විදේශීය

“අපිට මෑත කාලෙ වුණු විශාලතම පාඩුව මේක” – පුටින්

තම රටට මෑත කාලයේ සිදු වූ විශාලතම පාඩුව න්‍යෂ්ටික බලයෙන් ක්‍රියා කරන මෙම සබ්මැරීනය සහ එහි සිටි විශිෂ්ට නාවිකයන් නැති වීම බව රුසියානු ජනාධිපති ව්ලැඩ්මීර් පුටින් පවසා තිබේ.
රුසියානු රජයේ පාලනය යටතේ පවතින ස්පුට්නික් පුවත් සේවය (Sputnik) වාර්තා කරන්නේ මෙම විනාශය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා බලවත් කණගාටුවට පත්ව ඇති බවයි. පළමු ශ්‍රේණියේ නාවික කපිතාන්වරුන් 07 දෙනෙකු ඇතුළු නාවිකයන් 14 දෙනෙක් මේ අනතුරෙන් මිය ගොස් ඇති බව මොස්කව්හි පිහිටි එරට ආරක්ෂක අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත.

මුහුදු පතුල ගවේෂණය

මුහුදු පතුලේ විද්‍යාත්මක ගවේෂණයක් සඳහා මෙම සබ්මැරීනය රුසියාවට අයත් මුහුදු සිමාවේ විශේෂ කලාපයක මෙහෙයුම් කටයුතු සිදු කරමින් සිට ඇත. එහිදී ඇති වූ අනතුරකින් පසු සබ්මැරීනය අභ්‍යන්තරයේ ගින්නක් හටගෙන ඇති බවත්, එයින් නිකුත් වූ දුම ආඝ්‍රාණය වීමෙන් මෙම පිරිස මිය ගොස් ඇති බවත් එරට රජයේ පාලනය යටතේ පවතින තවත් පුවත් සේවයක් වන ටාස් පුවත් සේවය (TASS) වාර්තා කර තිබිණි.

රුසියාවේ සම්පත

Losharik (AS-12) නම් මෙම න්‍යෂ්ටික බලයෙන් ක්‍රියා කරන සබ්මැරීනය, රුසියාවේ ගැඹුරු මුහුද ගවේෂණය පිළිබඳ කටයුතු කරන ප්‍රධාන මුලස්ථානය සතුව තිබු වටිනාම සම්පතක් බව රුසියානු භාෂාවෙන් පවත්වාගෙන යන RBC සඳහන් කර තිබේ.

2000 – 2008 සහ 2019

2008 වසරේ සිදු වූ අනතුරකින් න්‍යෂ්ටික බලයෙන් ක්‍රියා කළ Nerpa නම් සබ්මැරීනය සමග නාවිකයන් 20 දෙනෙකු රුසියාවට අහිමි වූ අතර, 2000 වසරේදී Kursk නම් කෘෂ් මිසයිල විදිනයක් සහිත නාවික යාත්‍රාව සමග නාවිකයන් 118 දෙනෙකු අනතුරකින් විනාශ විය. මේ යාත්‍රා දෙකටම වඩා Losharik (AS-12) නම් ඊයේ අලුයම අනතුරට ලක් වූ සබ්මැරීනය මෙහෙයුම් ශක්තියෙන් වැඩි බව එරට නාවික විශේෂඥයන් උපුටා දක්වමින් RBC පුවත් සේවය සඳහන් කර ඇත.

ආක්ටික් කවුන්සිල රාජකාරි

ආක්ටික් සාගර කලාපයේ පරිසර ආරක්ෂාව සම්බන්ධයෙන් ආක්ටික් කවුන්සිලය පිහිටුවාගෙන ඇති අතර, කැනඩාව, ඩෙන්මාර්කය, ෆින්ලන්තය, අයිස්ලන්තය, නොර්වේ, ස්වීඩනය, ඇමරිකා එක්සත් ජනපදය සහ රුසියාව මෙම කවුන්සිලයේ සාමාජිකත්වය දරයි. 1996 සැප්තැම්බර් 19 දා කැනඩාවේ ඔටාවා නුවරදී ඇති කරගත් ‘ඔටාවා සම්මුතිය’ මගින් මේ කවුන්සිලය පිහිටුවන ලදී.
රුසියාව පාර්ශවයෙන් පවසා ඇත්තේ මේ සම්මුතියට අයත් පර්යේෂණ කටයුත්තක අදාළ සබ්මැරීනය සහ නාවිකයන් යොදවා සිටි බවයි.


ශාලික විමලසේන

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button