විශේෂාංග

“සුළඟ අප රැගෙන යාවි” විඳගන්න එක්වෙන්න

“දුර අහස මවන රූ රටා 
සුළඟ නගන ගායනා 
පුංචි සිතට පාට පිරුණු 
අරුම මවනවා
අරුම මවනවා…”
ලස්සන ගීතයක්. වගේම ලස්සන තනුවක්. ෆිල්ම් එකේ මුල් හරියේ වගේ තියෙන ස්වභාව සෞන්දර්යය ඇතුලෙ මේ සින්දුව ඇහෙන කොට ම තේරුණා පොඩි Rock ටච් එකක් තියෙනවා කියල. බලනකොට චිත්‍රාල් වැඩේ ඇතුලේ ඉඳල තියෙනවා. මම කොහොමත් රොක් වලට ආසයි.
ගිනි ගහන අව්වේ කෑගල්ල ටවුමේ ඇවිදගෙන යන මගේ හිතට ඒ සිංදුව ගෙනාවේ උණුසුම් හැඟීමක්. ‘ලොවක් මවනවා’ කියන පද දෙකෙන් ගේන්නේ බලාපොරොත්තුවක්. නිපදවන්නේ ආශාවක්. මිලානෝ හෝල් එකේ තමයි ෆිල්ම් එක තිබ්බේ. ‘අසන්ධිමිත්තා’ ගැන විචාරයක් ලියමින් බ්ලොග් එක අප්ඩේට් කර කර හිටිය මට මේ ෆිල්ම් එක හීනයක් දැක්ක වගේ උනා. 
ඕනිනම් විශ්ලේෂණ උපකරණ (analytical tools) ගෙනැල්ලා මේ ෆිල්ම් එක කුඩු කරන්න පුළුවන්. නමුත් එහෙම කරන්න හිත දෙන්නේ නැති කරුණු කීපයක් තියෙනවා. ඒවා ආත්මීය කරුණු.
එක පැත්තකින් ඒක හීනයක් වෙන්නේ ෆිල්ම් එකේ කතාව මගේ අතීතය එක්ක සෘජුව ම සමපාත වීම. මගේ පරම්පරාවේ බොහෝ අයගේ ඉතිහාසයත් ඕක ම තමයි. ඇල දොළවල් තරණය කරගෙන නියරවල් උඩින් පැනගෙන ඉස්කෝලේ ගිහිල්ල කිරි අම්මා දුන්න (පහල පළාතේ කියන්නේ ආච්චි අම්ම) සත පනහ රුපියල දෙක සාක්කුවේ දාගෙන ගිහිල්ල මොනවා හරි කඩචෝරු කාල ආපහු එන්නේ මොනවද දවල් ට කන්න තියෙන්නේ කියල බලාගෙන. තිබුණේ කුප්පි ලාම්පු. පොල් අතු වහළවල්. මැටි බිත්ති. හරිම සුන්දරයි. හැබැයි කටුකයි.
කිරි අම්මා කියන චරිතය නැත්නම් අපි බොහෝ දෙනෙක් මෙතන නැහැ. එයා තමයි කතන්දර කියල දුන්නේ, බණ දහම ඉගැන්නුවේ, කොටින්ම  සංකේත පිළිවෙල හැදුවේ. ඒ කියන්නේ හොඳ නරක පිළිබද භාෂාව ඉගැන්නුවේ. අදත් දෝංකාර දෙනවා එයා උගන්වපු දේවල්. 
ෆිල්ම් එකේ කිරි අම්මා එළියට ඇවිල්ල හූනා කෑගැහුවා මොහොතක් ඉඳලා පලයල්ලා කියන කොට අර හැඩි දැඩි පිරිමි එක තැන ඉන්නවා අඩියක් හෙල්ලෙන්නේ නැතුව. එහෙම භක්තියක් තිබ්බා අපේ සමාජයේ වයසක අයට. විශේෂයෙන් වයස්ගත ස්ත්‍රියට.
මේ අතරේ කැමරාව ඉස්පාසුවක් නැතුව දුවනවා ස්වභාව ධර්මය කැප්ච(ර්) කර ගන්න.  
ලස්සන කඳු මුදුන්, දිය ඇලි, සානු, මිටියාවත් කොච්චර ලස්සන රටක් ද මේක. Nature එක පැත්තෙන් කැමරාකරු මාර වැඩක් කරනවා.
මේ දවස් වල මම කියව කියව හිටියේ මුරකමි වුනාට මට දිගට ම මතක් වුනේ ම කවබතා…ඔලුව පීරි ගාන කෘති දෙකකට පස්සේ (අසන්ධි සහ අප්පච්චි ඇවිත්) අම්මෝ නිවන් දැක්කා වගේ. 
එයාල කියන්නේ එයාලට ඕනි කියල ප්‍රේක්ෂකයට නැත්නම් පාඨකයට අභියෝග කරන්න. ඇත්ත තමයි. කෆ්කා වගේ ලේඛකයෝ කියවන එක අභියෝගයක් තමයි. එත් බලන්න ගෝර්කි, අයිත්මාතව්, ගොගොල් වගේ රුසියානු ලේඛකයෝ. එයාල පෙර නොවූ විරූ රසයක් නිෂ්පත්ති කළා.
මට එක අතකට පුදුමයි මේ මිනිස්සුන්ගේ මනස වැඩ කරන හැටි දැක්කම. හැඟීමක් නැතිව රසයක් නැතුව මෙහෙම පිටු ගණන් ලියන්න හිත හදාගත්ත මේ අය මිනිසුන් වෙන්න බැහැ. මෙයාල අර යුවල් නෝවා හරාරි කියන පසු මිනිසුන් (post-human) වෙන්න ඕනි. සද්ගුරු කියනවා වගේ මේ අය දක්ෂ කපලා කොටලා විශ්ලේෂණය කරන්න (dissect). හැබැයි ජීවත් වෙන්න බැහැ.
මම ආස ම පොටෝ එකක් තමයි සද්ගුරු නේපාලයේ කඳු මුදුනක භාවනා කරන ලස්සන දර්ශනය. කඳු මුදුන් වලට මම කොහොමත් ආසයි. ඒ වගේ දර්ශන සිය දහස් ගණනක් අපට ‘සුළඟ අප රැගෙන යාවි’ ගෙන එනවා. මම මේක විල්පත්තුව එක්ක පටලන්නෙ නැහැ. 
ගමේ ලස්සන ඔස්සේ ළමයෙක් වැරදීමකින් වගේ ආපතික ලෙස ලොරියක එල්ලිලා නගරයට එනවා. එයා හොයන්නේ නැතිවෙච්ච ‘සුද්දා’ කියන (සුදු ස්වාමියා නොවේ) ගොන් වස්සා. එයාගේ ෆැන්ටසි එක ඒක (මේ වචනේ නැතුව හුස්ම ගන්නවත් බැහැ මේ දවස් වල). ‘සුද්දා’ හරක් හොරු ගෙනිහිල්ලා. ඉතින් මට මේ ෆිල්ම් එකේ තියෙන එකම දේ තමා ෂෙලිනියානු නපුර කියන එක. ඒ කියන්නේ ඒ ළමයට නගරය මුණ ගැසෙන්නේ ‘හරක් හොරු’ කියන නපුර (evil) ඔස්සේ කියන එක. ඒක හොඳ දෙයක්. ස්වභාවික බවෙන් මිනිසා ඛණ්ඩනය කරන මේ නපුර ට ඕනි නම් දිව්‍යමය ප්‍රචණ්ඩ බව කියල කියන්නත් පුළුවන්. මොකද බය නැතුව කොලොම්බස් වගේ නගරයට ආපු ඔහුට තමා ඇත්තට ම සුද්දා සොයා ගන්න පුළුවන් කම ලැබෙන්නෙත් (ගෙදර හිටපු අයට නොවෙයි). ඒ නිසා අපිට නපුර, සංක්‍රමණය සහ වෙනස ප්‍රතික්ෂේප කරන්න බැහැ.   
නගරයේදීත් ඔහුට පිහිට වෙන්න දුවක් ඉන්නවා. ඒ කියන්නේ නගරය කියන තැන සම්පුර්ණයෙන් ම නරක තැනක් කරන්නේ නැහැ සිනමාකරු. ඒක ඉතාම වැදගත්. අනීටා දේශායි ගේ The Village by the Sea (1982) කතාවත් මේ වගේම යි.
ෆිල්ම් එකේ තියෙන ගුප්ත කෑලි මොනවා උනත් සිනමාකරු ඉන්නේ මැදුම් පිළිවෙතේ. ඒ කියන්නේ හොඳ සහ නරක අතරේ.
අර සිංදුවත් එක්ක ගත්ත ම චිත්‍රපටය මට ධනාත්මකයි. ගමෙන් නගරයට එන එක හොඳයි. ඉන් පස්සේ නගරයෙන් ලෝකයට හමන ගෝලීය සුළඟත් නරක් වෙන එකක් නැහැ. අපි හුළඟත් එක්ක යන්න ඕනි. එක තැනක කියල නතර වෙන්න ඕනි නැහැ. සියල්ල එක් නිමේෂයකින් පසු අනික් නිමේෂයට යද්දී විසංයෝජනය වෙනවා. පොඩි දරුවා ගේ නගර ආගමනය විසින් මෙය ඔප්පු කරනවා. ගැමි ලස්සන දැකල අපි තව මිනිත්තුකින් කැමරාව ඔස්සේ කොන්ක්‍රීට් වනන්තරේ දකින්න ගන්නවා. ගමෙන් ඇවිත් පැය කීපයකින් දරුවා දකින්නේ කවදාවත් නොදැකපු කොන්ක්‍රිට් ලෝකයක්. නිව්යෝක් මිටත් වඩා ලොකු කොන්ක්‍රිට් ලෝකයක්. මොන කොන්ක්‍රිට් ලෝක හැදුවත් සියල්ල ශුන්‍යතාවයෙන් (අනිත්‍යයෙන්) කෙලවර වෙන්න නියමිතයි. එත් අපිට ඒ ශුන්‍යතාවය වැළඳ ගන්නවා හැර වෙන කරන්න දෙයකුත් නැහැ. අපි බුදුන් වහන්සේ ගෙන් ගන්නවා නම් ගන්න ඕනි දේ ඒක විතරයි. එතැනදීත් චිත්‍රපටය ගෙන එන ‘සුළඟ’ කියන රූපකය මට ධනාත්මකයි.
හරුකි මුරකමි එයාගේ මුල්ම නවකතාවේ කියන්නේ ‘සුළඟ ගීත කියන නාදයට සවන් දෙන්න’ කියල (Hear the Wind Sign). පුදුම හිතෙන තරම් ලස්සන සාන්දෘෂ්ටික නවකතාවක්. අපිට ඒ වගේ ලියන්න බැරි ඉස්පාසුවක් නැති නිසා. ආශා කරන්න බැරි නිසා. 
ඉතින් හුළඟට අහු වෙලා මේ ලෝකේ කොහේ ගියත් විශ්වීය වටිනාකම් එක්ක ඉන්න. ආපහු හැරෙන්න එපා. කියන්න තියෙන්නේ එච්චරයි.
තමා වැටුන තැන කොතැන හෝ වේවා එතැන නව ලෝකයක් තනන්න.

මහේෂ් හපුගොඩ

Advertisements
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button