පුරවැසි කොළම

වෙසක් කූඩුවේ කුරුසය ගැසීම නුසුදුසු ද?

මේ දිනවල සමාජයේ කතාබහට ලක් ව තිබෙන ප්‍රශ්න අතර එකක් තමයි, වෙසක් කූඩුවල අන්‍යාගමික සංකේත ගැසීම සුදුසු ද නුසුදුසු ද කියන එක. මේ වගේ ප්‍රශ්නයක් මේ දිනවල ඇති වීම සාමාන්‍යයෙන් විය හැක්කකි. එයට හේතුව වන්නේ, මේ කාලය සංස්කෘතික අනන්‍යතාව පිළිබද වැඩිපුර කතා වන සහ සංස්කෘතික ආලය වැඩිපුර ඇති වී අැති කාලයක් වීමයි.

මා පෞද්ගලික ව හිතන්නේ, වෙසක් කූඩුවල අන්‍යාගමික සංකේතයක් හෝ වෙනත් අනන්‍යතාවක් ගැසීම පවතින සිංහල බෞද්ධ සංස්කෘතිය යටතේ ගැටලුවක් නැති බව ය. එහෙත් යථාර්ථ වසයෙන් බුදු දහම ගත් කල නම් අනන්‍යතා නැති ව පිදීම තමයි බුදුදහමට අනුකූල වන්නේ.

කිසියම් දෙයක් බුදුන් විෂයයෙහි හෝ සංඝයා විෂයයෙහි හෝ පිදීමේ දී පිදූ කෙනාගේ අන්‍යතාව සටහන් කිරීම සිංහල බෞද්ධ සංස්කෘතියේ ලක්ෂණ්‍යකි. ශ්රී ලංකාවේ විද්‍යමාන මුල් ම සෙල්ලිපිවල සිට ම මේ සංස්කෘතික ලක්ෂණය දැකිය හැකි ය. තව මත් පන්සලේ ඇති පිගානේ කෝප්පයේ පමණක් නො ව, කොට්ටඋරයේ පවා එය පූජා කළ අයගේ නම ඇත. ඇතැම් විට පූජා කිරීමේ අරමුණ ඇත. පන්සල්වල ඇති කරඩුවල ද අනන්‍යතා සටහන් කොට ඇත. එය එසේ නම් වෙසක් කූඩුවක කිසියම් අන්‍යතාවක් සටහන් කර තිබීම පිළිබද ශ්‍රද්ධාවෙන් කුපිත විය යුතු යැයි මා සිතන්නේ නැත. එයින් සංස්කෘතික විනාශයක් වන්නේ ද නැත. සංස්කෘතීන් යනු කිසි දා එක අයුරින් පවතින ඒවා ද නො වේ. ඒවා නිදහස් වාතාවරණයක් යටතේ සංස්පර්ශ විය යුතුය. සංස්කෘතීන් පෝෂණය වන්නේ එවිට ය.

වෙසක් කූඩුවක කුරුසය හෝ වෙනත් සංකේතයක් ගැසීම බෞද්ධ සංස්කෘතිය යටපත් කර දැමීමක් හෝ වෙසක් කූඩුවේ අර්ථයට හානි කිරීමක් ලෙස නොගත යුතු ය. අැතැම් සටහනක අටපට්ටමේ විශාල අර්ථයක් ඇති බව කියා තිබිණි. මා නම් හිතන්නේ එය තාර්කික කතාවක් නොවන බවයි. අටපට්ටමේ විශාල අර්ථයක් තිබෙනවා නම් තරුවලත් අර්ථ තිබිය යුතු ය. මා කුඩා කල ප්ලෙන් එකක ආකෘතියට කූඩු සදා ඇත. ඒවායේ ද අර්ථ තිබිය යුතු ය. දකින් දකින එකට සංකේතිතාර්ථ දීමට යාම වහරකලා වචනවල අකුරු අකුරු ගලවා විකාර අර්ථ දීමට යාම වගේ වැඩක්. ඒ හෙයින් අටපට්ටමේ අර්ථයක් ඇති බව මා සිතන්නේ නැත. ඒවා හුදෙක් බුදුපුදයට කරන සැරසිලි පමණි. එම සැරසිල්ල කළ අයගේ/කලාකරුවාගේ නම හෝ වෙනත් අන්‍යතාවක් තිබීම ගැටලුවක් නො වේ.’ සියලු දෙනා එක් ව මෙවර වෙසක් සමරමු කියන සිතින් අපි සියලු දෙනා එක් ව මෙවර වෙසක් සැමරුවා’ කියන දේ සංකේතවත් කිරීමට ඒ අය හැදූ කූඩුවල ඒ අයගේ අන්‍යතාවක් සටහන් කර තිබීම සුදුසු ය. ඒ එයට ද එය බලා “අර තියෙන්නේ අපි බුදුන් වහන්සේ උදෙසා සැදූ කූඩුවක්” කියා ආත්මීය ව සන්තෝෂ ද විය හැකි ය.

සංස්කෘතික වසයෙන් තව දුරටත් වෙනස්කම්වලට අර අදින්නේ නැති ව සියලු අාගම් කලාත්මක කටයුතුවල දී හෝ සංස්කෘතික වසයෙන් සම්මිශ්‍රණ වීමට ඉඩ දීම හොද ය. වෙසකු කූඩුවේ ඇති කුරුසෙට හෝ වෙනත් ආගමික සංකේතයකට කුපිත වූ සහ කලකිරුණු අය විහාරය අස්සේ ම බුදුන් වහන්සේගේ ඇගේ වදින තරමට ළගින් ම හදා තියෙන හින්දු දේව පිළිමවලට හෝ විහාරය අස්සේ ම සිදු වන දේවපූජා/ බාරහාර වැනි දේට විරුද්ධ වෙනවා ද? නැහැ නේ. බහුතරයක් ඒවා අපි දරා ගන්නවා. තව කොච්චර තියෙනවා ද බෞද්ධ සංස්කෘතිය වෙනත් සංස්කෘතීන් එක්ක සම්මිශ්‍රණය වූ අවස්ථා. ඒ නිසා කතෝලික අයට ද බුදුන් උදෙසා යමක් කිරීමට ද එසේ කළ බව අදාළ පිදීමේ අනන්‍යතාවක් වසයෙන් සටහන් කිරීමට ද ඉඩ දිය යුතු ය. එයින් වෙසක් උත්සවය ශ්‍රී ලාංකිකයන්ගේ සංස්කෘතික උත්සවයක තත්ත්වයට ගෙන යා හැකි ය. එය සංස්කෘතික නුරුස්නාව දුරු කොට සහජීවනය වර්ධනය කිිරීමට ද ඉවහල් වනු ඇත.


ගිනිකටුවැවේ විපුල හිමි

Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button