත්‍රිම බුද්ධිය පිළිබඳ පර්යේෂණාගාරයේ අධ්‍යක්ෂවරයෙක් සහ Group 42 හි ප්‍රධානියා මෙම සරසවියේ භාරකාර මණ්ඩලයට තෝරා පත් කරගෙන ඇත.

MBZUAI සරසවියට මෙම නම තබා තිබෙන්නේ අබුඩාබියේ ඔටුන්න හිමි කුමාරයා වන මොහොමද් බින් සයිද් සිහිවීම පිණිස ය. ඔහු එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සන්නද්ධ හමුදාවේ ‘නියෝජ්‍ය උත්තරීතර කොමදෝරු‘ (Deputy Supreme Commander) ලෙස ද හැඳින්වේ.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයට මේ වන විට කෘත්‍රිම බුද්ධිය පිළිබඳ රාජ්‍ය අමාත්‍යවරයෙකු ද සිටියි. එම අමාත්‍ය ඕමාර් අල් ඔලාමා, මෙම සරසවියේ උපදේශක මණ්ඩලයේ ප්‍රධානත්වය උසුළයි.

රටේ දළ දේශීය නිෂ්පාදිතය AI යොදාගැනීම මගින් වසර 2010 වන විට 14%කින් ඉහළ නංවා මැදපෙරදිග රටක ඉහළම දළ දේශීය නිෂ්පාදිතය සහිත රට බවට එක්සත් අරාබි එමීර් රාජ්‍යය පත් කිරීමේ සැලසුමක් ඇත.

ලොව පුරා රටවල් විසින් ගෝලීය ආර්ථික වර්ධනය සඳහා AI යොදාගන්නේ නම්, වසර 2030 වන විට ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 16 ක ආර්ථික වර්ධනයක් එමගින් අත්පත් කර ගත හැකි බවට ගණන් බලා තිබේ.


අමාලි ජයවීර
(www.outboundtoday.com ඇසුරින්)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button