විශේෂාංග

වට අඩි 10කට වැඩි රූස්ස ගස් කපා දමා කොරන ඉලව් සංවර්ධනය කොහේටද යන්නේ….?

අම්පාර පදියතලාව මාර්ගය

ලංකාවේ පාරවල් වැඩි දියුණුවිය යුතුයි මන්ද මාර්ග යනු රටක සංවර්ධනයේ මූලිකම පියවරක් බැවිනි. එතේ මෙකල සිරිලංකාවේ ලබ්බට කූර ගසන පාලකයන් හා අධ්‍යාපනයෙන් පමණක් දැනුම ලැබු අනාගතය ගැන නොසිත උන් රාජ්‍ය නිළධාරීන් වූ කල අපට මීට වැඩිය දෙයක් බලාපොරොත්තු විය නොහැක.

පසුගිය කාලය පුරාම ලංකාව පුරාම මාර්ග අයිනේ ගස් මහ රූස්ස ගස් කපා දැමීම රැල්ලක් විය. එය වලක්වා ගත නොහැකි විය. ගිනි ගහන අව්වේ ගමන් යන්නෙකුට මේ ගහක හෙවනක් යනු සල්ලි දීලා ගන්න බැරි සම්පතකි. නමුත් තුට්ටු දෙකක් නොවටින් දේශපාලුවෝ ගමන් යන්නේ ලක්ෂ සීයට එහා ගිය සුපිරි රථ වලින් නිසා උන්ට මේ ගස් අදාලම නැත.

රටේ ජනතාවගේ මුදලින් ඉගෙන ගත් නිළධාරීන්ද රජයෙන් අනිවාර්යෙන්ම වාහනයක් ලැබෙන නිසා උන්ටද අදාලම නැත මේ මහ ගස්.

එහෙනම් ඔබත් මමත් වැනි මේ රටේ සාමාන්‍ය පුරවැසියන්ට මේ මහ ගස් වටින්නේ වෙ දෙයක් නිසා නොව ඔක්සිජන්, සිසිලස, හෙවන ලබා දෙන නිසාමය. නමුත් ඔවුන්ට එය අදාලම නැත.

රැල්ලට ගස් සිටුවිම අද තරුණ පරම්පරාව අතර අතිශයින් ජනප්‍රියය එය ඉතාම අගය කල යුතු වන්නේමය මන්ද පුහු ආටෝප වෙනුවට බහුතරයකට ප්‍රයෝජනවත් යමක් කිරිමය.

පුතෙක්‌ සදන්න, පොතක්‌ ලියන්න, ගසක්‌ සිටුවන්න යන පැරණි කියමනක් ඇත. ඇත්තටම මේ පහත මම සටහන් කරන දේවල් කියවන්න ඉන්පසු ඔබම තීරණ කරන්න ගස් කපනවාද යන්න.

මෙසේ වෘක්‍ෂලතා කෙරෙහි ඇල්මක්‌, ආදරයක්‌ සියලු දෙනා විසින් ඇති කර ගත යුත්තේ ඇයි?

ලොකු සතුන්ගේ පටන් කුඩා සතුන්ටද ජීවිතය පවත්වා ගැනීමට අවශ්‍ය වන ආහාර සාදනු ලබන්නේ ශාකයන් විසිනි. එනම් ගස්‌ කොළන් විසිනි. පසෙන් ලබාගන්නා ජලයත් වායුගෝලයෙන් ලබා ගන්නා කාබන් ඩයොක්‌සයිඩ් වායුවත්, හිරු එළියේ ශක්‌තියත් උපයෝගී කර ගෙන ආහාර නිෂ්පාදනය කළ හැක්‌කේ ශාකයන්ට පමණි. සමහර සතුන් කෙළින්ම මෙම ශාක ආහාර ප්‍රයෝජනයට ගන්නා අතර තවත් සමහර සතුන් විසින් එම කාර්යය ඉටුකර ගන්නේ ශාක අහර කර ගන්නා සතුන් අනුභව කිරීමෙනි. මෙසේ සමස්‌ත ජීව ලෝකයාම යෑපෙන්නේ ශාක ආහාර මතිනි.

මනුෂ්‍යයාට නම් ගස්‌ කොළන් වලින් ලැබෙන ප්‍රයෝජනය ආහාර ලබා ගැනීමට පමණක්‌ සීමා නොවේ. දැව, ඖෂධ, විවිධ ශාක පත්‍ර, වැල්, පුෂ්ප යනාදියෙන්, ශාක මගින් ලැබ ගන්නා ප්‍රයෝජන සමහරකි. මීට අමතරව පැළයක්‌ සිටුවා එයට සාත්තුකොට එය හැදෙන වැඩෙන සැටි නිරීක්‍ෂණයෙන් ලද හැකි මානසික සතුටද අති මහත්ය.

ගස්‌වල වටිනාකම මනුෂ්‍යයා විසින් තක්‌සේරු කරනුයේ ඉන් ලැබෙන දැව, ගෙඩි, මල්, කොළ, පොතු යනාදිය සලකා ගෙනය. එහෙත් ගසක සැබෑ වටිනාකම ඊට වඩා බොහෝ සෙයින් ඉහළ අගයක්‌ ගනී. මේ පිළිබඳව සොයා බලා ඉතා වටිනා ප්‍රකාශයක්‌ කරන ලද්දේ කල්කටාවේ කෘෂිකර්ම විද්‍යාලයේ මහාචාර්ය ටී. එම්. දාස්‌ මහතා විසිනි. ඔහුගේ ප්‍රකාශයට ඇතුළත් වූ කරුණු සමහරක්‌ මෙසේය.

විද්‍යාඥයන් විසින් ගණන් බලා ඇති අන්දමට වසර 50 ක්‌ වයසැති ගසකින් ලැබෙන්නාවූ සේවයට සරිලන වටිනාකම ඉන්දීය රුපියල් පසලොස්‌ ලක්‍ෂ හැත්තෑ දහසක්‌ (1570000) පමණ වන්නේය. (මෙම ගණන් බැලීම සිදුකර ඇත්තේ 1980 වසරේදීය. ලංකා රුපියල් වලින් මීටත් වඩා වැඩි අගයකි. අද වටිනාකම අනුව ගණන් බැලුවොත් මීටත් වඩා වැඩි අගයක්‌ ගන්නා බව සැලකිය යුත්තේය.)

දාස්‌ මහතාගේ ප්‍රකාශනයට අනුව ශාකයෙන් ලැබෙන සේවාවල වටිනාකම බෙදී යන්නේ මෙසේය.

ගසෙන් පිටකරන ඔක්‌සිජන් වායුවේ වටිනාකම රුපියල් ලක්‍ෂ දෙක හමාරකි.

පරිසර වාතය පිරිසිදු කිරීම (වායු දූෂණය වැළකමද ඇතුළත්ය.) සඳහා රුපියල් ලක්‍ෂ පහකි.

පසේ සාරවත් බව ආරක්‍ෂා කිරීමත්, සෝදාපාලුව වැළකීමත් සඳහා රුපියල් ලක්‍ෂ දෙක හමාරකි.

වර්ෂාව ලබාදීම වෙනුවෙන් හා වාතයේ ආර්ද්‍රතාව (තෙතමනය) පාලනය සඳහා රුපියල් ලක්‍ෂ තුනකි.

පක්‍ෂීන් හා වෙනත් සතුන්ගේ රැකවරණය වෙනුවෙන් රුපියල් ලක්‍ෂ දෙක හමාරකි.

ප්‍රෝටීන් නිෂ්පාදනය සඳහා රුපියල් විසි දහසකි. එකතුව රුපියල් පසලොස්‌ ලක්‍ෂ හැත්තෑ දහසකි.

දැව, ගෙඩි, දර, මල් ආදිය සඳහා ලැබෙන ආදායම මීට අඩංගු කර නැත.

විශාල වෘක්‍ෂ සාමාන්‍යයෙන් අවුරුදු 100-200 අතර වූ කාලයක්‌ පවතින අතර, රෙඩ්වුඩ් ශාකයේ ආයුකාලය අවුරුදු 2000-3000 ක්‌ පමණ වෙයි.

ඉහත පරීක්‍ෂණයට යොදාගෙන ඇති ශාකය සැලකිල්ලට ගෙන ඇත්තේ අවුරුදු 50 ක කාලය පමණය. ගසේ සාමාන්‍ය වටිනාකම (ජාවාරම්කරුවාගේ තක්‌සේරුව) මීට අයත් කොට නැත. ගස්‌ කොළන් නොමැත්තේ නම් අපට ආශ්වාස කිරීමට පවා හැකිවන්නේ නැත. ඒ ඔක්‌සිජන් වායුව වායුගෝලයට එක්‌වන ප්‍රධාන මාර්ගය ඇහිරී යන බැවිනි.

ගසක් සිටුවනවාද කපනවාද යන්න ඔබට බාරයි….!


උමංග බණ්ඩාර

Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button
Close