දේශීය

මත්තේගොඩ වගුරු රක්ෂිතයක් කොටස් කර නළු නිලියන් පිරිසකට දෙන්න හදන වැඩක් හෝමාගම ප්‍රාදේශීය සභාව විසින් නවතයි

මත්තේගොඩ නිවාස සංකීර්ණය අසල රක්ෂිතයක් ලෙස මෙතෙක් පැවති අක්කර හතරකින් පමණ යුතු තෙත් බිමක් කොටස් කර නළු නිළියන් පිරිසකට බෙදාදීමට යම් පිරිසක් දරන උත්සාහයක් ව්‍යාවර්ථ කරමින් හෝමාගම ප්‍රාදේශීය සභාව එහි සංවර්ධන කටයුතු වළකාලමින් පුවරුවක් සවිකර ඇත.

එකි භූමියෙහි කිසිදු බිම් කට්ටියක සැලසුමක් අනුමත නොකිරීම, කිසිදු නේවාසික සැලසුමක් අනුමත නොකිරිම හා කිසිදු සංවර්ධන කටයුත්තකට අවසර නොදිමට ඉකුත් ජූලි 7වැනිදා රැස් වූ හෝමාගම ප්‍රාදේශීය සභාව ඒකමතිකව තීන්දු කළ බව එම පුවරුවෙහි සඳහන් වේ.

එම ඉඩම නිවාස සංකීර්ණය ආරම්භයේ සිටම රක්ෂිතයක් ලෙස පැවැති අතර එහි කිසිදු අවස්ථාවක කිසිදු ඉදිකිරීමක් සිදු නොකළ බව මත්තේගොඩ නිවාස සංකීර්ණයේ නිවැසියෝ කියයි. එම ප්‍රදේශයේ පිරිසුදු ජල උල්පත් ද පවතින අතර ගලා යන දිය පිරි නාන ළිඳක් ද එහි ඇති බව කළ නිරික්ෂණ චාරිකාවක දී දැකිය හැකි විය. හෝමාගම ප්‍රාදේශීය සභා සීමාවේ මත්තේගොඩ 587 බී ග්‍රාමසේවා වසමට අයත් මෙම ඉඩම් කොටස් තමන්ට ලැබුණු බව පවසමින් එහි ආ නළු නිළි පිරිසක් එහි ඉඩම් කට්ටි වෙන් කරගැනීමට සූදානම් වූ බවත් ඊට තමන් විරුද්ධ වීම නිසා ගැටලුකාරි තත්වයක් උදාවූ බවත් එහි නිවැසියෝ පැවසූහ.

පරිසර යුක්ති කේන්ද්‍රය විසින් කොළඹ තෙත්බිම නැරඹීම සඳහා සැලසුම් කළ ක්ෂේත්‍ර චාරිකාවේදී දැකිය හැකි වූයේ ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසමට අයත් මෙම ඉඩමේ පැවැති විශාල ගස් කපා දමා ඇති අන්දමය, මෙකී තෙත් බිම් පහළින් වෙල්යායක් පවතින අතර වැසි සමයේ මත්තෙගොඩ නිවාස සංකීර්ණයෙන් ගලා යන ජලය සියල්ල මේ තෙත් බිම ඔස්සේ පහළට ගලායයි.

මේ පිළිබඳව අදහස් දැක්වු මත්තෙගොඩ නිවාස සංකීර්ණයේ පදිංචිකරුවකු වන ආර්. වර්ණකුලසූරිය මහතා මෙසේ කියා සිටියේය.

“මේ ඉඩම කලාකරුවන් 26 දෙනකුට 2002 දි බෙදල දුන්නා. මේක වගුරු බිමක්. ඉතින් අපි ඒ බව පෙන්වලා දුන්නා. මොකද මේ ඉඩමට තමයි මේ නිවාස සංකිර්ණයේ වැසි වතුර බහිනෙන්. නමුත් කාලෙන් කාලෙට මේ අපි කියන දේ ගණන් ගන්නේ නැතිව ඇවිත් ඉඩම කට්ටි කරනවා. ජනතාව විරුද්ධ වුණාම වැඩේ තාවකාලිකව නවත්වනවා. මට මේ පහුගියදා ආපසු නළු නිළි පිරිසක් ආවා. ඇවිත් ආයෙත් ඉඩම කට්ටි කරන්න හැදුවා. නමුත් මේ වතාවේ අපි වහාම ප්‍රාදේශීය සභාවට ගියා. එදා නම් ආපු නිළියෝ අපිත් එක්ක රණ්ඩු කළා. පසුව අපි මේ වැඩේ කරන්න දෙන්නේ නැති බව දැනගත්තම අපටත් බැනල උදලු අපි නාන ළිඳේ දාල හෝදගෙනයි යන ගියේ. අපි සභාවට ගියා. ගිහින් කිවා. එතකොට ප්‍රාදේශීය සභාවේ රැස්වීමේදී ඒකමතික තීරණයක් අරන් ඉඩම් සංවර්ධන කටයුතු කිරීම සපුරා තහනම් කරමින් බෝඩ් එකක් ගැහුවා. අපි කියන්නේ මේක මොන ආණ්ඩුව ආවත් එහෙම තියෙන්න ඕන. වෙන පිරිසක් විසින් මේක ගලවල දාන්න පුළුවන්. එහෙම දෙන්නෙ එපා කියන එකයි අපි ඉල්ලන්නේ. නිවාස සංකීර්ණයේ ජලය ක්‍රමවත්ව බහින්න විදියක් නැතිව යනවා මේ වගුරු බිම නැතිවුණොත්.”

යැයි ද හෙතෙම සඳහන් කළේය.


වීනීතා එම්. ගමගේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button