විශේෂාංග

පුරාවිද්‍යාව, ඉතිහාසය, දේශපාලනය, අධිකරන වෛද්‍ය විද්‍යාව හා නීතියට ලංකාව තුල යන්ඩ පුලුවං දුර ඔච්චරද?

මන්නාරම සමූහ මිනී වලේ කැනීම් ආරම්භ කල දින සිට එය සමූල ඝාතනයක් විය හැකි බවත්, බොහෝ දුරට එය ලංකාවේ හමුදාව විසින් කරන ලද දමිල ජන සංහාරයක් විය හැකි බවත්, යන සැකය වැඩිමනක් සමාජගත කරන ලද්දේ දෙමල ඩයස්පෝරාව හා ඒ හා බැඳුනු ඇතැම් එන්.ජී.ඕ.නඩ වුවත්, එකල ක්‍රියාකාරීව එල්.ටී.ටී.දේශපාලනය කල අයවත්,මන්නාරමේ යුධ සමයේ පදිංචිව සිටි කිසිවෙක්වත් ඒ මතය සමාජ ගත කලේ නැත.

හමුදාව සහ හමුදාවේ කැරැක්ටුව රකිංඩ දිවි හිමියෙන් කැප වී සිටින ලංකාවේ ජනාධිපති ඇතුලු සමස්ථ දේශපාලන අධිකාරිය නිහඬව සිට නොබියව පරික්ෂන කටයුතු අධිකරනයට භාර කරන්නේ තමං සහ තමංගේ අනුග්‍රහය යටතේ කල සහ නොකල සමූහ ඝාතන පිලිබඳව ඒ ඒ පිරිස් දැනුවත් වීම මතය.

C-12 සහ වෙනත් පරික්ෂන කටයුතු සඳහා අස්ථි කොටස් දේශිය සහ විදේශීය පර්යේෂනායතන වෙත නොබියව යොමු කෙරෙන්නේ ඒ අනුවය.

එකී මූලික පරික්ෂන වාර්තා බොහොමයක සඳහන් පරිදි මේ අස්ථි කොටස් ක්‍රි.ව.1400 – 1800 අතර කාලයට අයත් ඒවාය.

දල වශයෙන් ගනං ගතහොත් මේ පෘතුග්‍රීසි හා ලන්දේසි යුගය වන අතර, එය ඉංග්‍රීසි පාලන යුගයේ ආරම්භ ය ද වේ.

කෙසේ වෙතත් රාවනා රජුගේ මල සිරුර සොයා යන මහාචාර්ය සෝමදේව ප්‍රමුඛ පුරාවිද්‍යා බලෑනිය විසින් මේ සමූහ මිනී වල පෘතුග්‍රීසීන්ට භාර දී ඇත.

ඒ අනුව උත්තේජනය ලද ලංකාවේ ඉතිහාසඥයින් විසින් , මෙය තමංගේ ආසන්නතම ඥාතීන් කතෝලික ආගම වැලඳ ගැනීම ගැන උරන වූ , එවකට යාපනය පාලනය කල ආර්ය චක්‍රවර්තීන් විසින් කල කුප්‍රකට කතෝලික ඝාතනයට සෙනිකව සම්බන්ධ කරන්නේය.

1400-1800 අතර මන්නාරමේ දී සිදු වූ එකම සමූහ ඝාතනය මෙයම විය හැකිද?

01. පෘතුග්‍රීසීන් හා සිංහල හමුදා අතර ඇති වූ ගැටුමක ප්‍රතිපලයක් ලෙස මෙම ගාතනය සිදු වුනාද?;

02. එකල ප්‍රකටව පැවති මන්නාරම වරායට ගොඩ බට නැවක් හා එහි ආ යුධ/වෙලඳ/සාමාන්‍ය ජනයා ගාතනය කර මෙහි වැලලූයෙද?

03. පෙරදිග ඉන්දියානු වෙලඳ සමාගම් විසින් ගොඩ බිමදී හෝ මුහුදේදී ගාතනය කරන ලද ,හෝ ගාතනයට ලක් වුන පිරිසක් මෙහි වැලලූයෙද?

04. පෘතුග්‍රීසීන් හෝ ලන්දේසීන් යාපනය ආක්‍රමනය කිරීමට පුත්තලම හා මන්නාරම, වව්නියාව හරහා යාපනයට යාමට උත්සහා කිරීමේදී ඔවුන් හා වන්නියාර්වරු හෝ යාපනය ප්‍රාදේශික පාලනය දැරූ ආර්ය චක්‍රවර්ති රජවරු අතර ඇති වූ ගැටුමකිං මිය ගිය පිරිසක් මෙහි වැලලුයේ ද?

05. මැලේරියා වසංගතය රට අභ්‍යන්තරයට කා වදින්නේ 1930 දී පමන වුනත් වන්නිය ( අනුරාධපුර ,පුත්තලම,වව්නියාව,මන්නාරම ඇතුලු ප්‍රදේශ) වල් බිහි වන්නට ගන්නේ එයිට බොහෝ කලකට පෙර ය.ඒ මැලේරියාව හෝ ඒ බඳුම ස්වභාවික වසංගතයක් විය හැකිය.මේ මිනී වලේ නිදන්නේ එහෙම පිරිසක්ද?

06. එහෙමත් නැත්තං අපිට හීනෙංවත් හිතා ගන්ඩ බැරි වෙන මොකක් හරි අකරතැබ්බයක් ද?

ලැබොටරිස්ලාට කල හැක්කේ කාල නීර්න පරීක්ෂණයක් පමනය.පුරා විද්‍යාඥයින්ට කල හැක්කේ දැනට පවත්නා සහ තම තමං විස්සාස කරන එක එක මනස්ගාත ද ඇතුලත් වාර්තා සමාජගත කිරීමය.
ඉතිහාසඥයාගේ කාර්යය විද්‍යාත්මක දත්ත වලිං එහාට ගිය දේශපාලනික හා අධිපතිවාදී කියවීමක් ය.

අවම තරමේ මේ මිනී වලේ නිදා ගෙන සිටින්නේ ස්වභාවික ආපදාවකිං මිය ගිය පිරිසක්ද, ඝාතනයකට ලක් වූ පිරිසක්ද යන්න සෙවීම අධිකරන වෛද්‍යවරයෙකුට ඒ තරං වෙහෙස මහන්සියක් නැතුවම සොයා ගත හැකි දෙයකි.

ඒ සියලු වාර්තා තාම අධිකරනයට ඉදිරිපත් වී නොතිබියදීත්, මේ මිනී වල ආර්ය චක්‍රවර්තීන්ට ( සංකිලිලාට) පංගරාත්තු කරමින් අප මේ කරන්නේ දෙමලා වෙනුවෙන් පෙනී ඉන්නවයි කියන අර තකතීරු දෙමල ඩයස්පෝරාව විසින් අවුස්සන ලද ගූ ගොඩ, නැවත පාර්සල් කොට ⁣, තොපිම අවුස්සපු කුනු ගොඩ තොපිම කාපියව් කියා…අපේ අසල්වැසියාටම දමා ගැසීම මිසක් වෙන මොකක් ද?

පුරාවිද්‍යාව, ඉතිහාසය, දේශපාලනය, අධිකරන වෛද්‍ය විද්‍යාව හා නීතියට ලංකාව තුල යන්ඩ පුලුවං දුර ඔච්චරද?


වසන්ත සිරි වටගොඩ

Advertisements
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button