දේශීය

‘GovPay’ නමින් එන ව්‍යාජ දඩ පණිවුඩවලට නොරැවටෙන්න – ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයෙන් අනතුරු ඇඟවීමක්

රජයේ ඩිජිටල් ගෙවීම් පද්ධතිය වන ‘GovPay’ නාමය අවභාවිත කරමින් මේ දිනවල සංසරණය වන ව්‍යාජ කෙටි පණිවුඩ (SMS) ජාලයක් පිළිබඳව සැලකිලිමත් වන ලෙස ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය මහජනතාව වෙත විශේෂ අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ.

පොලිස් රථවාහන අංශය මඟින් යොමු කරන ලද ආකාරයෙන් සකස් කර ඇති මෙම වංචනික කෙටි පණිවුඩ මඟින්, වේග සීමා උල්ලංඝනය කිරීම් සඳහා දඩ මුදල් ගෙවන ලෙස දන්වමින් ව්‍යාජ වෙබ් සබැඳි (Links) ජනතාව වෙත ලැබී ඇති බව අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙයි.

එම කෙටි පණිවුඩ සමඟ එවනු ලබන ‘GovPay’ සබැඳි සම්පූර්ණයෙන්ම අසත්‍ය, ව්‍යාජ සහ ජනතාව නොමඟ යැවීමේ අරමුණින් සකස් කළ සයිබර් වංචාවක් බව ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය අවධාරණය කරයි. කිසිදු දඩ මුදලක් ගෙවන ලෙස දන්වමින් නිල GovPay වේදිකාව හරහා කෙටි පණිවුඩ හෝ දැනුම්දීම් යොමු කිරීමට රජය හෝ අමාත්‍යාංශය කිසිදු අවස්ථාවක පියවර ගෙන නොමැති බවද එම නිවේදනයේ සඳහන් වේ.

GovPay ඩිජිටල් ගෙවීම් පද්ධතිය ක්‍රියාත්මක වන්නේ රජයේ අනුමත නිල සහ ආරක්ෂිත ක්‍රමවේද යටතේ පමණක් බවත්, විශේෂයෙන්ම lygov.art වැනි සැක සහිත හෝ විදේශීය ව්‍යාජ ඩොමේන් (Domains) හරහා කිසිදු දඩ මුදලක් අය කිරීමක් සිදු නොකරන බවත් අමාත්‍යාංශය වැඩිදුරටත් පැහැදිලි කරයි.

පුරවැසියන්ගේ පෞද්ගලික තොරතුරු සහ බැංකු ගිණුම් දත්ත සූක්ෂම ලෙස සොරා ගැනීමේ අරමුණින් මෙම සයිබර් වංචාව ක්‍රියාත්මක කෙරෙන බැවින්, එවැනි සැක සහිත කෙටි පණිවුඩවලට ප්‍රතිචාර දැක්වීමෙන් හෝ ඒවායේ ඇති සබැඳි වෙත පිවිසීමෙන් සම්පූර්ණයෙන්ම වළකින ලෙස ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය මහජනතාවගෙන් ඉල්ලා සිටී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button