දේශපාලන

“පෝද්දල ජයන්තව මතක නැහැ, හඬපටය පිළිගන්න බැහැ”: ලලිත්–කුගන් නඩුවේදී ගෝඨාභය රාජපක්ෂ දුන් සාක්ෂිය සහ අධිකරණය හමුවේ දිගහැරුණු අතීත පැහැරගැනීම්

2011 වසරේදී යාපනයේදී අතුරුදන් වූ දේශපාලන හා මානව හිමිකම් ක්‍රියාකාරීන් දෙදෙනෙකු වන ලලිත් කුමාර් වීරරාජ් සහ කුගන් මුරුගානන්දන් සම්බන්ධ නඩුවේ දෙවැනි දින සාක්ෂි විභාගය ඊයේ (නොවැම්බර් 27) යාපනය සහ කොළඹ අධිකරණ යා කරමින් වීඩියෝ තාක්ෂණය ඔස්සේ පැවැත්විණි. එවකට ආරක්ෂක ලේකම්වරයා ලෙස කටයුතු කළ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ සිට සාක්ෂි ලබා දුන් අතර, යාපනය මහේස්ත්‍රාත් එස්. ලෙනින් කුමාර් හමුවේ පැමිණිලි පාර්ශ්වය වෙනුවෙන් නීතිඥ නුවන් බෝපගේ සාක්ෂි මෙහෙයවීය.

පසුගිය සැප්තැම්බර් 29 වැනිදා ආරම්භ වූ සාක්ෂි විමසීමේ දිගුවක් ලෙස පැවැති ඊයේ දීර්ඝ විභාගයේදී, මාධ්‍යවේදීන් වන කීත් නොයාර් සහ පෝද්දල ජයන්ත පැහැරගෙන යාම, දොම්පේ රහසිගත නිවසක්, 2015 පුවත්පත් සම්මුඛ සාකච්ඡාවක් සහ කුමාර් ගුණරත්නම් සම්බන්ධ ආන්දෝලනාත්මක හඬපටයක් දක්වා කරුණු රැසක් අධිකරණය හමුවේ දිගහැරිණි. ඒ සියල්ල හමුවේ ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධාන පිළිතුර වූයේ ඒවා බොහෝ කලකට පෙර සිදුවූ සිදුවීම් බැවින් තමන්ට මතකයක් හෝ අවබෝධයක් නොමැති බවයි.

1. ආරක්ෂක ලේකම්ගේ වගකීම: ප්‍රතිපත්ති තීරණ සහ විමර්ශන අතර සීමාව

සාක්ෂි විමසීම ආරම්භයේදීම නීතිඥ නුවන් බෝපගේ අවධානය යොමු කළේ, රට තුළ සිදුවන පැහැරගැනීම් සහ අතුරුදන්වීම් විමර්ශනය කිරීමේ වගකීම පැවතියේ කුමන ආයතනවලටද යන්න පිළිබඳවය. ඊට පිළිතුරු දෙමින් ගෝඨාභය රාජපක්ෂ පැහැදිලි කළේ, ආරක්ෂක ලේකම්වරයා ලෙස තම කාර්යභාරය සීමා වූයේ ජාතික ආරක්ෂාව පිළිබඳ ප්‍රතිපත්තිමය තීරණ ගැනීමට පමණක් බවයි.

“ආරක්ෂක ලේකම් හැටියට මම කරන්නේ ප්‍රතිපත්තිමය තීන්දු ගැනීමයි. ආරක්ෂක කටයුතු ගැන ජනාධිපතිවරයාට උපදෙස් දීම, හමුදාපතිවරුන් පත් කිරීමට අදාළ කටයුතු සහ අවශ්‍ය පිරිස් බලය වැඩි කිරීම වැනි කටයුතු සඳහන් කරන්න පුළුවන්. හැම සිද්ධියක්ම මට වාර්තා වෙන්නේ නැහැ. පැහැරගැනීම් හා පහරදීම් වුණා නම් ඊට අදාළ පැමිණිලි ඉදිරිපත් කළ පොලිස් ස්ථානවලින් පියවර ගන්න ඇති. විමර්ශන කිරීම මගේ සෘජු වගකීම නෙවෙයි.”

කෙසේ වෙතත්, තමන් විමසන්නේ ප්‍රතිපත්තිමය වගකීම් නොව පැහැරගැනීම් විමර්ශනය කිරීමට ආයතන පැවතියේද යන්න බව නීතිඥ බෝපගේ යළි පැහැදිලි කළ විට, එවැනි විමර්ශන පොලිසිය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ බුද්ධි අංශ වැනි ආයතන විසින් සිදු කරන බව සාක්ෂිකරු පිළිගත්තේය.

2. කීත් නොයාර් පැහැරගැනීම, දොම්පේ රහසිගත නිවස සහ 23 වැනි ලේඛනය

ඉන් අනතුරුව ප්‍රශ්න කිරීම යොමු වූයේ මාධ්‍යවේදී කීත් නොයාර් පැහැරගෙන ගොස් පහරදීමේ සිද්ධිය වෙතය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදු කළ විමර්ශන වාර්තාවක් සහ 23 වැනි ලේඛනය අධිකරණය හමුවේ ඉදිරිපත් කළ නීතිඥ බෝපගේ, කීත් නොයාර් පැහැරගැනීමෙන් පසු එවකට පොලිස්පති ජයන්ත වික්‍රමරත්නට සහ හිටපු බුද්ධි අංශ ප්‍රධානී මේජර් ජෙනරාල් හෙන්දාවිතාරණට ගෝඨාභය රාජපක්ෂ දුරකථන ඇමතුම් මගින් කතා කළ බවට එම වාර්තාවේ සඳහන් වන බව පෙන්වා දුන්නේය.

  • ගෝඨාභය රාජපක්ෂගේ පිළිතුර: අදාළ විමර්ශන වාර්තාව තමන්ට ලැබුණේ පසුව බවත්, ඒ පිළිබඳව තමන්ට අවබෝධයක් නොමැති බවත් ඔහු කියා සිටියේය. කෙසේ වෙතත් යම් සිදුවීමක් පිළිබඳව තමන්ට සෘජුවම දැනුම් දුනහොත් ඒ බව පොලිස්පතිවරයාට සහ බුද්ධි අංශ ප්‍රධානියාට දැනුම් දීම තමන් සිදු කරන නමුත් එය සෘජු මැදිහත්වීමක් ලෙස හැඳින්විය නොහැකි බව ඔහු සඳහන් කළේය.
  • නිදහස් කිරීමේ නියෝගය ප්‍රතික්ෂේප කිරීම: කීත් නොයාර් දොම්පේ ප්‍රදේශයේ පිහිටි රහසිගත නිවසක රඳවා තබාගෙන පසුව නිදහස් කෙරුණේ ගෝඨාභය රාජපක්ෂගේ දැනුවත්භාවය හා නියෝගය මත බවට නීතිඥ බෝපගේ යෝජනා කළ අවස්ථාවේදී, “සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරනවා ස්වාමීනී” යනුවෙන් පැවසූ සාක්ෂිකරු එය සත්‍යයක් නොවන හුදු යෝජනාවක් පමණක් බව කියා සිටියේය.

3. පෝද්දල ජයන්තව නොදනී — බන්දුල පද්මකුමාරව හඳුනයි

2009 ජූලි 01 වැනිදා මාධ්‍යවේදී පෝද්දල ජයන්ත සුදු වෑන් රථයකින් පැහැරගෙන ගොස් පහරදීමේ සිද්ධිය සහ ඊට පෙර ආරක්ෂක අමාත්‍යාංශයේදී සිදුවූ බව කියන හමුවීමක් පිළිබඳව අධිකරණයේදී තියුණු ප්‍රශ්න හා පිළිතුරු හුවමාරුවක් සිදු විය.

  • නීතිඥ නුවන් බෝපගේ: මාධ්‍යවේදී පෝද්දල ජයන්තව ඔබ දන්නවාද?
  • ගෝඨාභය රාජපක්ෂ: නැහැ, ස්වාමීනී.
  • නීතිඥවරයා: ඔබ මාධ්‍යවේදී බන්දුල පද්මකුමාර හඳුනනවාද?
  • ගෝඨාභය රාජපක්ෂ: ස්වාමීනී, ඔහුව නම් දන්නවා.
  • නීතිඥවරයා: 2009 වසරේ බන්දුල පද්මකුමාර සහ පෝද්දල ජයන්ත ආරක්ෂක අමාත්‍යාංශයට ඇවිත් ඔබ හමු වුණා නේද?
  • ගෝඨාභය රාජපක්ෂ: ඒක මතක නැහැ, ස්වාමීනී.

ආරක්ෂක ලේකම්වරයා හමුවීමට බොහෝ පුද්ගලයන් පැමිණෙන බැවින් එම දෙදෙනා පැමිණි බවට විශේෂ මතකයක් නොමැති බවත්, පෝද්දල ජයන්ත පැහැරගෙන යාමේ දිනය හෝ සම්පූර්ණ සිදුවීම පිළිබඳවම තමන්ට මතකයක් හෝ සෘජු දැනුවත්භාවයක් නොමැති බවත් ඔහු අධිකරණයට දැනුම් දුන්නේය. එවැනි සිදුවීමක් සිදුවූයේ නම් අදාළ නිලධාරීන් තමන්ට දැනුම් දී තිබෙන්නට ඇති බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

4. විවෘත අධිකරණයේ දෙවරක් වාදනය වූ හඬපටය සහ කුමාර් ගුණරත්නම් පිළිබඳ හෙළිදරව්ව

ඊයේ සාක්ෂි විභාගයේ වඩාත්ම ආන්දෝලනාත්මක අවස්ථාව උදා වූයේ 2015 නොවැම්බර් 08 වැනිදා ‘සත්හඬ’ පුවත්පතේ ගෝඨාභය රාජපක්ෂගේ ඡායාරූපයක් ද සමඟ පළවූ සම්මුඛ සාකච්ඡාවක් සහ ඊට අදාළ බව කියන හඬපටයක් අධිකරණයට ඉදිරිපත් කිරීමත් සමඟය.

පුවත්පත් පිටුව පමණක් ඉදිරිපත් කිරීමෙන් එය තමන් ලබා දුන් සාකච්ඡාවක් බව පිළිගත නොහැකි බව ගෝඨාභය රාජපක්ෂ පැවසූ අතර, කුමාර් ගුණරත්නම් පැහැරගෙන ගොස් අතුරුදන්ව සිටියදී ඔස්ට්‍රේලියානු තානාපති කාර්යාලයේ මැදිහත්වීමෙන් නිදහස් කරගත් බව කියන සිදුවීම ගැනද තමන්ට මතකයක් නොමැති බව කියා සිටියේය.

අනතුරුව අදාළ සම්මුඛ සාකච්ඡාවේ හඬපටය යාපනය මහේස්ත්‍රාත් අධිකරණයේ සිට වාදනය කෙරුණු අතර, එය පැහැදිලිව නොඇසෙන බව සාක්ෂිකරු දැනුම් දීමෙන් පසු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේදීද එය යළි වාදනය කර ඇසීමට අවස්ථාව සලසා දෙනු ලැබීය.

එහිදී අදාළ හඬපටයේ ලිඛිත පිටපතක් ගෝඨාභය රාජපක්ෂ වෙත ඉදිරිපත් කළ නීතිඥ නුවන් බෝපගේ, කුමාර් ගුණරත්නම් සොයාගැනීමට හැකිවීම වාසනාවක් බවත් ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා ජනතා විමුක්ති පෙරමුණෙන් තොරතුරු ලැබී තිබූ බවත් එම හඬපටයේ සඳහන් වන බව අධිකරණයට දැනුම් දුන්නේය. එම පිටපත උපුටා දක්වමින් නීතිඥවරයා මෙසේ ප්‍රශ්න කළේය:

“‘ජේවීපී එකට තදින්ම වුවමනාවක් තිබුණා එයාව අත්අඩංගුවට ගන්න. අනුර කුමාරත් කතා කරලා කියනවා එහේ ඉන්නවා මෙහෙ ඉන්නවා කියලා. පින්තූර එවනවා’ යනාදී වශයෙන් එම සාකච්ඡාවේදී ඔබ ප්‍රකාශ කර තිබුණා නේද?”

ඊට පිළිතුරු දෙමින් ගෝඨාභය රාජපක්ෂ සඳහන් කළේ, හඬපටය පැහැදිලිව නොඇසෙන බැවින් එය තමන්ගේම හඬපටයක් හෝ ප්‍රකාශයක් බව නිශ්චිතව පිළිගත නොහැකි බවයි. මීට පෙර කුමාර් ගුණරත්නම්ගේ සිදුවීම පැහැරගැනීමක් ලෙස සඳහන් කර තිබූ බැවින් අත්අඩංගුවට ගැනීමක් පිළිබඳව තමන්ට අවබෝධයක් නොමැති බවත්, බොහෝ කලකට පෙර සිදුවූ කරුණු නිසා ඒ සම්බන්ධයෙන් සවිස්තරව කිසිවක් ප්‍රකාශ කළ නොහැකි බවත් ඔහු පැවසීය.

5. විත්තියේ විරෝධතාව සහ 2027 පෙබරවාරි දක්වා කල් තැබීම

මෙම ප්‍රශ්න කිරීම් සිදුවන අතරතුර, යාපනය මහේස්ත්‍රාත් අධිකරණයේදී ගෝඨාභය රාජපක්ෂගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අවස්ථා කිහිපයකදීම අධිකරණය හමුවේ විරෝධතා මතු කළේය. පැමිණිලි පාර්ශ්වය විසින් විමසන ප්‍රශ්න බොහොමයක් ලලිත්–කුගන් නඩුකරයට සම්බන්ධ නොවන පිටස්තර කරුණු බව ඔහු අධිකරණයට පෙන්වා දුන්නේය.

දීර්ඝ සාක්ෂි විභාගය අවසානයේදී, නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය 2027 පෙබරවාරි මස 12 වැනිදා දක්වා කල් තැබීමට යාපනය මහේස්ත්‍රාත් එස්. ලෙනින් කුමාර් නියෝග කළ අතර, එදිනටද අධිකරණය හමුවේ පෙනී සිට සාක්ෂි ලබා දෙන ලෙස ගෝඨාභය රාජපක්ෂට අවවාද කරමින් නියෝග කෙරිණි.

වසර පහළොවකට පෙර යාපනයේදී අතුරුදන් වූ ලලිත් සහ කුගන් පිළිබඳ සත්‍යය සොයා යන අධිකරණ ක්‍රියාවලිය තුළ, මෙරට දේශපාලන ඉතිහාසයේ වඩාත්ම කතාබහට ලක්වූ පැහැරගැනීම්, මාධ්‍ය මර්දන සහ දේශපාලන හෙළිදරව් රැසක් යළිත් නිල අධිකරණ වාර්තා අතරට එක්වීම මෙම සාක්ෂි විභාගයේ කැපී පෙනෙන සන්ධිස්ථානයක් බවට පත්ව තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button