විශේෂාංග

ජනාධිපති විසින් නිදොස් කොට නිදහස් කිරීම

ඉහත මාතෘකාවේ සඳහන් දෙය සිදුකිරීමට ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයෙකුට නීතිමය බලයක් නැත. යම් පුද්ගලයෙකු “නිදොස් කොට නිදහස්” කිරීමට බලය ඇත්තේ විධිමත් නඩු විභාගයකින් පසුව අධිකරණයට පමණි.

ජනාධිපතිවරයාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් පැවරී ඇති බලතල අනුව අධිකරණය විසින් වරදකරු කරන ලද යම් පුද්ගලයෙකුට සමාව දීමට බලය ඇත. නමුත් ඒ සඳහා ඒ පුද්ගලයා අධිකරණය ඉදිරියේ වරදකරු වී තිබිය යුතුය. කිසිඳු ආකාරයකින් රිමාන්ඩ් භාරයේ සිටින සැකකරුවන් නිදොස් කොට නිදහස් කිරීමට ජනාධිපතිවරයාට බලයක් නැත.

සැකකරුවන් වශයෙන් සිටින පුද්ගලයන් නිදහස් කරන්නේ නම්, එය නීතිපති දෙපාර්තමේන්තුව හරහා සිදුකරන විධිමත් කාර්ය පටිපාටියකට යටත්ව සිදුකල යුත්තකි. යම් පුද්ගලයෙකු රජයේ සාක්ෂිකරුවකු වීම, චෝදනා පවත්වාගෙන යාමට ප්‍රමාණවත් කරුණු නොමැති වීම මත චෝදනා ඉල්ලා අස්කරගැනීම යනාදිය නීතිපති දෙපාර්තමේන්තුවට අදාළ සම්පූර්ණයෙන්ම තාක්ෂණික කාරණා වේ. කිසිදු පුද්ගලයෙකු විසින් තමාගේ දේශපාලන ප්‍රතිපත්තිය වශයෙන් අසවලුන් නිදොස් කොට නිදහස් කරමි යන ස්ථාවරය දැරීම ඒ අනුව නීතියට අනුව ගත්කල යථාර්ථවාදී නොවේ.

ඒ අනුව යම් පුද්ගලයෙකු තමා ජනාධිපති වූ පසු අසවලුන් නිදොස් කොට නිදහස් කරන බව කියන්නේ නම්, එක්කෝ ඒ නීතිය සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳව නොදන්නාකම හේතුවෙන් කරන අහිංසක ප්‍රකාශයකි. නැත්නම් නීතියේ සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කුමක් සඳහන් වන්නේද යන්න සහසුද්දෙන්, ඇති සැටියෙන් දැන දැනම, නීතියට අනුව නම් එසේ නොකළ හැකි බව දනිමින්ම එය උල්ලංඝනය කරමින් අධිකරණයට අතපොවා චූදිතයන් නිදොස් කොට නිදහස් කිරීමට අධිකරණයට බලපෑම් කරන බවට සිදුකරනු ලබන සාපරාධී තර්ජනයක් වේ. එසේත් නැතහොත් නීතිපති දෙපාර්තමේන්තුවට අත පොවා නිසි කාර්ය පටිපාටියෙන් පරිබාහිරව චෝදනා ඉල්ලා අස්කරගැනීමට බලකරන බවට කරනු ලබන චණ්ඩි ප්‍රකාශයකි.

මෙතැනදී නීතිය දන්නා බොහෝ දෙනා පවා ඒ පිළිබඳව නෑසූ කන්ව සිටින්නේ එසේ නිදහස් කරන බව කියන පිරිස හමුදා නිලධාරීන් වීම හේතුවෙනි. හමුදා නිලධාරීන් එක්කෝ කිසිසේත් වැරදි නොකරන පිරිසක් බවට හෝ නැත්නම් හමුදා නිලධාරීන් වැරදි කළද ඔවුන් හමුදා නිලධාරීන් වීම හේතුවෙන් ඒ සඳහා කොන්දේසි විරහිතව සමාව හිමිවිය යුතු බවට වන සාවද්‍ය උපකල්පන වල මේ පිරිස් එල්බ සිටිති.

එසේ අත්අඩංගුවේ සිටින හමුදා නිලධාරීන් අතරින් එක් සිදුවීමක කොළඹ ප්‍රදේශයේ තරුණයන් ගණනාවක් පැහැරගෙන ගොස් රඳවාගෙන සිටිමින් එම තරුණයන්ගේ දෙමාපියන්ගෙන් ඔවුන් නිදහස් කිරීම සඳහා කප්පම් ඉල්ලා සිට පසුව ඒ තරුණයන් මරා දැමූ සිද්ධියක් වෙයි.

තවත් සිද්ධියක් වන්නේ ප්‍රගීත් එක්නැලිගොඩ නම් නිදහස් මාධ්‍යවේදියා පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමයි. බොහෝදෙනා “රණවිරුවන් සිරගත කොට ඇත” යන්නෙන් අදහස් කිරීමට උත්සාහ කරන්නේ යුධමය රාජකාරිය කිරීමේ වරදට ඔවුන් සිරකොට ඇති බවකි. එය ඔවුන්ට දේශපාලනිකව වාසි සහගත වියහැකි නමුත් එය අසන්නෙකුගේ සිත කීරි ගැසිය හැකි නමුත් එය සම්පූර්ණයෙන්ම මුලාවකි. යුධමය හෝ වෙනත් රාජකාරි කිරීම හේතුවෙන් කිසිදු හමුදා පුද්ගලයෙකු මේ දක්වා සිරගත කර නොමැත.

තවත් සිදුවීමක් නම් සුනිල් රත්නායක නැමැත්තාගේ සිදුවීමයි. නිරායුධ බාලවයස්කරුවන් පිරිසක් (කුඩා දරුවෙකුද ඇතුළුව) ඝාතනය කිරීම ඔහුට එරෙහිව පැවති අධිචෝදනාවයි. 2015 ආණ්ඩු පෙරළිය සිදුවන විටදී පවා පෙර පැවති ආණඩුව සමයේදී ඔහුට අධිචෝදනා ගොණුකර තිබුණි. විධිමත් නඩු විභාගයකින් පසු ඔහු වරදකරු වීම කෙරෙහි උරණ වූ ඇතැම් පාර්ශව “කලින් ආණ්ඩුව කාලෙ අධිචෝදනා දැම්මට ෂේප් එකේ නිදහස් කරන්න හිටියෙ” වැනි අතිශය ළාමක ස්ථාවරයන්ට පවා එළඹ ඇති බව ඒ පිළිබඳව ඇතැම් අයගේ ෆේස්බුක් සටහන් පරික්ෂා කර බැලීමෙන් පෙනී යයි

බොහෝ දෙනා ඔය නිදොස් කොට නිදහස් කළ යුතුය කියන පුද්ගලයන්⁣ට එල්ල වී ඇති චෝදනාව පවා දන්නේ නැත. අධිකරණයේදී ඉදිරිපත් වූ සාක්ෂි මොනවාද දන්නේද නැත. අධිකරණය විසින් ඇතැමුන් වරදකරු කර ඇත්තේ මන්දැයි දැන ගැනීමට නඩු තීන්දුව කියවා බලාද නැත. නමුත් කියන්නන් වාලේ ඔහේ කියන්නේ ඔවුන් නිදහස් කළ යුතු බවය.

අවියක් අත දැරීම යනු අතිශය භාරදූර මෙන්ම ගෞරවාන්විත වගකීමකි. එම වගකීම සමග ආරෝපණය වන බලය යමෙකු අවභාවිත කර ඇත්තේ නම් එවැනි අයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම යනු වගකීම් සහගතව එම බලය හැසිරවූ අයට කරන උපහාරයකි.

අධිකරණයක් විසින් වරදකරු කරනු ලැබූ තැනැත්තෙකු ජනාධිපතිවරයා විසින් සමාව දීම හරහා හෝ මුදා හැරීම බරපතළ තත්වයකි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව වරදකරුවෙකුට සමාව දීමට ජනාධිපතිට බලය තිබුණද එය ප්‍රායෝගිකව එකී වරදකරුවා වරදකරු කළ අධිකරණයට එල්ල කරන ලද අතුල් පහරක් වැනිය.

ඒ සියල්ල සළකා බලන කල එළඹීමට සිදුවන නිගමන කිහිපයකි. එම ප්‍රකාශය කළ ජනාධිපති අපේක්ෂකයා තමා ජනාධිපතිධූරයට පත්වුවහොත් අධිකරණයට ඍජුවම අත පෙවීමටත් තමාට අවශ්‍ය පරිදි නටන රූකඩයක් බවට පත්කරගැනීමටත් දැනටමත් තීරණය කර හමාර බව ඉන් මනාව පැහැදිලි වේ.

එහි අරමුණද අපැහැදිලි නැත. ඔහුට විවිධ හේතූන් මත සිරගතව සිටින විවිධ පුද්ගලයන් ගණනාවක් මුදාගැනීමේ අවශ්‍යතාවය ඇත. ඔවුන්ව පමණක් මුදාගතහොත් එය බෙහෙවින් දෝෂ දර්ශනයට ලක්වීමට ඉඩ තිබේ. එබැවින් “පසුගිය රජය යටතේ සිරගත කරන ලද රණවිරුවන් සහ දේශපාලනික හේතු මත සිරගත කළවුන් මුදාහැරීම” යන බැනරය රටට ලෝකයට පෙනෙන්නට එල්ලා, සිරකරුවන් මුදාහැරීමේ සංස්කෘතියක්ද තාවකාලිකව නිර්මාණය කොට එයට යටින් උත්සවාකාරයෙන් පෙරකී චෝදනා එල්ල වූ හමුදා පුද්ගලයන් කිහිපදෙනෙක්ද මුදාහැර, එයින් යම් හොඳ නමක්ද ලබා ගනිමින්, ඒ හරහා සමාජයේ යම් පිරිසකගේ ඇතිවන උද්දාමයට මුවා වී තමන්ට අවශ්‍ය කිහිප දෙනාද එළියට දමා ගැනීම ඉතාම පහසුය. කජු කනවා වැනිය. එය දෝෂ දර්ශනයට ලක්කලද රණවිරුවන් නිදහස් කිරීමේ උද්දාමයෙන් ඒ සියල්ල වැසී යනු ඇත.

සැබැවින්ම ඔහු විස්මිත සැළසුම්කරුවෙක් වන්නේ එබැවිනි.


නීතීඥ අථිල අතාවුද

Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button
Close