මුලතිව් නෛආරු පන්සලේ සිදුවීමේ කිසිවෙකු ඔබට නොකියූ ඇත්ත කතාව
මුලතිව් ගුරුකන්ද විහාරාධිපති හිමි ගේ දේහය ආදාහනය කිරීමට එරෙහිව පසුගිය සිකුරාදා (20) තාවකාලිකව දේහය විහාරස්ථාන භූමියේ ආදාහනය කිරීම වළක්වමින් අධිකරණ නියෝගයක් ලබා දී ඇත. ඒ 2007, අංක 56 දරන ICCPR පනත අනුව ගොනු කර තිබූ පැමිණිල්ලකට අනුවයි.
කෙසේ වෙතත් ඊයේ (23) අධිකරණය විසින් එම නඩුවට අදාල නියෝගය ලබා දෙනු ලැබුවා. එහිදී අධිකරණය නියෝග කළේ විහාරාධිපති හිමි ගේ දේහය විහාරස්ථානය ඉදිරිපිට පවතින හමුදාවට අයත් පරිශ්‍රයක් තුළ චිතකය සකස් කර ආදාහනය කරන ලෙසයි. කෙසේ වෙතත් එකම ඉඩමක පසුව ඉදි කරන ලද මාර්ගයක් හේතුවෙන් මෙම යුද හමුදාවට අයත් පරිශ්‍රය සහ විහාර භූමිය වෙන් වී තිබේ.
මෙලෙස දෙමළ ජනතාව විරෝධය පල කිරීමට හේතුව නම්, මෙම විහාරස්ථාන පරිශ්‍රයේම පවතින පුරාණ හින්දු කෝවිලකි. හින්දු කෝවිල් විහාරස්ථාන සමඟ පැවතීම සම්ප්‍රදායක් වන බැවින් මෙලෙස කෝවිලක් නොහොත් දේවාලයක් පැවතීම පුදුමයක් නොවේ.
හින්දු දේව විශ්වාස අනුව මරණයක් ඔවුන් “කිලි” ලෙස හඳුන්වන අපවිත්‍ර බවකි. එබැවින් ඔවුන්ගේ කෝවිල ආසන්නයේ මරණයක් ආදාහනය කිරීමට මෙලෙස ප්‍රදේශ වාසී දෙමළ ජනතාව විරෝධය පල කර ඇත.
දෙමළ ජනතාව මෙන්ම බහුතරයක් සිංහල ජනතාව ද දේවාල සහ කෝවිල් වලට යාමේ දී “කිල්ලෙන්” හෙවත් අපිරිසිදු බැවින් වැළකිය යුතු යයි කල්පනා කරති. අවමංගල්‍ය අවස්ථාවකට යද්දී තමන් සතුව තිබෙන “සුර” “යන්ත්‍ර” වැනි ගුප්ත බලය පවතිනවා යයි විශ්වාස කරන දෑ ගෙදර තබා යන්නේ එබැවිනි. එමෙන්ම අවමංගල්‍යයකට සහභාගී වී නැවත පැමිණීමේ දී නිවස ගුප්ත බල වලින් බල ගන්වා ඇත්නම් නෑමෙන් තොරව නිවසට ඇතුල් නොවීම සිංහල ජනතාව අතර ද බහුල පුරුද්දකි.
එබැවින් මෙම සිද්ධිය, දකුණේ මාධ්‍ය සහ ඇතැම් සංවිධාන වලින් පෙන්වා දුන් ආකාරයට වඩා බෙහෙවින් අවබෝධයෙන් විසඳා ගත යුතුව තිබූ සිද්ධියක් බව පෙනෙයි.
එමෙන්ම “සිංහල සහ දෙමළ” දෙපාර්ශවයම දේවාල සහ කෝවිල් ආශ්‍රිතව තිබෙන මෙම චාරිත්‍ර විදි දන්නා බැවින් මෙවැනි අනවබෝධයක් ඇති වීම පුදුමාකාරය.
එමෙන්ම කිසියම් හිමි නමක් අපවත් වූ විට විහාර භූමියේම ආදාහනය කළ යුතු යයි කිසිදු චාරිත්‍රයක් හෝ ක්‍රම විදිහක් නොමැත. බොහෝ විට ප්‍රදේශයේ තිබෙන විශාල ක්‍රීඩාංගණයක් හෝ සුසාන භූමියේ තිබෙන එළිමහන් ස්ථානයක් යොදාගන්නා අතර විහාරස්ථ භූමියේම ආදාහනය කිරීම විරල සිද්ධියකි.
එබැවින් මෙවැනි පුවත් පිළිබඳ පාඨක ඔබ බුද්ධිමත්ව විමසා බැලීම වැදගත් ය.
citizen.lk ඇසුරින්