ජනවාරි 01 සිට හිතුමතේ ඇමතුම්, SMS, WhatsApp සහ ඊමේල් එවීමට වැට බඳී: නීති කඩන ආයතනවලට මිලියන 10 දක්වා දඩ

ඔබ අතිශය කාර්යබහුල මොහොතක දුරකථනයට ප්‍රතිචාර දක්වන විට, කිසිදා සම්බන්ධ නොවූ රක්ෂණ සමාගමකින්, බැංකුවකින් හෝ අලෙවිකරණ ආයතනයකින් ලැබෙන අනවශ්‍ය ඇමතුම්, SMS, WhatsApp සහ විද්‍යුත් තැපැල් (Email) පණිවුඩ අද වන විට ශ්‍රී ලාංකික පුරවැසියන්ට දැඩි හිසරදයක් බවට පත්ව තිබේ. තමන්ගේ අනුදැනුමකින් තොරව තම දුරකථන අංකය හා පෞද්ගලික විස්තර පිටස්තර සමාගම් අතට පත්වන්නේ කෙසේද යන්න මෙතෙක් බොහෝ දෙනෙකුට පැවැති ප්රශ්නයකි.
එම අනවසර දත්ත භාවිතයට සහ හිතුමතේ කෙරෙන ප්‍රවර්ධන ඇමතුම් හා පණිවුඩවලට නීතිමය සීමා පැනවෙමින්, 2022 අංක 09 දරන පෞද්ගලික දත්ත ආරක්ෂණ පනතේ ප්‍රධානතම විධිවිධාන (පළමු සහ තෙවන කොටස්) 2027 ජනවාරි 01 වැනිදා සිට නිල වශයෙන් බලාත්මක වේ. ඒ අනුව නව වසරේ සිට මෙරට සියලුම රාජ්‍ය සහ පෞද්ගලික ආයතනවලට පුරවැසියන්ගේ දත්ත සුරැකීම සම්බන්ධයෙන් දැඩි නීතිමය වගකීම් රැසකට යටත් වීමට සිදුවේ.
1. ආරක්ෂා වන දත්ත සහ පනත අදාළ වන ආයතන
දත්ත ආරක්ෂණ අධිකාරියේ (DPA) අධ්යක්ෂ ජනරාල් දිමුත් භාෂිත අතපත්තු පෙන්වා දෙන්නේ මෙම පනත මගින් පුද්ගලයෙකුගේ නම, ලිපිනය, දුරකථන අංකය සහ ජාතික හැඳුනුම්පත් අංකය පමණක් නොව, ඇඟිලි සලකුණු, ශරීර වර්ණය සහ ශරීර ස්වභාවය ඇතුළු සියලු පෞද්ගලික තොරතුරු ආරක්ෂා වන බවයි.
මෙම නීතිය ක්‍රියාත්මක වන්නේ මහා පරිමාණ සමාගම්වලට පමණක් නොවේ:
- දේශීය රාජ්‍ය හා පෞද්ගලික ආයතන: කුඩා ව්‍යාපාරයක සිට මහා පරිමාණ බැංකු, රෝහල්, පාසල්, විශ්වවිද්‍යාල, රාජ්‍ය අමාත්‍යාංශ සහ දෙපාර්තමේන්තු දක්වා පුද්ගල තොරතුරු රැස් කරන හෝ ගබඩා කරන සෑම ආයතනයකටම මෙම නීතිය අදාළ වේ. කුඩා ව්‍යාපාරයක් වුවද පාරිභෝගික දුරකථන අංක, සේවක වැටුප් විස්තර හෝ ආරක්ෂක කැමරා (CCTV) දර්ශන පවත්වාගෙන යන්නේ නම් මෙම නීතියට යටත් විය යුතුය.
- විදේශීය ආයතන: ශ්‍රී ලංකාවේ සිටින පුද්ගලයන්ට භාණ්ඩ හෝ සේවා සපයන හෝ ඔවුන්ගේ හැසිරීම් නිරීක්ෂණය කරන විදේශීය ඔන්ලයින් වෙළෙඳසැල්, හෝටල් සමූහ සහ මෘදුකාංග සමාගම් ද මෙම පනතට අනුකූලව කටයුතු කළ යුතුය.
2. ආයතන පිළිපැදිය යුතු දැඩි නීතිමය මූලධර්ම
2027 ජනවාරි 01 වැනිදා සිට පෞද්ගලික දත්ත සැකසීමේදී සෑම ආයතනයක්ම පනතේ පළමු කොටසේ සඳහන් මූලධර්මවලට අනුගත විය යුතුය:
- නීත්‍යනුකූල පදනම සහ කැමැත්ත: යම් පුද්ගලයෙකුගේ දත්ත රැස් කිරීමට පෙර අදාළ පුද්ගලයාගේ පැහැදිලි කැමැත්ත ලබා ගැනීම හෝ ගිවිසුමක් ඉටු කිරීම සඳහා අත්‍යවශ්‍ය වීම වැනි නීත්‍යනුකූල පදනමක් තිබිය යුතුය.
- නිශ්චිත අරමුණට සීමා වීම: දත්ත රැස් කළ හැක්කේ පැහැදිලි හා නීත්‍යනුකූල අරමුණක් සඳහා පමණක් වන අතර, එම අරමුණට පටහැනි වෙනත් ප්‍රවර්ධන හෝ වාණිජ කටයුතු සඳහා එම දත්ත භාවිත කළ නොහැකිය.
- අවම දත්ත ප්‍රතිපත්තිය: අදාළ කාර්යය ඉටු කිරීමට අත්‍යවශ්‍යම තොරතුරු ප්‍රමාණය පමණක් රැස් කළ යුතු අතර, අනවශ්‍ය ලෙස පුද්ගලික විස්තර එකතු කිරීම නීති විරෝධී වේ.
- යාවත්කාලීන බව සහ විනාශ කිරීම: ගබඩා කර ඇති දත්ත නිවැරදිව තබා ගත යුතු අතර, අදාළ අරමුණ අවසන් වූ පසු ඒවා අනවශ්‍ය ලෙස තබා නොගෙන විනාශ කළ යුතුය.
- සංවේදී දත්ත සහ මියගිය අයගේ දත්ත: වයස අවුරුදු 16ට අඩු දරුවන්ගේ දත්ත, සෞඛ්‍ය වාර්තා, ජානමය හා ජෛවමිතික තොරතුරු, ආගමික හෝ දේශපාලන මතවාද සැකසීමේදී විශේෂ ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කළ යුතුය. තවද මියගිය පුද්ගලයන්ගේ දත්ත පවා ඔවුන් මියගොස් වසර 10ක් යන තෙක් මෙම පනත යටතේ ආරක්ෂා වේ.
- දත්ත කාන්දු වීම් දැනුම් දීම: ආයතනයක් සතු පෞද්ගලික දත්ත පිටස්තර පාර්ශ්වයක් අතට පත් වුවහොත් හෝ ආරක්ෂාව බිඳ වැටුණහොත්, ඒ පිළිබඳව වහාම දත්ත ආරක්ෂණ අධිකාරිය (DPA) වෙත දැනුම් දීම අනිවාර්ය වේ.
මේ අතර රාජ්‍ය ආයතන සතුව පවතින උප්පැන්න, හැඳුනුම්පත්, ඉඩම් ඔප්පු, වෛද්‍ය වාර්තා සහ බදු තොරතුරු සුරක්ෂිත කිරීමේ ක්‍රමවේද 2027 ජනවාරි 01 වැනිදාට පෙර සකස් කරන ලෙස දන්වමින් ශ්‍රී ලංකා දත්ත ආරක්ෂණ අධිකාරිය විසින් 2026 ජූලි මාසයේදී අංක 01/2026 දරන විශේෂ චක්‍රලේඛය සහ උපදෙස් මාලාව රාජ්‍ය ආයතන වෙත නිකුත් කර තිබේ.
3. රෝහල් හා සුපිරි වෙළෙඳසැල් දත්ත අවභාවිතයට එරෙහිව මිලියන 10ක දඩ
මෙම පනත බලාත්මක වීමෙන් ඩිජිටල් බැංකුකරණය සහ ඊ-වාණිජ්‍ය කටයුතු කෙරෙහි ජනතා විශ්වාසය තහවුරු වන බවත්, යුරෝපයේ GDPR වැනි ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල නීතියක් ක්‍රියාත්මක වීම නිසා විදේශීය තොරතුරු තාක්ෂණ සමාගම් සහ BPO ආයතනවලට බියකින් තොරව ශ්‍රී ලංකාව සමඟ ගනුදෙනු කිරීමට හැකි වන බවත් අධ්යක්ෂ ජනරාල් දිමුත් භාෂිත අතපත්තු පෙන්වා දෙයි.
වර්තමානයේ සිදුවන දත්ත අවභාවිතය සහ නව නීතිය යටතේ පැනවෙන දඬුවම් පිළිබඳව ඔහු මෙසේ සඳහන් කළේය:
“අපේ රටේ සෑම සුපර් මාකට් එකක වගේම සාමාන්‍ය වෙළෙඳසැල්වල පවා පෞද්ගලික තොරතුරු ගන්නවා. මේ පනත අනුව දැන් එහෙම හිතු හිතු විදියට පෞද්ගලික තොරතුරු රැස් කරන්න බෑ. රෝහලේදී දරුවා බිහිකරලා ගෙදරට රැගෙන යන අතරමඟදී දරුවා රක්ෂණය කරන්න කියලා දුරකථන ඇමතුම් ලැබෙන අවස්ථා ගැන අපට තොරතුරු ලැබිලා තියෙනවා. ඒ රක්ෂණ සමාගමට තොරතුරු ලැබුණේ කොහොමද? මේ විදියට රාජ්‍ය හා පෞද්ගලික ආයතන ගන්නා පෞද්ගලික තොරතුරු අවභාවිත වන අවස්ථා ලබන ජනවාරි පළමුදා සිට නියාමනයට ලක්වෙනවා.”
මෙම පනත යටතේ යම් රාජ්‍ය හෝ පෞද්ගලික ආයතනයක් වරදක් කළ බව ඔප්පු වුවහොත් රුපියල් මිලියන 10ක් දක්වා දඩයක් නියම කළ හැකි අතර, එම වරද නැවත නැවත සිදු කරන්නේ නම් දඩ මුදල දෙගුණ තෙගුණ කිරීමේ බලය ද දත්ත ආරක්ෂණ අධිකාරිය සතු බව අධ්යක්ෂ ජනරාල්වරයා අවධාරණය කළේය. මෙය නව පනතක් බැවින් සියලුම රාජ්‍ය හා පෞද්ගලික ආයතන දැනුවත් කරමින් පනතට අනුගත වීමට කාලයක් ලබා දී ඇති බවත්, එම කාලය තුළ සියලු ආයතන නීති ප්‍රකාරව කටයුතු කිරීමට සූදානම් විය යුතු බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.



