දේශීය

පාස්කු දින ප්‍රහාරය – හිටපු ජනාධිපති සිරිසේනගේ භූමිකාව

බුද්ධි අංශ විසින් ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් නිශ්චිත තොරතුරු ලබා දී තිබියදීත් ප්‍රහාර වලක්වා නොගැනීමට කටයුතු කළ බවට එවකට ලංකාවේ ජනාධිපතිවරයා වු මෛත්‍රීපාල සිරිසේනට ඔහු නියෝජනය කළ රජයෙන් මෙන්ම වත්මන් රජයෙන්ද චෝදනා එල්ල වෙමින් පවති.

පාස්කු ප්‍රහාරය එල්ලවූ සමයේ ශ්‍රී ලංකාවේ ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ රුවන් විජේවර්ධන පසුගිය අප්‍රේල් 12 වන දා සිය ෆේස්බුක් පිටුවේ සදහන් කර තිබුනේ පාස්කු ප්‍රහාරය එල්ල වන විට රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය ධූරයේ කටයුතු තමා වෙත ගැසට් කර ජනාධිපතිවරයා විසින් පවරා තිබුණේ සීමා සහිත විෂයයන් කිහිපයක් පමණක් බවයි.

ඒ අනුව ජාතික ආරක්ෂාවට අදාලව කිසිම බලතලයක් මා වෙත පවරා නොතිබුණා පමණක් නොව ජාතික ආරක්ෂාව පිළිබඳ කිසිදු තීරණයක් දැන ගැනීමේ අවකාශය පවා අහුරාලීමට ජනාධිපතිවරයා කටයුතු කර තිබුණා.

ප්‍රහාරයට මේ දක්වා අදාළ වගකිවයුත්තන් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක වී නැති බව පිළිගන්නා රුවන් විජේවර්ධන වැඩි දුරටත් චෝදනා කර තිබුනේ පාස්කු ප්‍රහාරය සහ ඒ සම්බන්ධයෙන් වගකීම් පැහැර හරින ලද පුද්ගලයන් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක වීම පිළිබඳ පවසමින් එය තම ජනාධිපතිවරණ වේදිකාවේ ප්‍රධාන ප්‍රචාරක මාතෘකාවක් බවට පත් කරගත් වත්මන් රජයද බලයට පත් වීමෙන් පසු වරදකරුවන් අල්ලා ගැනීමට උනන්දුවක් නොදක්වන බවයි.

මේ සියලු කරුණු පිටුපස රටේ සේනාධිනායකයා සහ ආරක්ෂක අමාත්‍යවරයා ලෙස කටයුතු කළ මෛත්‍රීපාල සිරිසේන අද ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පොළොන්නරු දිස්ත්‍රික් අපේක්ෂකයෙක්. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් චෝදනා නැඟුවන් සහ වගකීම් පැහැර හැරි බවට ප්‍රධාන වශයෙන් චෝදනාවට ලක් වූවන් අද සිටින්නේ එකම දේශපාලන කඳවුරක.

මේ අතර පාස්කු ඉරිදා ප්‍රහාරයට වසරක් පිරීම නිමිත්තෙන් විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සදහන් කර ඇත්තේ පාස්කු ඉරිදා මිනිස් ඝාතනය පහසු කළ පසුබිම නිර්මාණය වූයේ පසුගිය ආණ්ඩුව විසින් ජාතික ආරක්ෂාව අමතක කොට ආරක්ෂක සැලසුම් සහ විධිවිධාන අත්හැර තිබූ නිසා බවයි.

“එවැනි අරාජික පරිසරයක අන්තවාදය සහ ත්‍රස්තවාදය හිස එසවීම අරුමයක් නොවේ.”

ඔහු සිය නිවේදනය මගින් වැඩි දුරටත් අවධාරණය කර තිබේ.

“සියලු ජන කොටස්වල ආරක්ෂාව තහවුරු කරන බවටත්, කුමන ආකාරයක හෝ අන්තවාදයට, අන්තවාදී ප්‍රචණ්ඩත්වයට ඉඩ නොතබන බවටත්, පාස්කු ඉරිදා ප්‍රහාරයට වගකිවයුත්තන් නිශ්චිතව හඳුනාගෙන නීතිය හමුවට පමණුවන බවටත් මම මගේ ජනතාවට සහතික වෙමි…”

ඔහු සිය නිවේදනය මගින් වැඩි දුරටත් අවධාරණය කර තිබේ.

කෙසේ නමුත් වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්ව සිටියදී, අන්තවාදී ඉස්ලාමීය කණ්ඩායමක් වන ජාතික තවුහීද් ජමාත් සංවිධානයේ නායක බෝම්බ ප්‍රහාරයේ මහ මොළකාර මොහොමඩ් සහරාන් හෂීම් ඔත්තුකාරයකු ලෙස ආණ්ඩුවෙන් වැටුප් ලබාගෙන ඇති බවටද තොරතුරු හෙළිවී තිබුණි.

සහරාන් හෂීම් ඇතුළු කල්ලි කණ්ඩායම් වලට මුල්‍යමය වශයෙන් ආධාර උපකාර කළේ තම ආණ්ඩුවෙන් බවට මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ කැබිනට් ප්‍රකාශකයා විසින් තහවුරු කර තිබුණි.

”ඔව්, සහරාන්ට සල්ලි දුන්නේ අපි තමයි. ඇයි?” -කෙහෙළිය, ඇමති නලින් සමග ‘ගේමක්’ ඉල්ලයි

“ඔව් හරි, සහරාන්ටත් ගෙව්වා, පොට්ටු අම්මාන්ටත් ගෙව්වා. ඒ නිසා අපේ බුද්ධි අංශය නිසා තමයි ඒවා බේරිලා හිටියේ….”

යැයි කෙහෙළිය රඹුක්වැල්ල 2019 වසරේ සැප්තැම්බරයේ ‘හිරු’ ටෙලිවිශනයේ ‘බලය’ වැඩසටහනට එක්වෙමින් ප්‍රකාශ කර සිටියේය.

පාස්කු ප්‍රහාරයෙන් පසු ජාතිවාදී ප්‍රහාර

දිවයිනේ කතෝලික දේවස්ථාන දෙකක්, ක්‍රිස්තියානි දේවස්ථානයක් සහ කොළඹ ප්‍රධාන පෙලේ සංචාරක හෝටල් තුනක් ඉලක්ක කර ගනිමින් මරාගෙන මැරෙන බෝම්බ කරුවන් කණ්ඩායමක් විසින් 2019 අප්‍රේල් 21 වෙනිදා එල්ල කරන ලද බෝම්බ ප්‍රහාරවලට හසුවී 250ට අධික පිරිසක් මරණයට පත් වු අතර තවත් පන්සීයකට වැඩි පිරිසක් ඉන් තුවාල ලැබුහ.

ප්‍රහාරයෙන් අනතුරුව දේශපාලනඥයන්ගේ මෙහෙයවීමෙන් රටේ ස්ථාන කිහිපයකදීම මුස්ලිම් විරෝධී ජාතිවාදී ප්‍රහාර මාලාවක් එල්ල වු අතර එහිදී එක් මුස්ලිම් වැසියකු මරණයට පත් වුයේ මුස්ලිම් මෙන්ම සිංහල ජනයාගේද විශාල දේපල විනාශයක් සිදු කරමිනි.

එම අපරාධ සම්බන්ධයෙන් කිසිවකුත් අත් අඩංගුවට ගෙන උසාවි ගෙන ආ බවක් දැනගන්නට නැත.

පාස්කු බෝම්බ ප්‍රහාර සම්බන්ධයෙන් සොයා බැලීමට හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් පත් කරන ලද කොමිසම් දෙකක වාර්තා තුනක් ඔහුට සහ වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට භාරදී තිබුනත් එහි අඩංගු තොරතුරු මේ තාක් ප්‍රසිද්ධියට පත් කර නැත.

අලුත් මුහුණුවරක පරීක්ෂණ

පාස්කු ප්‍රහාරය ඇතුළු ජන අවධානය යොමුවූ අපරාධ ගණනාවක විමර්ශනවලින් එතෙක් එම කටයුතු කළ හිටපු CID අධ්‍යක්ෂ ශානි අබේසේකර ඇතුළු නිලධාරීන් ඉවත් කර අලුත් කණ්ඩායම් වලට බාර දීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ බලයට පත්වීමෙන් අනතුරුව පියවර ගන්නා ලදී.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න පවසන පරිදි පාස්කු ප්‍රහාර සම්බන්ධයෙන් “අලුත් මුහුණුවරකින්” විමර්ශන කටයුතු ආරම්භ කිරීමෙන් අනතුරුව ලේඛකයකු හා සිවිල් ක්‍රියාධරයකුවන නීතිඥ හෙජාස් හිස්බුල්ලා, හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් ගේ සහෝදරයකු සහ නම් නොකළ රේගු නිලධාරියකු ඇතුළු හය දෙනකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අප්‍රේල් 14 දා අත් අඩංගුවට ගෙන තිබුණි.

නීතිඥ හෙජාස් හිස්බුල්ලා අත් අඩංගුවට ගැනීම නීති විරෝධී හා අත්තනෝමතික ක්‍රියාවක් ලෙස ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් විරෝධය පල කර තිබේ.

පාර්ලිමේන්තුවේ තේරීම් කාරක සභාවක් විසින් සිදු කරන ලද විමර්ශනයක වාර්තාව පසුගිය ඔක්තෝබරයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.

ආරක්ෂක සහ බුද්ධි අංශයේ ප්‍රතිසංස්කරණ ඇතුළු නිර්දේශ ගණනාවක් එහි අඩංගු විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button