ඥානසාර චීවරධාරියාට ජනාධිපති සමාව ඉල්ලා කරන සටනට අපි විරුද්ධයි….!
“ජාතිකත්වය” යනු ජාතිය පිළිබඳව මිනිසුන් තුළ ඇති වන හැඟීම ය. එනම් යම් නිශ්චිත භූමියක් තුළ වාසය කරන ජනතාව තමන් එක් ජාතියකට අයත් වනවා ය යනුවෙන් ඇති වන මානසික සිතුවිල්ල ය. ජන වර්ග කිහිපයක් ජීවත් වුවත් ඔවුන් වාර්ගික පදනමක් මත කල්පනා නොකොට, ජාතියක් ලෙස ජාතික පදනමකින් කල්පනා කරන්නේ නම් ජාතිකත්වය වර්ධනය වීමට වාර්ගිකත්වය බලපානු නොලැබේ.
ප්‍රධාන ජාතීන් ත්‍රිත්වයක් පමණක් වෙසෙන රටක් ලෙස ශ්‍රී ලංකාව 1948ට පෙරත් පසුවත් අත් කර ගෙන සිටින දේශපාලනික, සමාජීය, ආර්ථික හා සංස්කෘතික ප්‍රගතිය පිළිබඳව නිවී හැනහිල්ලේ සිතා බලන කල කිසියම් නිගමයන් ට එලැඹීමට හැකි ය. පෙර කීවා සේ ජාතියක් ලෙස නැගී සිටීමට නම් ජාතිකත්වය වර්ධනය විය යුතු ය. බහු සංස්කෘතික සමාජ වටපිටාවක් හිමි ලාංකික අප වාර්ගික පදනමකින් තොරව ජාතික පදනමකින් යුතු ව කටයුතු කරන්නේ නම් ජාතිකත්වය තුළින් ශක්තිමත් ශ්‍රී ලාංකික ජාතියක්ව අපට නැගි සිටීමට පුළුවණ. එහෙත් එලෙස සුභ දායක ඉරක් කවර දාක නම් පායනු ඇත් ද?. එය ගැඹුරු ලෙස සිතිය යුතු කාලීන ගැටලුවකි.
සහජීවනයෙන් කටයුතු කළ එකම ජනවර්ගයකට අයත් මිනිසුන් අතර වේවා, ජන වර්ග කිහිපයකට අයත් මිනිසුන් අතර වේවා භේද භින්නතා ඇති කළ, දේශපාලනික බල අරගලය පෝෂණය කිරීමේ අටියෙන් ගැටුම්කාරී දෑ ඇති කරමින් මහ විනාශයන්ට කැස කැවූ අවස්තා හා පුද්ගලයන් ඉතිහාසය පුරාවට ම අප දැක ඇත. විටෙක විනාශකාරී අරගල වලින් අප හෙම්බත් වූයෙමු. තවත් විටෙක සාකච්ඡාවෙන් විසිර ගියෙමු. අවසන තිස් වසරක අමිහිරි යුද්ධයක් දක්වාම ලාංකික අප ගමන් කළෙමු.
තුන්වෙනි ලෝකයේ සංවර්ධනය වෙමින් පැවැතුණු රටක් ලෙස අප වසර තිහකට වැඩි කාලයක් එකම තැන පල් වූවා සේම, අපේම මානව සම්පත එහෙත් මෙහෙත් කොතැනත් අපට අහිමි විය. ඉතිරි වූයේ අමිහිරි යුද්ධයක වේදනාකාරී කැලැල් පමණි. අපට පසු පසින් සිටි සිංගප්පූරුව වැනි රටවල් අද අපට වඩා ගව් ගණනක් ඉදිරියෙනි. පුදුම විය යුතු නැත. අප ජඩ දේශපාලනයේ නියත ප්‍රථිඵලය වුණු යුද්ධයක් සමඟ වසර තිහක් ඔට්ටු වෙමින් සිටින විට වාර්ගිකත්වය මත බෙදී ජාතිකත්වය අහෝසිව ජාතියක් ලෙසින් අසමත් නොවුණු සිංගප්පුරුව ඔවුන්ගේ ගමන ගොස් ඇත. බෙදුම්වාදය ලාංකිකයාට කල වින්නැහියක අරුම ! අප තවමත් පාඩම් ඉගෙන ගෙන ද? ඉගෙන ගෙන නම් ගලගොඩ අත්තේ ඥානසාර ශ්‍රමණ වේශධාරීන් ආදීන් ගේ බෙදුම්වාදය අපට ගැටලුවක් විය නොහැක. එහෙත් සැබැවින්ම එය එසේම ද?
ගලගොඩ අත්තේ ඥානසාර චීවරධාරියාගේ නම නොදන්නා අයෙකු වර්තමානය වන විට සිටිය නොහැක. බොදු බල සේනා සංවිධානය පිහිටුවා ගැනීමෙන් අනතුරුව පටු ආගමික හා වාර්ගික අවැසිතා මුදුන් පත් කර ගැනීමේ අටියෙන් ගෙන ගිය යටිකූට්ටු ක්‍රියා කලාපයන්වල නිරුවත දැන් හෙලි වී ඇත. විචාරශීලී බුද්ධිමත් ජනයා, පුද්ගලයා ගැන තතු ඇති සැටියෙන් දැන ගෙන සිටියත් ආගම්වාදී ව ජාතිවාදී ව වාර්ගිකත්වය මත පටු ලෙස සිතන්නට නිරන්තරයෙන් පෙළැඹෙන බහුතරයක්වූ පිරිස එසේ නැත. අතීතයේ සේම ය. ඔවුන් මානුෂවාදී නොවුණු උප්පරවැට්ටිකාරයන්ගේ උගුල් වලට හසු වනු ඇත. හසු වනු අප දැක ඇත.
අපේම රටේ සහෝදර ජන කොට්ඨාසයක් වූ මුස්ලිම් ජන වර්ගයට එරෙහිව ගෙන ගිය උද්ඝෝෂණ රැල්ල හා ඒ තුළින් මහ ජාතිය – සුළු ජාතිය යන පදනම මත පිහිටා මුස්ලිම් ජන කොට්ඨාසයට එරෙහිව ගොඩ නගන ලද අන්තවාදී ආකල්ප රැල්ල, ක්‍රිස්තියානි ආගමික මධ්‍යස්ථානයකට ගොඩ වැදී එයට අලාභ හානි කොට එහි දේව ගැතිවරයාට පහර දී තර්ජනය කොට බිය වැද්දීම, මාලඹේ ප්‍රදේශයේ කතෝලික යාච්ඥා මධ්‍යස්ථානයකට අලාභ හානි සිදු කිරීම, 2015 වසරේ අති උතුම් ශුද්ධෝත්තම පාප් වහන්සේගේ ලංකා ගමනයේ දී ගල් ප්‍රහාර එල්ල කිරීමට සැලසුම් කිරීම හා කතෝලික ජනයා හා බෞද්ධ ජනයා අතර පවතින සහසම්බන්ධය බිඳ වට්ටවාලීමට ගෙන ගිය කුමන්ත්‍රණකාරී කියා පිළිවෙත, අධිකරණ භූමියේ කෝලාහල සිදු කිරීම, අධිකරණයට අපහස කිරීම, ලංකාවෙ විවිධ ප්‍රදේශ වල ජාතිවාදී කලබල ඇති කිරීම, බීමත්ව රිය පැදවීමට වරදකරු වීම, අතුරුදහන්ව සිටිනා මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩගේ බිරිඳ වන සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මියට 2016 වසරේ ජනවාරි 25 වැනි දින හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණ භූමියේ දී පරුෂ වචනයෙන් බැණ වැදීම හා තර්ජනය කිරීම ආදී, නීති විරෝධී, බෞද්ධ ප්‍රතිපත්තියට පටහැනි, මනුෂ්‍යත්වයට නිගා කරනා අන්දමේ ක්‍රියා කලාපය නිසාවෙන් විවිධ අධිකරණවල නඩු හා පොලිස් ස්ථානවල පැමිණිලි රැසක් එ’චීවරධාරියාට විරුද්ධ ව ගොනු විය.
අවසානයේ අධිකරණයට අපහස කළ බවට එල්ල වූ චෝදනා හතරකට වරදකරු කරමින් වසර දහ නමයක සිර දඬුවමක් වසර හයක් තුළ ගෙවී යන ලෙසින් එ’චීවරධාරියාට 2018 අගෝස්තු 08 වන දා දඬුවම් නියම කරන ලදි.
මෙවන් පසු බිමක බෞද්ධ ශාසන කටයුතු පිළිබඳ ඇමතිවරයා වන ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා විසින් ජනාධිපති පොදු සමාව යටතේ ගලගොඩ අත්තේ ඥානසාර චීවරධාරියාට නිදහස ඉල්ලා ජනාධිපතිවරයාට යවන ලද ලිපියක් කෙතරම් දුරට සදාචාරාත්මක ද?.
විධායක ජනාධිපති ධූරය යටතේ පවතින අධිකරණය මඟින් දඬුවම් නියම කරන ලද වරදකරුවෙකුට සමාව ලබා දී නිදහස් කොට යැවීමට හැකියාව පවතින බලතලයක භයානක බව පිළිබඳවද මෙතැනදී සිතන්නට යමක් ඉතිරි කොට ඇත. අනෙක් අතට අධිකරණයට අපහස කිරීමේ චෝදනාවන්ට වරදකරු වූ අයෙකු එලෙස ජනාධිපති පොදු සමාව යටතේ නිදහස් කළහොත් මෙරටේ අධිකරණ පද්ධතිය පිළිබඳව පුරවැසියා තුළ පවතින විශ්වාසය හීන වනු ඇත. යම් හෙයකින් ඥානසාර හිමි නිදහස් කළහොත් එය නීතිමය පැතිකඩ ඔස්සේ මෙන් ම සදාචාරාත්මක පැතිකඩ ඔස්සේ ද පිළිකුල් සහගත මතවාදයක් සමාජ ගත වන්නට රුකුල් දීමක් වනු ඇත.
දේශපාලකයා ඡන්ද පසු පස හඹා යන බැවින් ඔවුන්ට අතුරුදහන් වූ සැමියෙකු ගේ බිරිඳකට පරුෂ වචනයෙන් බැණ වැදීම හා තර්ජනය කිරීම පිළිබඳව වගක් නැත. ඡන්ද පදනම ගොඩ නගා ගැනීම උදෙසා එ.ජා.ප. ය මේ සමයේ ඕනෑම කුණු වැඩක් සිදු කිරීමට දෙවරක් නොසිතන්නේය.
ගාමිණී ජයවික්‍රම පෙරේරා ගේ මේ පියවර, එහි තවත් එක් පියවරක්දැයි අපි නොදනිමු. නමුත් අධිකරණයේ ස්වාධීනත්වයට අභියෝග කරන ජනාධිපතිවරයා සතු පොදු සමාවක් ලබා දීමේ බලය අශීලාචාර ලෙස භාවිතයට නොගනු ඇතැයි නීති ගරුක, පරිණත මොලයක් හිමි ශ්‍රී ලාංකික පුරවැසියන් අපේක්ෂා කර යි.
ජනතාව උදෙසා නව ජනයුගයක් නිර්මාණය කිරීමට වෙර දරන “ජනයුගයේ අපි” ඥානසාර නමැති චීවර ධාරියා නිදහස් කිරීමට මේ ගෙනයන වැඩ පිළිවෙලට සම්පූර්ණයෙන් ම විරුද්ධ බව මෙසේ ප්‍රකාශ කරන්නෙමු.
සැලකිය යුතුයි :-
බීමත්ව රිය පැදවීම සහ තවත් නොහොඹිනා, භික්ෂු විනය විරෝධී ක්‍රියා නිසා දැනටමත් ගලගොඩ ඇත්තේ ඥානසාර නමැත්තාගේ පැවිදි භාවය අහෝසි වී ඇත. එම නිසා ඥානසාර නමැති චීවර ධාරියා ලෙස සඳහන් කල බව කාරුණිකව සලකන්න.
එමෙන්ම රටේ නීතිය හරි හැටි ක්‍රියාත්මක නොවූ විවිධ දේශපාලනික අවස්ථා ඕනෑතරම් ඔබ සහ අප දැක ඇත. මෙහිදී ඔබ “අපේ හාමුදුරුවන්ගේ ඒවා විතරද පෙන්නේ…. අහවල් පුද්ගලයාගේ දේවල් පෙනෙන්නේ නැතිද” යයි අපෙන් අසනු ඇත. එයට පිළිතුර වශයෙන් අප ඔබට කියන්නේ, ඒවාද අපට හොඳින් පෙනෙන අතර, ඒවාට විරුද්ධවද අදාළ තැනදී අපි අපේ හඬ නගන්නෙමු. එමෙන්ම නීතිය හරි හැටි ක්‍රියාත්මක වූ තැන්වලට අපි ගරු කරන අතර, ඒවා අගය කරමු. නීතිය හරිහැටි ක්‍රියාත්මන නොවූ අවස්ථාවන් අප විවේචනය කරන අතර, ඒ පිලිබඳ අපේ මතය අපි ඉදිරිපත් කෙරෙනු ඇත. ගලගොඩ අත්තේ ඥානසාර නමැත්තාගේ සිදුවීම නීතිය හරිහැටි ක්‍රියාත්මක වූ සිදුවීමකි. එම නිසා තවදුරටත් එය හරිහැටි පවත්වා ගැනීම සඳහා අප අපගේ මතය රටේ නීතියට යටත්ව, බුද්ධියකින් යුත් ජනතාවට ඔබින ලෙසත්, ජනතා නියෝජනයක් ලෙසත් මෙසේ ප්‍රකාශ කරන්නෙමු.