අම්මලාට දරුවන් නැති කල රාජ්‍ය අපරාධ
දරුවෙක් නැති වුණු පසු අම්මා කෙනෙක් ඉතිරි නොවන බව කීවේ ඝාතනය කරන ලද මාධ්‍යවේදී රිචඩ් ද සොයිසාගේ අම්මා ය. බලයට පත් වූ ආණ්ඩු අම්මලා සිය ගණනකට දරුවන් නැති කළේය. ඇතැම් අම්මලාට මැරෙන තුරු දොර දෙස බලා සිටින්නට උරුම කළේ දරුවන් අතුරුදන් කරමින් ය. මේ එහෙව් රාජ්‍යයකි. එහෙව් ලෝකයකි.
සිරියාවේ අයිලන් කුර්දි මුහුදු වෙරළේ මහා පොළොව බදාගෙන මිය ගියේය. ඉන්දියාවේ සුර්ජිත් විල්සන් මිය ගියේ තමිල්නාඩුවේ වතුර සොයන සටනට මැදි වූ නිසා ය. අවිධිමත් ලෙස හාරන ලද අඩි සියයකට වඩා ගැඹුරු ළිඳක පතුලේ සිරවී සුර්ජිත් මිය ගියේ ඊයේ ය. තමිල්නාඩුවේ පමණක් මෙසේ මිය ගිය දරුවන් ගණන පහළොව ඉක්මවයි.
යුද්ධය නිසා අසරණව ගම් – බිම් හැර ගිය පස් හැවිරිදි දරුවෙකු ඇතුළු පිරිසක් ආරක්ෂක අංශ මගින් කපා – කොටා මරා දමන ලදි. අධිකරණය මගින් ඊට වගකිවයුත්තන් වැරදිකරුවන් කළේය. ගෝඨාභය රාජපක්ෂ විසින් ජනාධිපතිවරණය ජයග්‍රහණය කළහොත්, පසු දිනම නිදහස් කරන බව කියන්නේ මේ ජාතියේ වැරදිකරුවන් ය. තමිල්නාඩුවේ තාත්තලා වතුර හොයන්නට ළිං හාරද්දී සුර්ජිත්ලා ඒ ඇතුළේ හුස්ම හිර වී මිය යන්නේය. මිරුසුවිල් දරුවන් කපා – කොටා මරා දැමෙන්නේය.
මීතොටමුල්ල කුණු කන්ද නාය ගියේ දෙදහස් දා හතේ අප්‍රේල් දා හතර වැනිදා ය. රට පුරා ජනතාව අලුත් අවුරුද්ද සමරන විට දරුවන් පස් දෙනෙකු ද ඒ් කුණු කන්දට යට විය. මීතොටමුල්ලට කුණු දැමීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නිකුත් කළ වාරණ නියෝග දෙකක් තිබිණි. අංක S/T/F/R/3/2015 සහ 18/2015 ඒවාගේ නඩු අංක විය. මහින්ද රාජපක්ෂ ආණ්ඩුව මෙන්ම මෛත්‍රිපාල සිරිසේන ආණ්ඩුව ද ඒ නඩු තීන්දු කුණු කූඩයට දමා, අක්කර විස්සක කුණු කන්දක් හැදුවේය. දිනකට කුණු ටොන් අටසීයක් හැලූ මීතොටමුල්ල නාය ගියේ ජීවිත රැසක් විනාශ කර දමමින් ය.
තවත් සිය ගණනක් අම්මලාට මෙසේ දරුවන් අහිමි වීමට නියමිත ය. එම නිසා යළිත් කිව යුතුය. මේ ආණ්ඩු වලට ඔබේ දරුවා රකින්නට අවශ්‍ය නැත. මේ පාලකයන්ට ඔබේ දරුවා වටින්නේ නැත. දරුවන් විකුණමින් ඡන්ද කරන අපේක්ෂකයන් වෙනුවට, දරුවන්ට හෙටක් හදන අපේක්ෂකයන් තෝරා ගත යුත්තේ ඒ් නිසා ය.