දේශපාලන

ලියාපදිංචි නොකළ වාහනයක් භාවිත කිරීමේ වරදට හිටපු ඇමති ජොන්ස්ටන්ට ලැබුණු දඬුවම් මොනවා ද?

මෝටර් රථ ප්‍රවාහන පනත යටතේ ගොනු කර තිබූ චෝදනා කිහිපයකට වරද පිළිගත් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුට අත්හිටවූ සිරදඬුවමක් සහ දඩ මුදල් නියම කිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කරන ලදී.

2023 දෙසැම්බර් 5 වැනිදා සිට 2024 ඔක්තෝබර් 4 වැනිදා දක්වා කාලසීමාව තුළ සිදු කළ බවට එල්ල වූ චෝදනා තුනකට වරදකරු කෙරුණු විත්තිකාර හිටපු අමාත්‍යවරයාට අධිකරණය විසින් පහත පරිදි දඬුවම් නියම කරනු ලැබීය:

  • ලියාපදිංචි නොකළ වාහනයක් භාවිත කිරීම: අදාළ කාලසීමාව තුළ ලියාපදිංචි නොකළ වාහනයක් භාවිත කිරීමේ චෝදනාවට රුපියල් 5,000ක දඩයක් නියම කළ අතර, එම දඩය නොගෙවන්නේ නම් මාස තුනක ලිහිල් සිරදඬුවමක් නියම කෙරිණි.
  • අනුමැතියකින් තොරව එකලස් කළ වාහනයක් ධාවනය කිරීම: මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්වරයාගේ ලිඛිත අනුමැතියකින් තොරව එකලස් කරන ලද වාහනයක් බව දනිමින් එය ධාවනය කිරීමේ චෝදනාවට රුපියල් ලක්ෂයක දඩයක් නියම කෙරිණි. එම දඩ මුදල නොගෙවන්නේ නම් මාස හයක ලිහිල් සිරදඬුවමක් නියම කළ අතර, ඊට අමතරව එම චෝදනාව සඳහා නියම කළ මාසයක ලිහිල් සිරදඬුවම වසර 5කට අත්හිටුවීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.
  • වංචනික ලෙස අංක තහඩුවක් භාවිත කිරීම: අදාළ කාලසීමාව තුළ එම මෝටර් රථය සඳහා KM - 5421 දරන අංක තහඩුව වංචනික ලෙස සවිකර භාවිත කිරීමේ චෝදනාවට රුපියල් 25,000ක දඩයක් නියම කෙරුණු අතර, එය නොගෙවන්නේ නම් මාස තුනක ලිහිල් සිරදඬුවමක් නියම විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button