දේශීය

‘රා විෂ වී පුද්ගලයෙක් මියයයි, තවත් පිරිසක් රෝහලේ….’ රා තැබෑරුමට මුද්‍රා තබයි

තලවකැලේ පුඩළුඔය නගරයේ පවත්වාගෙන යන රා තබෑරුමකින් රා පානය කළා යැයි කියන වතු කම්කරුවෙකු මිය ගොස් එම රා තබෑරුමෙන් රා පානය කළ ප්‍රදේශවාසින් තිදෙනෙක් කොත්මලේ ප්‍රාදේශිය රෝහල වෙත ඇතුලත් කර ඇති බව පුඩළුඔය පොලිසිය පැවසුවා.

පසුගියදා (26) පස්වරුවේ එම රා තැබෑරුමෙන් රා පානය කළ පිරිසකට ක්ලාන්තය, වමනය වැනි රෝග ලක්ෂන මතු වී ඇති අතර එම රෝග ලක්ෂණ මතු වූ අයගෙන් තිදෙනෙක් කොත්මලේ ප්‍රාදේශිය රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබයි.

මිය ගිය පුද්ගලයා ඊයේ පස්වරුවේ අධික ලෙස රා පානය කර නිවසට පැමිණ වමනයකළ බවත්, පසුව ඔහු නිවස තුලම මිය ගිය බවත් ඔහුගේ ඥාතින් පවසා සිටියා. මෙසේ මිය ගොස් ඇත්තේ පුඩළුඔය පොලිස් වසමට අයත් හැරොල්ඩ් වත්තේ ඉහල කොටසේ පදිංචි පි.සෙන්දිල්නාදන් නැමති 37 හැවිරිදි අවිවාහක පිරිමි අයෙක්.

කොත්මලේ ප්‍රාදේශිය ලේකම් කාර්යයාලය මගින් වාර්ෂික ටෙන්ඩර් පදනමක් මත පුඩළුඔය නගරයේ පිහිටි රා තබෑරුම පවත්වාගෙන යාමට අවසර ලබාදෙන අතර 2019 වසර වෙනුවෙන් පුඩළුඔය නගරයේ ව්‍යාපාරිකයෙකු විසින් රුපියල් ලක්ෂ 500 ආසන්න මුදලකට මෙවර ටෙන්ඩරය ලබාගෙන රා තබෑරුම පවත්වාගෙන යනු ලබනවා.

මෙම සිද්ධියෙන් පසු නුවරඑළිය සුරාබදු කාර්යයාලයේ නිලධාරින් විසින් පුඩළුඔය නගරයේ පිහිටි රා තැබරුම වෙත ගොස් එහි රා බෝතල් කිහිපයක් රජයේ රස පරික්ෂක වෙත යවා වාර්තාවක් ලබා ගැනිම සදහා ඔවුන් භාරයටගෙන එම පරික්ෂණ කටයුතු අවසන් වන තෙක් එම රා තැබෑරුම මුද්‍රතබා තාවකාලිකව වසා දැමිමට පියවර ගෙන තිබෙනවා.

මේ පිළිබඳව අදහස් දැක්වූ කොත්මලේ ප්‍රාදේශිය සභාවේ උප සභාපති මහින්ද සේනවිර මහතා ඇතුළු ප්‍රදේශවාසින් පවසන්නේ ඉතා අධික මිලකට ටෙන්ඩරයක් මගින් මෙම රා තැබැරුම ලබාගත් ව්‍යපාරිකයා විසින් ප්‍රමිතියෙන් තොර රා අලෙවි කරන බවයි.

මෙවැනි හේතු නිසා පුඩළුඔය නගරයේ පිහිටි එම රා තැබැරුම වසා දැමිමට පියවර ගන්නා ලෙස අදාල බලධාරින්ගෙන් ප්‍රදේශවාසින් ඉල්ලා සිටිනවා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් පුඩළුඔය පොලිසිය සහ නුවරඑළිය සුරාබදු කාර්යයාලයේ නිලධාරින් වෙන් වෙන් වශයෙන් පරීක්ෂණ ආරම්භකර තිබෙනවා.


චමත් කාවින්ද
ජනයුගය – හැටන් වාර්තාකරු

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button