අම්මෙකුට දරුවෙක් මෙන්ම රටකට මිනිසෙකු නැති කළ රාජ්‍ය අපරාධය
දරුවෙකු අහිමි වීම යනු තමා ම අහිමි වීම යැයි මනෝරානි සරවනමුත්තු වරක් පැවසුවාය. තිස් වසකට පෙර අද වැනි දවසක, එනම් 1990 වසරේ පෙබරවාරි 18 වැනිදා පැහැරගෙන ගොස් ඝාතනය කළ ඇයගේ ආදරණීය පුතු රිචඩ් ද සොයිසාගේ ප්‍රාණය නිරුද්ධ සිරුර පසු දා, එනම් පෙබරවාරි 19 වැනිදා මොරටුව කොරලවැල්ල මූදු තීරයේ වැතිරී තිබියදී හමු විය. ඒ රෑ පුරා දහස් සංඛ්‍යාත මුහුදු රැලි නැගී බිඳෙන අතරේ මවකගේ ජීවනාභිලාසය, ජීවිත පරමාර්ථය; සියලු කැපකිරීම් සමුදාය එක් නිමේෂයකින් උදුරා ගැනිණ. හිස පසුපසටත් උගුරටත් වැදුණු වෙඩි පහර දෙකක් සහ බිඳුණු හනුවක් සමග රිචඩ් ද සොයිසා නම් සුන්දර මානවකයා සිය තිස් දෙවැනි ජන්ම දිනයට හරියටම මාසයකට පෙර කොරලවැල්ල දුම්රියපොළ පසුපස මූදු තීරය හරහා තම ස්වර්ගීය ගමන් මග අරඹා තිබිණ.
තිස් වසකට එහා අතීතයක වුව ද රිචඩ් ද සොයිසා ද මනෝරානි සරවනමුත්තු ද සිහිපත් වීම වළක්වනු නොහැකි ය. කලන්දක ජාතකයේ පැවසෙන්නේ මුහුදට වැටුණු ලේන් පැටවා බේරා ගන්නට තම වලිගයෙන් මුහුද සිඳලන්නට උත්සාහ කළ ලේන මවක් පිළිබඳව ය.මනෝරානි සරවනමුත්තු ද ඒ ලෙහෙනිය මෙන් ම සයුර කළඹවන දාරක ස්නේහයකින් තම පුතු රිචඩ් ද සොයිසා වෙනුවෙන් සටන් වැදුණා ය. මව්වරුන්ගේ පෙරමුණ නමින් සංවිධානයක් බිහි කර රිචඩ් හා සමාන ඉරණමකට මුහුණ දුන් දරුවන් උදෙසා හඬ අවදි කළා ය.
ඇය, මනෝරානි සරවනමුත්තු 1992 වසරේ දී ලක්දිව පුවත්පත ට මෙසේ ලීවා ය.
“දුර ඈතක සිට රිචඩ් මා දෙස බලා සිටිනවා. මගේ පුතා බොහෝ විට මා හා කතා කරනවා. ඔහු ඔහුගේ දේශයට එදා මෙන් ම ආදරෙයි. ඔහුගේ ජනතාවට එදා මෙන් ම ආදරෙයි. මිය ගිය බොහෝ දරුවන් ඔහු වගේ ම යැයි මා හිතනවා. සත්තකින් ම මා දන්නවා දිනයක් ඒවි. නිසැක ව ම දිනයක් ඒවි. එදිනට අප නොදන්නා යම් තැනක හිඳ ඔවුන් සියල්ලන් මේ දේශයට ඒවි. රිචඩ් මෙන්ම මරා දැමුණු බොහෝ අහිංසක දරුවන් ඔවුන් ආදරය කළ මේ දේශයට ඒවි. ඔවුන් මේ දේශයට ආදරෙයි. ඔවුන් මේ ජනතාවට ආදරෙයි. ‘අම්මා අපි ඔබලාට නිදහස හා ආදරය ගෙන ආවා’ යි කියන ඔවුන්ගේ කටහඬ අපිට ඇසේවි. රිචඩ් පුතුගේ කටහඬ මට ඇසේවි. ඉතින් ඒ දිනය එනතුරාවට මා සටන් කරනවා.”
එනුමුදු රිචඩ් ද සොයිසා නැවත පැමිණියේ නැත. රිචඩ්ගේ වියෝවෙන් දින කීපයකට පසුව රූපවාහිනිය නරඹන මනෝරානි තම පුතුව පැහැරගෙන යාමට පැමිණි කණ්ඩායමේ සිටි පොලිස් නිළධාරියෙකු හඳුනාගෙන මහෙස්‌ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නා ය. ඒ එවකට පොලිස් අධිකාරිවරයෙකු ව සිටි රොනී ගුණසිංහ නම් නිළධාරී තැනය. රෝහිණී පෙරේරා මහේස්ත්‍රාත්වරිය වහාම රොනී ගුණසිංහව අත්අඩංගුවට ගන්නැයි නියෝග කළ නමුත් ඔහුව අත්අඩංගුවට ගැනීමෙන් වළකින්නැයි එවකට රාජ්‍ය ආරක්‍ෂක ඇමැතිව සිටි රන්ජන් විජේරත්න විසින් පොලිසියට නියෝග කර තිබිණ. 1991 මාර්තු මස 2 දා හැව්ලොක් ටවුන් බෝම්බයෙන් රන්ජන් විජේරත්න ඝාතනය වන විට 1993 මැයි 1 දා ආමර් වීදිය බෝම්බයෙන් ජනාධිපති ආර්. ප්‍රේමදාස සමග රොනී ගුණසිංහ ද ජීවිතක්ෂයට පත් විය.
1991 වසරේ මාර්තු මාසයේ දී රාවය පුවත්පතට ලියන මනෝරානි සරවනමුත්තු රිචඩ් ද සොයිසා ට ආමන්ත්‍රණය කර සංවේදී ලිපියක් ලීවා ය. එය මෙලෙසින් අවසන් කළා ය.
“සිනාසෙමු, අපි එකට එදා මෙන් අප අතර වූ පුංචි විහිළුවලට
ජීවිතය ඇත තවමත් එදාමෙන් අප අතර අප අවට
බලා සිටිමි ඔබ එනතුරා අත ළඟම ඇති මද විරාමයකට
සියල්ල යථා පරිදි හොඳින් පවතී”– මනෝරානි අම්මා
මනෝරානි සරවනමුත්‍තු පැවසූ පරිද්දෙන්ම සියල්ල යථා පරිදි හොඳින් පවතී. නමුත් රිචඩ් ද සොයිසා කිසිලෙසකින් හෝ අමතක කළ නොහැකි තරම් වරදකාරී ලෙස මතකයේ රැඳී ඇත.
සහන් කසීර වික්‍රමසිංහ
කවි සංකල්පනාව – ප්‍රියන්ත කොඩිප්පිලි