හඳුනා නොගත් රෝගයක් නිසා දකුණේ කිතුල් කර්මාන්තය අනතුරේ
කිතුල් ගසේ පිලි කඩා වැටීමෙන් අනතුරුව කරටිය මියයෑමේ රෝගයක් වැලඳීම හේතුවෙන් කිතුල් කර්මාන්තය විනාශ වීමේ තර්ජනයකට මුහුණ පා ඇතැයි දකුණු පළාතේ සිංහරාජ වනාන්තරය ආශ්‍රිතව එම කර්මාන්තයෙන් ජීවත් වන කිතුල් මදින්නෝ පවසති.
මෙම රෝගය කිතුල් ගසට වැළඳී කිතුල් ගස මියයෑම වසර 10 පමණ පෙර සිට ඇති වූ තත්ත්වයක් බව ඔවුහු පවසති. කිතුල් ගසේ පත්‍ර ක්‍රමක්‍රමයෙන් තද රතු පැහැයක් ගැනීම රෝගයේ මූලික ලක්‍ෂණ වේ. ඉන් අනතුරුව ගසේ පිලි කඩා වැටී අරටුව මියයෑම සිදුවේ. මෙලෙස කිතුල් ගස් මියයෑම හේතුවෙන් ප්‍රදේශයේ කිතුල් ගහනය ක්‍රම ක්‍රමයෙන් අඩු වී කිතුල් කර්මාන්තයෙන් සිය ජීවිකාව ගෙන යන කිතුල් මදින්නන් දැඩි ආර්ථික දුෂ්කරතාවයට පත් වී තිබේ.
ගම්මානවල ඇති කිතුල් ගස්වලට අමතරව කිතුල් මදින්නෝ සිංහරාජයේ ඇති කිතුල් ගස් මැදීම ද සිදුකරති. මේ වන විට එම රෝගය සිංහරාජ වනයේ ඇති කිතුල් ගස් සඳහා ද වැලඳී ඇතැයි ඔවුහු පවසති.
එලෙසම කිතුල් ශාකයෙන් ලබා ගන්නා තෙලිජ්ජ උණුකර සකසා ගන්නා කිතුල් පැණි සහ හකුරු රසයෙන් අඩු බව ද හකුරු සහ පැණි නිෂ්පාදනය කරන පිරිස් පවසති. මෙම තත්ත්වය ඇතිවීමට හේතුව කිතුල් ශාකයට වැලඳී ඇති රෝගය බව අනුමාන කරන බව ඔවුහු පවසති.
එමෙන්ම එලෙස සකස් කරගන්නා කිතුල් හකුරු සහ පැණි පරිභෝජනයට සුදුසුද නැද්ද යන්න පිළිබඳවත් නොදන්නා බව ඔවුහු පවසති.
මෙම රෝගය සම්බන්ධයෙන් විමසීමට බලධරයෙක් ගැන ද ඔවුහු නොදනිති. රෝගය ඇතිවීම දිලීරයක් මඟින් සිදුවෙනවාද එය මනුෂ්‍ය පරිභෝජනයට සුදුසු ද යන්නවත් දැන ගැනීම සඳහා නිලධාරීන් මේ සම්බන්ධයෙන් සොයා බැලීමක් නොකරන බව කිතුල් මදින්නෝ පවසති.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ලංකාගම එන්.ජී. ගුණදාස මහතා,
මීට අවුරුදු 10කට විතර ඉස්සර ඉඳලා තමයි මේ රෝගය හඳුනාගන්න පුළුවන් වුණේ. මේ රෝගය හැදුණු කිතුල් ගස් සියල්ලකගේම කරටිය කඩා වැටිලා කිතුල් ගහ මැරෙනවා. කිතුල් ගහට ඒ රෝගය බෝවෙලා කියලා හඳුනාගන්න පුළුවන් වෙන්නේ කිතුල් ගසේ අතු තද රතු පාටට හැරුණාමයි. මේ සම්බන්ධයෙන් පැමිණිලි කරන්න කෙනෙක් නැහැ. මේ සම්බන්ධයෙන් සොයා බැලීම් කරන්න කිසි කෙනෙක් උනන්දු වෙන්නේ නැහැ. මේ වන විට මේ රෝගය සිංහරාජ කැලේ ඇතුළේ තියෙන ගස්වලටත් බෝවෙලා. අපි දන්නේ නැහැ. දේශගුණය වෙනස් වෙලා මේක බෝවෙනවද නැත්නම් සුළඟ මඟින් බෝවෙනවද කියලා.
සිංහරාජ වනාන්තරයේ කිතුල් මදින එම්.පී.ජී. ගයාන් මහතා මෙසේ අදහස් දැක්වීය.
ඉස්සර අපි සිංහරාජ කැලේ වාඩිගහගෙන කිතුල් මල් මැද්දා. ඒත් මේ රෝගය හින්දා ද මන්දා ඉස්සර වගේ ගහෙන් තෙලිජ්ජ ලැබෙන්නේ නැහැ. ඒ නිසා පාරම්පරිකව කිතුල් කර්මාන්තයෙන් ජීවත් වුණු අපි අසරණ වෙලා.
අපි නිෂ්පාදනය කරන කිතුල් පැණි මිනිසුන්ට කෑමට ගත්තට ගැටලුවත් නැද්ද කියලා අපි දන්නේ නැහැ. මිනිසුන්ට වස විස කවලා අපිට මුදල් හම්බ කරලා වැඩක් නැහැ.
මාතර කාර්මික සංවර්ධන මණ්ඩලයේ ව්‍යාපාර ප්‍රවර්ධන කළමනාකරු එන්.එම්.රණවීර මහතාගෙන් මේ සම්බන්ධයෙන් විමසීමු.
2009 සිට 2015 දක්වා කිතුල් සම්බන්ධව ජාතික වැඩසටහනක් ක්‍රියාත්මත වුණා. ඒ වෙද්දී අපේ අමාත්‍යාංශය ඒ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වුණා. දැනට අපේ අමාත්‍යාංශය වෙනස් වෙලා. ග්‍රාමීය ආර්ථික කටයුතු අමාත්‍යාංශය තමයි මේ ගැන සොයා බලන්නේ.
ඒ සම්බන්ධයෙන් සංවර්ධන නිලධාරිවරයෙක් හැම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකම ඉන්නවා. මෙවැනි ගැටලුවක් ඇත්නම් ඇත්තටම ඒකෙන් සිදුවන්නේ එම කර්මාන්තයට අයහපතක්. මේ සම්බන්ධයෙන් විවිධ පරීක්‍ෂණ කරන්නේ ජාතික පර්යේෂණ ආයතනය. ඒ ආයතනය සම්බන්ධ කරගෙන මේ ගැන විමසීමක් කළා නම් හොඳයි.
ප්‍රියංක ගමගේ (දෙනියාය)
උපුටා ගැනීම මව්බිම