ක්‍රීඩා

අලුත් වෙන ක්‍රිකට්

අපේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මෑත ඉතිහාසයේ ක්‍රිකට් ක්‍රීඩාවෙන් නමක් තියාගෙන හිටියනම් ඒ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවෙන් විතරයි. නමුත් අවසාන නවසීලන්ත සහ ඔස්ට්‍රේලියා සංචාරයෙන් පස්සෙ ඒ තත්වයත් තරමක් දුරට පලුදු වුණා. එහෙම තත්වයක් උඩ ශ්‍රී ලංකා ක්‍රිකට් පුනුරුත්තාපනය කරන්න උත්සහ කරන අලුත් තේරීම් කමිටුව දකුණු අප්‍රිකා සංචාරයට අලුත් නායකයෙක් එක්ක අලුත් කණ්ඩායමක් නම් කරනවා. අපේ මේ සූදානම ඒ අලුත් කණ්ඩායම ගැන කථා කරන්න.

 

දිමුත් කරුණාරත්න (නායක)

බන්දුල වර්ණපුරගෙන් පටන් ගන්න ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක ලැයිස්තුවට අලුතින්ම එකතුවෙන නම තමයි දිමුත් කරුණාරත්න කියන්නෙ. වමත් ආරම්භක පිතිකරුවෙක් වෙන දිමුත් මේ වෙනකොට ටෙස්ට් පිතිකරුවන් වර්ගීකරණයේ 11 වෙනි තැන තමයි ඉන්නෙ. ඒ වගේම වර්තමාන ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉන්න ප්‍රවීණතම පිතිකරුවා වෙන්නෙත් දිමුත්. දිමුත් ටෙස්ට් තරග 58 ක් ක්‍රීඩා කරලා ඉනිම 113 දී ලකුණු 3988 රැස්කරගෙන තියෙනවා. ඒ ඉනිමක සාමාන්‍යය 36.59 රදවාගෙන.

 

ලහිරු තිරිමාන්න

කාලෙකට පස්සෙ පසුගිය ඔස්ට්‍රේලියානු සංචාරයත් එක්ක කණ්ඩායමේ දෙවන ආරම්භක පිතිකරු ස්ථානයට නැවතත් ආපු ලහිරු එම සංචාරයේ දී තරමක් හෝ සාර්ථක වුණු ශ්‍රී ලංකා පිතිකරුවන් කිහිපදෙනාගෙන් එක් පිතිකරුවෙක්. ලහිරුගේ ටෙස්ට් ඉනිමක සාමාන්‍යය 23.48ක්. ඔහු තරග 31 කදී ඉනිම 60ක් තුළ ලකුණු 1268ක් රැස් කරගෙන තියෙනවා.

 

ඕෂධ ප්‍රනාන්දු

දකුණත් මුල්පෙල පිතිකරුවෙක් වන ඕෂධ පළමු වතාවට තමයි ශ්‍රී ලංකා සංචිතයට ඇතුළත් වුණේ. හලාවත මේරියන්ස්, කෝල්ට්ස් සහ මුවර්ස් කණ්ඩායම් නියොජනය කර තිබෙන ඕෂධ තරග 61 දී ඉනිම 109ක් තුළ රැස් කරගෙන තිබෙන ලකුණු සංඛ්‍යාව 3801 ක්.

 

මිලින්ද සිරිවර්ධන

දක්ෂතා අතර සිටියත් එතරම් අවස්ථා නොලැබුණ ක්‍රීඩකයෙක් තමයි මිලින්ද. නමුත් පසුගිය දා නිමාවට පත්වුණු අයර්ලන්ත ඒ සංචාරයේ දී දක්වපු දක්ෂතා නිසා සහ ඇන්ජලෝ මැතිව්ස් කණ්ඩායමේ නොමැති වීම නිසා මිලින්ද ආයෙත් කණ්ඩායමට ඇතුලත් වෙනවා. ඒ අවුරුදු දෙකහමාරකට පස්සෙ. මිලින්ද අවසන් වතාවට ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායම නියෝජනය කරන්නෙ 2016 එංගලන්ත සංචාරයෙදි. කොහොම වුණත් ටෙස්ට් තරග 05 කදී ශ්‍රී ලංකාව නියෝජනය කළ මිලින්ද ඉනිම 09 කදී ලකුණු 298ක් රැස් කරගෙන තියෙන්නෙ 33.11 ක සාමාන්‍යයක් රදවාගෙන.

 

ධනංජය ද සිල්වා

අවසාන තරගාවලි දෙකේ දි එතරම් දක්ෂතා දක්වන්න සමත් වුනේ නැතත් තේරීම් කමිටුව නැවතත් ධනංජය ගැන විශ්වාසය තියලා තියෙනවා. ආසියානු කලාපයෙන් පිටත දී  ධනංජය තව තවත් තම හැකියාවන් මුවහත් කරගන්න ධනංජයට ලැබෙන මේ අවස්ථාවෙන් නම් ඔහු අනිවාර්යෙන්ම ප්‍රයෝජන ගත යුතුම යි. ධනංජය ටෙස්ට් කරග 23 කදී ඉනිම 45ක් තුළ ලකුණු 1405 ක් රැස් කරගෙන තියෙනවා. ඔහුගේ ඉනිමක සාමාන්‍යය 31.93 යි.

 

ඇන්ජලෝ පෙරේරා

එක්දින හා විස්සයි විස්ස කණ්ඩායම් නියෝජනය කරලා තිබුණත් ඇන්ජලෝ පළමුවතාවට තමයි ටෙස්ට් සංචිතයට ඇතුළත් වෙන්නෙ. ඇන්ජලෝ පහුගිය දවසක ශ්‍රී ලංකා ප්‍රමුඛතම පළමුපෙළ තරගමාලාවේ දී ඉනිම දෙකේදී ම ද්විත්ව ශතක දෙකක් රැස්කරගෙන ලෝක වාරතාවකුත් පිහිටුවන්න සමත් වුණා.

 

නිරෝෂන් දික්වැල්ල

කණ්ඩායමේ කඩුල්ල පිටුපස කාර්යභාරය ඉටුකරන දික්වැල්ල මේ වන විට තම ටෙස්ට් ක්‍රිකට් දිවියේ හොදම පිතිකරු ශ්‍රේණිගත කිරීමේ ස්ථානයට ශේ්‍රණිගත වෙලා ඉන්නවා. ඒ වුණත් තමන් වාර්තා කරගන්න අර්ධ ශතක, ශතක බවට පරිවර්තනය කරගැනීමේ දුර්වලතාවයකින් පෙළෙන බව නම් පේන්න කියෙනවා. (අර්ධ ශතක 11, ශතක 0). දික්වැල්ල තරග 29 කදී ඉනිම 55 තුළ ලකුණු 1576 ක් රැස්කරගන්නේ 30.90ක සාමාන්‍යයක් ද සමගින්.

 

කෞෂාල් සිල්වා

කලක් නිත්‍ය ආරම්භක පිතිකරණ භූමිකාවට පණ දුන්න කෞෂාල් ඉනිමේ රිද්මය පවත්වාගෙන යාමට දක්වපු දුර්වලතාවය නිසා කණ්ඩායමෙන් ඉවතට යනවා. පළමුපෙළ තරගාවලියේ දී දක්වපු දක්ෂතා නිසා ආයෙත් කණ්ඩායමේ තමන්ගේ ඉඩ හොයාගත්ත කෞෂාල්ට බොහෝ දුරට පිතිකරණ ලැයිස්තුවේ අංක 03 ස්ථානය ලැබෙන්නත් ඉඩ තියෙනවා. ටෙස්ට් තරග 39ක් ක්‍රීඩා කරලා තියෙන කෞෂාල් ඉනිම 74කදී සාමාන්‍ය 28.36 ක් සමග රැස්කරගෙන තියෙන ලකුණු සංඛ්‍යාව 2099ක්.

 

කුසල් මෙන්ඩිස්

පසුගිය වසරේ දී ශ්‍රී ලංකාවේ සාර්ථකම ටෙස්ට් පිතිකරුවා වුණත් තවමත් මේ වසරේ දී සුපුරුදු දක්ෂතා දක්වන්න කුසල්ට හැකි වුණේ නෑ. ඒ නිසාම පිතිකරු ශ්‍රේණිගත කිරීම් වල 12 වන ස්ථානයේ ඉදලා 25 වන තැන දක්වා පසු බහින්නත් කුසල්ට සිද්ධ වෙලා තියෙනවා. ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරග 36 ක් ක්‍රීඩා කරපු කුසල් ඉනිම 71 කදී රැස්කරගෙන ඇති ලකුණු සංඛ්‍යාව 2527ක්. ඉනිමක සාමාන්‍යය 36.62

 

සුරංග ලක්මාල්

ශ්‍රී ලංකා පන්දු යැවීමේ බලඇණියට නායකත්වය දෙන ටෙස්ට් කණ්ඩායමේ හිටපු නායක සුරංග ලක්මාල් දිමුත්ගෙන් පස්සෙ කණ්ඩායමේ ඉන්න ප්‍රවීණතම ක්‍රීඩකයා. ටෙස්ට් තරග 55 දී ඉනිම 97 දී කඩුලු 132 ක් දවාගන්න සුරංග සමත්වෙලා තියෙනවා. වේග පන්දු යවන්න්ට වඩාත් හිතකර දකුණු අප්‍රිකානු තණතිලි වලදි සුරංගට සෑහෙන වැඩකොටසක් කරන්න තියෙනවා.

 

කසුන් රාජිත

බටහිර ඉන්දීය කොදෙව් දේශයන් හිදී වඩාත් හොදින් දක්ෂතා දක්වන්නට කසුන් සමත් වුවත් ඒ් දක්ෂතාවයන් ඒ ආකාරයෙන්ම නවසීලන්තයට හා ඔස්ට්‍රේලියාවට රැගෙන එන්නට කසුන් සමත් වූවාදැයි යන්න ප්‍රශ්නයක්. නමුත් වර්තමානයේ දී වැඩි වශයෙන් වේග පන්දු යවන්නන් සොයන ශ්‍රී ලංකාවට කසුන් හොද අනාගත ආයෝජනයක් වේවි. ටෙස්ට් තරග 04 කදී ඉනිම 07 ක් තුළ කසුල් කඩුලු 14ක් දවාගෙන තියෙනවා.

 

විශ්ව ප්‍රනාන්දු

නුවන් ප්‍රදීප්, ලහිරු කුමාර ආදී ශ්‍රී ලංකා පන්දු බලඇණියේ නම් දැරූ පන්දු යවන්නන් ගේ ආබාධ හමුවේ කණ්ඩායමට එන විශ්ව මීට පෙර ටෙස්ට් තරග 03 කදී ඉනිම 04 ක් තුළ දවාගෙන ඇති කඩුලු සංඛ්‍යාව 07ක්.

 

චාමික කරුණාරත්න

ඔස්ට්‍රේලියාව සමග පැවති අවසන් ටෙස්ට් තරගයේ දී ටෙස්ට් වරම් හිමි කරගැනීමට චාමික සමත් වුණා. මේ තරගාවලිය තුලදීත් චාමික කණ්ඩායම තුළ ක්‍රීඩා කිරීමේ වැඩි ඉඩක් තිබෙනවා. තුන් ඉරියව්වෙන්ම දස්කම් දක්වන චාමික පළමු පෙළ තරග 30 දී ලකුණු 1020 රැස් කරගෙන තිබෙන අතර පන්දු යැවීමේ දී දවාගෙන ඇති කඩුලු සංඛ්‍යාව 60ක්.

 

මොහොමඩ් ශිරාෂ්

පළමු පෙල තරග වලදී කෝල්ට්ස් කණ්ඩායම නියෝජනය කරන ශිරාෂ් තරග 16 කදී දවාගෙන ඇති කඩුලු සංඛ්‍යාව 35ක්. වේග පන්දු බල ඇණිය ශක්තිමත් කිරීමේ අරමුණින් කරනු ලබන නවතම සොයා ගැනීම මොහොමඩ් ශිරාෂ් ද විය හැකියි.

 

ලක්ෂාන් සඳකැන්

ටෙස්ට් තරග 11 කදී  ශ්‍රී ලංකාව නියෝජනය කර ති‌බෙන ලක්ෂාන් එහිදී ඉනිම 20 ක් තුළ බිද දමා ඇති කඩුලු සංඛ්‍යාව 37 ක්. නමුත් පසුගිය තරගාවලි කිහිපයේ දී ලක්ෂානගෙන් බලාපොරොත්තු වූ සේවාව කණ්ඩායමට ඉටු වූවාද යන්න ප්‍රශ්නාර්ථයක්. එම නිසා මේ ලක්ෂාන්ට ලැබෙන අවසන් අවස්ථාව ද විය හැකියි.

 

ලසිත් ඇඹුල්දෙනිය

රංගන හේරත්ගේ විශ්‍රාම යාමත්, අකිල ධනංජයට ජාත්‍යන්තර පිටියේ පන්දු යැවීම තහනම් වීමත් දිල්රුවන් පෙරේරාගේ ආසියාවෙන් පිටත දී වන අසාර්ථකත්වයත් නිසා ඇති වූ ශ්‍රී ලංකා දග පන්දු හිඩැස පිරවීමට පැමිණෙන ක්‍රීඩකයා ලසිත් ඇඹුල්දෙනියයි. පළමු පෙළ තරග 21 දී කඩුලු 125 ක් දවාගෙන ඇති ලසිත් නියෝජනය කරන්නේ එන්.සී.සී කණ්ඩායමයි.


සුධීර අයේෂ්මන්ත බණ්ඩාර
ජනයුගය ක්‍රිකට් ක්‍රීඩා විශේෂාංග රචක

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button